Thursday, July 21, 2016

මට ඇන්නා පැන්නා තියරිය කියාදුන් අය



ඇන, ඇන ගන්නවා, ඇන්න, ඇන්නා, ඇන්නා - පැන්නා වැනි වචන කිවූ සැනින් බොහෝ දෙනෙකුට මතක් වනු ඇත්තේ කුණු හබ්බයක් හෝ එයට ආසන්න අදහසකි. නමුත් එම වචන  අපේ ප්‍රායෝගික ජීවිතයට වෙනත් අංශයන්ගෙන් සම්බන්ධ වනු අපට දැකිය හැකිය. ඒවා මතක් නොවන්නේ බොහෝ දෙනෙකුට රෑට හීනෙන් පෙනෙන්නේද පෙර කී කුණු හබ්බ කථාවේම කොටස් නිසාවෙනි. වල් හිතට හැමදේම වල් යන පැරණි කියමන නැවත පසක් වන්නේ මෙවැනි අවස්ථාවලදීය.

ඉස්සර වැඩිහිටියන් ඇන්න ආවා කීවේ යමක් රැගෙන ආ විටය. ඔන්න ඔය බුලත් හෙප්පුව ඇන්න ආවා නම්, වතුර ටිකක් ඇන්න ආවා නම්, මේක ඇන්න අවිල්ල කොන්දත් ඇවිලිලා කීවේ යමක් රැගෙන යාම හෝ රැගෙන ඒම ගැන කියා පෑමටය. සමහරවිට කරකාරයක් ඇන්න ආවා කියනා විට ඇන්න එකක් රැගෙන ආවාදැයි සිතෙන අවස්ථාද තිබෙන්නට ඇත.

ඉබ්බා වතුරට දැමූවිට ඇන්නෑවේ කීවේ කැමැත්තක් කරගත්තාට මට මොකෝ කියන්නාක් මෙනි. දික්තල කාලගෝල නාට්‍යයේ  මැණිකෙ අත්තනායක ගායනා කරනා ඇන්නෑවේ මේ මල කෝලං පාරේ යන්නට බෑ මුන්දෑ සමගින් කියන්නේ මේ මොන මගුලක්ද මේකාගේ මල කෝලං කියනා අර්ථයෙනි.

වැඩක් ඇන ගන්නවා යනු වැඩේ හරියට කරගැනීමට නොහැකිවීමයි. අද අපේ රටේ වැඩිහරියක් සිදුවන්නේ වැඩ ඇන ගැනීමය. ඇනගෙන අනා ගැනීමය. ඉන්පසු ගා ගැනීමය. ඉන්පසු නා ගැනීමය. වැඩ ඇනගැනීමට ප්‍රධාන හේතු වන්නේ වැඩ නොදන්නාකමත්,  වැඩේ පිළිබඳව හරිහැටි සැළකිල්ලක් නොතිබීමත්ය.

කැම්පස් එකේ ඇන ගන්නවා යනු කෙල්ලෙකුගෙන් මනාපය විමසූවිට කෙල්ල බෑ කීමය. සමහරැ දොරක් ජනේලයක් සවිකරගැනීමටද, තවත් සමහරැ හාඩ්වෙයාර් එකක් දා ගැනීමටද ඇතිවන අන්දමට කැම්පස් කාලයේ ඇන ලබාගෙන ඇත. මේ ආකාරයට වැඩිපුර ඇන ගත්තු එකාට කැම්පස් එකේ ඇනපති සම්මානය පිරිනැමේ. ඇනපති සම්මානය ගත් එකාට පසු කලෙක කෙල්ලක් හා කිව්වොත් ඒකා ඒ කෙල්ලව රකින්නේ මැණිකක් රකිනා නා රජිඳෙකු මෙනි. ඇනපතිට කැමැත්ත දුන් කෙල්ලටද අත්වන්නේ සාංඝික දානයක් දුන්නාටත් වඩා පිනකි.  ඒ පින පසු කලෙක තව්තිසා දිව්‍ය ලෝකයේ දිව්‍යාංගනාවක් වී දිව්‍ය සැප සම්පත් ලබන්නට තරම් බලවත් වේ.

අප කුඩා කාලයේද නොදන්නාකම නිසාද, හදිස්සිය නිසාද වැඩ ඇනගත් අවස්ථා එමටය.  සමහරවිට වැඩේට ගිය විට අපට ඇන්න අවස්ථාද තිබුණි. මේ එවැනි ඇනගැනීම් වලට ලක්වූ අවස්ථා කිහිපයකි.

ඇනීමේ සම්ප්‍රදායේ අත්තා, මුත්තා, නත්තා, පනත්තා, කිත්තා, කිරිකිත්තා, කිරි කෑ මුත්තා දක්වා හත්මුතු පරම්පරාව සොයාගිය විට අදද අපිට අනින, එදාත් ලොකු පොඩි බේධයක් නැතිව හැම එකාටම, එකීටම ඇන්න ඇනීමේ කලාවේ ආදිතමයා  වශයන් මදුරැවාට අපගේ ගෞරවය හිමිවිය යුතුවේ. ඒ ඇනීමේ ජ්‍යේෂ්ඨයා වශයෙන් මදුරැවාට අභියෝග කිරීමට මොන පකීර්ටවත් නොහැකි නිසාය. මෙයට ඇති නොබිඳිය හැකි සාක්ෂියක් නම් ජුරාසික් පාර්ක් චිත්‍රපටයයි. එහි ඩයිනෝසරයින්ගේ ඩී.එන්.ඒ අනු ටික සොයාගැනීමට හැකිවන්නේ ඩයිනෝසරයෙකුට ඇන්න ගමන් පැන්න නමුත් මැලියම් ගුලියක දැවටුනු මදුරැවෙකුට පින්සිදු වන්නටය. මදුරැවාට ඇන්නා පැන්නා හැකියාව නොතිබෙන්නට අද ජුරාසික් පාර්ක් චිත්‍රපටයක් නැත.

කුඩාකල අපට ඇන්න පිරිස් අතරින් මී මැස්සාට හිමිවන්නේ ඉදිරිපෙල ස්ථානයකි. මීපැණි අපි කවුරැත් රස බලා ඇති නමුත් මී කැඩීමට ගිය අය ඇත්නම් ඒ සුලු පිරිසක් විය හැකිය. ඒ මී කැඩීම අනිවාර්යෙන්ම මීමැස්සන්ගේ ඇනීමට ලක