Wednesday, April 19, 2017

සමහරු අත් දැකීම්ද සමහරු කකුල් දැකීම්ද ලැබූ ඉන්දියා ගමන



පහුගිය කාලය පුරාම මා සිටියේ ඉන්දියාවේ බව මීට ඉහත ලියූ පෝස්ට් දෙකකින් කීවෙමි. මේ ඉන්දියා ගමන අත්දැකීම් හැට හුට හමාරක් ජනිත කල ගමනක් වූවායැයි කීම වැරැද්දක් නොවේය. ඒ තරම් අත්දැකීම් සම්භාරයක් ලබාගැනීමට මේ ගමනේදී හැකියාව ලැබුනි. අත්දැකීම්වලට අමතරව ඇත්තෝද හැක්කෝද කකුල් දැකීමට වාසනාවන්ත වූවෝය. ඒත් ඉතින් අපි සංස්කුරුතිය සදාචාරය බෙල්ල දී රකින නිසාත්, ඇල් වතුරත් නිවා බී හතර පෝයට සිල් ගන්නා නිසාත් ඒ වගේ දේවල්වලට නම් ගියේ නැතිය. මේ කියන්නේ අමූලික ඇත්තය. මම බොරු කියනවා කියා හිතෙනවානම් කැමති කෙනෙකුට ඉන්දියාවේ අපිට ඉගැන්වූ ආචාර්ය භවතෙකුගෙන් අපි ගැන චරිත සහතිකයක් වුවත් ලබාගත හැකිය. කොටින්ම මින් මතුවට අපි ඉගෙනුම ලැබූ ආයතනයට ශ්‍රී ලාංකිකයන් පමණක් බඳවා ගත්තද පුදුම විය යුතු නැත. ඒ තරමට ශ්‍රී ලාංකියන් හොඳ බුවාලා බව අපි ඒ අයට ඒත්තු ගැන්වූ නිසාවෙනි.

ගියදා පටන්ම පුද්ගලිකව මටත්, අපේ කණ්ඩායමටත් පට්ට ආතල් සිද්ධිද, අන්ත කුජීත වැඩද සිදුවිය. කස්ටියගේ ගොන් පාට්වලින්ද අඩුවක් නොවීය. ජනතාවට ගොන්පාට් සැපයීමටම උපන් හපන්කම් ඇති දෙතුන්පොලක්ම අපි අතර සිටි නිසා සමහර අවස්ථාවලදී ඉල ඇදෙන තෙක් සිනහවීමට හැකියාවද ලැබුනි. ලංකාවෙන් මේ ගමනට සහභාගී වූ පිරිස 13 කි. ජ්‍යේෂ්ඨත්වයේ අනුපිලිවෙලට නම්  ටික කියනවානම් සන්ධ්‍යා අක්කා, දර්ශන, සනා, මම, චින්තක, නදීෂා, රුවනි, පසිඳු, චතුර, දුලංගි, සුපුන්, සුමේධා, මහේෂි ඒ අතර විය. කස්ටියම එහේ ගතකළ කාලය තුළ කිසිදු රණ්ඩු සරැවලයකට සහභාගී නොවී යහපත් කල් ක්‍රියාවෙන් කාලයගතකිරීම අගය කල යුත්තකි.


කණ්ඩායමේ හැමෝටම එක් එක් සමාජීය වගකීම් පැවරී තිබුණි. කෙල්ලියන් පරිස්සම් කරගැනීමේ ක්‍රෙඩිට් එක සන්ධ්‍යා අක්කාට හිමිවන අතර, කණ්ඩායම එකමුතුව තබාගැනීමේ ක්‍රෙඩිට්එක පසිඳු මල්ලීට හිමිවේ. කෑමට යන තැන්, ඇවිදින තැන්, රෙදි කඩ , කැබ් සර්විස් සෙවීමේ සිට ත්‍රීවීල්කාරයින්ට තගදැමීම දක්වා කණ්ඩායමේ සකළවිධ අවශ්‍යතා සපුරාලීමේ පුරෝගාමියා වූයේ පසිඳු මල්ලීය. කණ්ඩායමේ භාණ්ඩාගාරික වශයෙන් ක්‍රියාකලේ චතුර මල්ලීය. අවුරුදු 27 ක පමණ පොඩි එකෙක් වූවත් ප්‍රශ්නයක් දිහා බලන පරිනතභාවය නිසා කණ්ඩායමේ සම්භාවනාවට පාත්‍රවී සිටියේය. නංගි කෙල්ලට ඇති ආදරය නිසාම කොතරම් විදෙස් කෙල්ලන්ගේ ඇල්ම බැල්ම තිබුණද තමන්ගේ නමත්, රටේ නමත් රැකගෙන ආදර්ශමත් ලෙස එහෙදී කාලය ගතකලේය. අවසානයේ ශ්‍රී ලංකාවේ ආඩම්බරය බවට පත්වූයේ චතුර මල්ලීය. චින්තක මල්ලී නිතරම කණ්ඩායම වෙනුවෙන් බෙල්ලදීමට ඉදිරිපත් විය. කලින් ඉන්දියාවේ හයිද්‍රාබාද් ඇවිත් ඇති නිසා රටතොට ගැන සෑහෙන දැනුමක් ඇතිව සිටීම අපට වාසියක් විය. සුපුනා පුරුෂ පාර්ශවයෙන් බාලම එකා වුවත් සුපුනා මොකාදැයි හරියටම දැනගත්තේ අන්තිම දවසේය. දර්ශනයා කණ්ඩායමේ ලොකු අය්යාගේ චරිතයට යෝජනා වුවද කට්ටිය වැඩි ඡන්දයෙන් ඒ යෝජනාව පරාජය කරනු ලැබීය. කෙසේ නමුත් සිරිපාදේ යනවිට දර්ශනයාගේ නිවසට එනලෙස ආරාධනාකළ නිසා ඌ ගැන වැඩියමක් කියන්නේ නැතිය. සනා නිෂ්ශබ්ධ විලියම්ගේ චරිතයට පන පෙවීය. කණ්ඩායමේ සියලු දෙනා ගරුසරු ඇතිව සනාට සැළකුවෝය. රුවනි නංගී ඕල් රවුන්ඩර් කෙනෙක්විය. උඩරට, පහත රට, සබරගමු, භරත, ඩිස්කෝ, බැලේ, බ්රේක් ඩාන්ස්, කැබරේ, බල්ටි, කස්තිරම්,  කරණම් වැනි නැටුම් ශිල්පයන්ගේද, චිත්‍ර සහ මෙහෙන්දි කලාවේද, සූපවේදී කලාවේද කෙල පැමිණි ඇය සිය සැමියාට දැඩිව ආදරය දක්වන්නියක් බව අපට වැටහී ගියේ සැමියා ඇමතීමට භාවිතා කරන වචන නිසාවෙන්මය. “අනේ මගේ පින් .....“ කියා පටන් ගන්නා ඒ ආදර සංවාදය අසා ඉන්නට ආස හිතෙන්නේය. දුලා නංගී සාප්පුවකට එක්කාගෙන තියොත් ආයේ එයින් එලියට ගන්නවා බොරුය. ෆොටෝ ගන්නට ගියත් එසේමය. ඒත් දුලා නංගිගේ මැණිකේ ලුක් එකට පිටරට උන් වශී වී සිටි බව නම් කිව යුතුය. නදීශා නංගී මුලදී එල්.බී. විය. (ලැජ්ජයි බයයි). ටික දිනකින් එය ඒ.බී. විය (ආසයි බයයි). එන්නට කිට්ටු වෙද්දී නදීශා නංගී එන්.බී. විය (ණයත් නෑ. බයත් නෑ) සුමෝ නංගී කණ්ඩායමට ගොන් පාට් සැපයීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කරනු ලැබීය. අඩුම තරමේ දවසකට ගොන් කථා දෙකක්වත් කියනා නිසා ගොන්පාට් රැජින නාමය දින දෙකක් වැනි කෙටි කලක් තුළදී දිනාගැනීමට සමත් විය. කෙසේ නමුත් අපේ කණ්ඩායමේත් මගේත් චූටි නංගී වූයේ සුමෝය. පොඩි එකා නිසා අපි කවුරුත් ඒකිව නංගී කෙනෙක් වගේ රැකබලාගත්තෝය. මහේෂි නංගී  තමන්ගේ වැඩක්කරගෙන පාඩුවේ සිටි නමුත් මෙහෙන්දි අඳින කාන්තාවන් දුටුවිට නම් මාරවේශ වේ. සාරි කඩයක් දැක්කොත් මරාගෙන මැරෙන්ට උනත් සූදානම්ය. සපත්තු සේල් එකක් දැක්කොත් සුසන්තිකා ජයසිංහ පරදවා ඔලිම්පික් මීටර් 200 වුවද ජයග්‍රහණය කරනු ඇත. අවසාන දිනයේ අප්‍රිකානු හෙයා ස්ටයිල් එකක් දමා සිටි නිසා අපට එකවරම අඳුනා ගැනීමටද අපහසුවිය.

මීට අමතරව සති තුනක පාඨමාලාවකට පැමිණි ඩිරෙක්ටර් අක්කලා දෙන්නෙක් සිටි අතර ඒ අය තරමක් කාර්ය බහුල විය. අවසාන සතිතුනේ තවත් වැඩිමහල් සහෝදරයින් දෙදෙ‍නෙක් පැමිණි අතර උන් දෙදෙනා “අසවල් අසවල් තැන්වල ලාබෙට බඩු තියෙනවා“ කියා අපේ කෙල්ලන්ට ඔත්තු සැපයීම නිසා අපේ කොල්ලන්ට තවත් අලකලංචියකට මුහුණදීමට සිදුවිය. කොහොම උනත් කණ්ඩායමක් වශයෙන් එකට කටයුතු කිරීම ගැන ඒ හැමෝටම එකෙන්ම මෙව්වා එකය. ශ්‍රී ලංකා කණ්ඩායමේ පැවති එකමුතු බවත් විනයවත් බවත්  වැඩසටහනට සහභාගී වූ අයගේද, ආයතනයේ ප්‍රධානියාගේ සිට පහලම සේවකයා දක්වාම ඇගයීමට පාත්‍ර වූ බව ලාම්පු කණගාටුවෙන් යුක්තව කිව යුතුය.

එහේ ගතකල කාලය ගැන යමක් ලියන ලෙසට කිහිපවරක්ම චතුර මල්ලී එල්ල කල මරණ තර්ජන නිසා යමක් ලිවිය යුතු බව සිතුනේ නැතිනම් උන්ටික මගේද රෙදි ගැලවෙන්නට ලිවිය හැකි බව සිතුන නිසාය. ඒ නිසා මේ කථාව මුල සිටම අපේ සංචාරයට සහභාගී වූ ඇත්තන්ගේ සහ ඇත්තියන්ගේ ස්මරණ කලම්බනය උදෙසාද, බ්ලොග්කරුවන්ගේ දැනගැනීම උදෙසාද මේ ආකාරයට රචනා වම්හ. දර්ශනයාගේ නිවස අසල ඇති සියලු කඩවල කොසු සහ ඉදල් සියල්ල දර්ශන නිවසට යාමට පෙරම අවසන්වී ඇති බව දන්නා නිසාම මෙහි සමහර සිදුවීම් නොසලකා හරින බව කාරුණිකව සැලකුව මනාය. නැතිනම් දර්ශනයාගේ ප්‍රිය භාර්යාව ලංකාවේ සිට දර්ශනයාට මරණ තර්ජන එල්ල කරන වාරයක් පාසාම හරි මම ඔයාට තව සාරි 5 ක් ගන්නවා යැයි කීමට අමතරව  චතුර මල්ලීට නිවසේ සිට මැසේජ් කිරීම ප්‍රිය භාර්යා නංගී තොමෝ විසින් තහනම් කිරීමත්, චින්ත මල්ලීට තමන්ගේ බාරියාව ෂේප්කරගැනීමට සැම්සුන්ග් ජේ 7 ෆෝන් එකක් තෑගිදීමට සිදුවීමත්, සුමෝ නංගීට ෆ්‍රිජ් එකක් ගෙදර උස්සාගෙන යාමට සිදුවීම වැනි කාරණාවන්ගේ අතුරු ඵලයන්ට මා හටද මුහුණදීමට සිදුවීමට ඉඩ ඇති නිසාවෙන්ය.

ගමනට කලින් කිසිවෙකු සමග ඇයි හොඳයියක් ඇතිකරගැනීමට නොහැකි වූවත් ගුවන් තොටුපලේදී ඉන්දියාවේ මාගේ රූමා වූ දර්ශනයාද, සුමෝද, රැවනිද හඳුනාගැනීමට හැකිවීම හිතට පොඩි ගටක් එක් කලේය. දර්ශනයා අමු බේබද්දෙක් බව මුලින්ම පෙන්නුම් කලේ ෆ්ලයිට් එකේදීම සලුවීම ආරම්භ කළ නිසාය. සුමෝ තරමක් පිලිවෙලට සිටි නිසා මමත් ඒ විදිහටම සැළකුවේ යම් වැදගත්කමක් ඇතැයි සිතූ නිසා නමුත් එහේ ගිහින් දින දෙකක් යාමට පෙර ගොන්පාට් රැජින අනවර්ථ නාමය හිමිකරගැනීමට තරම් වාසනාවන්ත විය. රැවනි නංගී ෆ්ලයිට් එකේ දෙන කෑම බීම ටික සප්පායම් වී “එහෙනම් අය්යේ මම ටිකක් නිදාගන්නවා“ කියද්දීම ප්ලේන් එකේ ඩ්‍රයිවර් අය්යා “එහෙනම් අපි ලෑන්ඩ් කොරන්ඩයි යන්නේ  බෙල්ට් එක දාගන්න“ යැයි කිවූ නිසා එතනින්ම කිචවිය. සන්ධ්‍යා අක්කාද සනාද අපි සමග සිටි නමුත් ජ්‍යේෂ්ඨයන් බැවින් වැඩිපුර බජනයට ගියේ නැතිය. සන්ධ්‍යා අක්කා එහෙ ගිහින් කෙල්ලන්ටත් වැඩියෙන් හොඳට සිටි නමුත් සනා නිෂ්ශබ්ධ වෘතයම රැක්කේය.

මුම්බායිවලින් බැසගත් පසු හයිද්‍රාබාද්වලට ඩොමැස්ටික් ෆ්ලයිට් එකකින් යා යුතු වූ බැවින් කල්වේලා පැවති නිසා අපේ එවුන් වැටුනු තැන්වල නිදිය. මම නම් කෝකටත් කියා ඇහැරී සිටියේ බැරි වෙලාවත් නින්ද අල්ලලා ගියොත් වෙන දේ දන්නා නිසාය. උදේ 6. 30 සිට 7.30 දක්වා පැයක ගුවන් ගමනකින් අනතුරැ අපි ලඟාවුනේ හයිද්‍රාබාද් ගුවන් තොට වෙතටය. හයිද්‍රබාද් ගුවන්තොට වැඩි කළබලයක් නැති කුඩා ගුවන් තොටුපලකි.

අපේ විශ්වවිද්‍යාලයට පැමිණ මුලින්ම කළ කටයුත්ත වූයේ අපට හිමි කාමරය ලබාගැනීමය. මට වෙන රටක එකෙක් එක්ක ටකල්වීමට උවමනාවී තිබූ නමුත් දර්ශනයා මටත් හොරෙන් උගෙයි මගෙයි නම් දෙක අපේ කාමරයට දමාතිබීම නිසා මට සිදුවූ ඇබැද්දිය නම් එහේ සිටි කාලය පුරාම මට ඒකාගේ ඇඬියාව අසාසිටීමට සිදුවීමය. ගෙදර නෝනා මතක්වනවිට “අනේ මචං ගෑණි මොනා කරනවද දන්නෙ නෑ“ කියා නහයෙන් ඇඬීමත්, “කෑම කන්න බෑ මචං“ කියා දුක කීමත්, ගෙදර අහල පහල උන්ට කෝල් කර දුක සැප ඇසීමත් දර්ශනයාගේ දින චර්යාවේ අංගයන් විය.


කලින් දින රාත්‍රියේම නිදිනැති නිසා කාමරයට ගිය විගස කලේ තේ එකක් බී නිදාගැනීමය. තේ කීවාට ලංකාවේ ඇති කහට තේ නොවේය. මෙහේ තේවලට කිව්වේ චායි කියාය. අපේ රටේ තේරෙන භාෂාවෙන් කිව්වොත් ටී එකකි. අපිට හරියන්නේ නැති වුවද වවුලාගේ මගුල් ගෙදර ගියවිට එල්ලී සිටිය යුතු නිසා මෙහෙ ඉන්නා කාලය තුළ මේ ක්‍රමයට හැඩගැසීම සුදුසුම විකල්පය විය. එදින සවස්වරුවේ ලංකාවේ අනිත් සෙට් එක සෑහෙන රස්තියාදුවකින් අනතුරුව අප සිටිනා ස්ථානයට ලඟාවිය.

ලංකාවේදී මෙන් කන්නටම ජීවත්වීම යන සංකල්පය අතහැර ජීවත්වීම පිණිස පමණක් කන්නට හුරු වූයේ මෙහි සිටිය කාලයේය. එසේ වූවත් ඇත්තටම ඉන්දියන් බුවාලා අපට හැකි උපරිමයෙන් සැළකූ බව නම් කිවයුතුය. ලංකාවේ අය වෙලාවට වැඩ කරන විනයවත් අවංක හොඳ මිනිසුන් බව  අපේ ආයතනයේ කාර්ය මණ්ඩලය විශ්වාස කිරීම අපට විශේෂ වාසියක් විය. ශ්‍රී ලංකා අපට මේ නිසා  යම් යම් විශේෂ වරප්‍රසාද සහ සැළකිලි හිමිවිය. ඉහත කී ගුණාංග අතරින් වෙලාවට වැඩකිරීම අපේ කාන්තා පාර්ශවය නිසා විශේෂයෙන් සුමෝ සහ දුලා නිසා කිචවී ගියද අමාරුවෙන් ඒ කීර්තිනාමය රැකගැනීමට අපට හැකිවිය.

අපි එහේ ගියදාට පසුදින ඉනෝගරල් එක හෙවත් සමාරම්භක සැසිය පැවැත්වුනු අතර ෆොටෝ මේනියාව ඉහට ගසා සිටි අපේ ලෝකල් සහ ඉන්ටර්නැෂනල් එව්වෝ මෙච්චර වියදම් කර අපව ඉන්දියාවට ගෙන්වාගෙන ඇත්තේ ෆොටෝ ගන්නට පමණක් යැයි සිතා කටයුතු කිරීමට පටන් ගත්හ. මේ තත්ත්වය ඕවර් ගියතැන දැන් ෆොටෝ ගත්තා ඇති යැයි කියන්නටද ආයතනයේ අයට සිදුවිය. කිව්වට මොටෝ ඉතින් අපේ පුරුෂ පක්ෂය පලමු දිනයේම හිතගිය තැන මාලිගාවල්ද, ටජ් මහල්ද  තනා රෑප සොබාවෙන් අගතැන් බවලත් උදවිය සොයාගෙන සෙල්ෆිද අරවාද මේවාද ගන්නට පටන් ගත්හ. හැබැයි ඒවා එදිනට පමණක් සීමා කිරීමට අපේ අය වගබලාගැනීම රටේ නම්බුව බේරාගැනීමට පිටුවහලක් විය.

පසුදින සිට දේශන සහ ක්ෂේත්‍ර අධ්‍යයන කටයුතු ආරම්භ විය. මුල් සතිය තුළ අඛන්ඩව දේශන සඳහා සහභාගී වූ නමුත් දෙවන සතියේ අප විසින් ස්වේච්ඡාවෙන්ම එම ක්‍රමය වෙනස්කර ගතිමු. එනම් අපේ පාඨමාලාව භාර ආචාර්යවරයාගේ දේශනයට පමණක් උදයවරුවේ සහභාගී වන මම සහ චතුර මල්ලී තේ පානයෙන් අනතුරුව මිසින් වීමය. බැරි වෙලාවත් අපේ පාඨමාලාව භාර ආචාර්යවරයාගේ දේශනයක් සවස්වරුවේ පැවතුනහොත් කිසිත් නොදන්නා ආකාරයෙන් එයට සහභාගී වන අතර එවිට පන්තියේ සිටිනා අනිත් උන් අපි දෙදෙනා දිහා බලන්නේ සහරා කාන්තාරයට පැමිණි පෙන්ගුයින් දෙදෙනෙකු දිහා බලනා ආකාරයෙනි. මෙහි රසවත්ම කොටස නම් පාඨමාලාව භාර ආචාර්යවරයාගේ හොඳම සිසුන් දෙදෙනා මම සහ චතුර මල්ලී වීමය. පාඨාමාලව අවසානයේ අප දෙදෙනාට පමණක් ඉතා හොඳ සිසුන් බව සඳහන් කරමින් චරිත සහතික දෙකක් ලබාදුන්නේ අපගේ කැපවීමත්, ඉගෙනීමට ඇති ලැදියාවත් විනයවත්බවත් ඇගයීමටය.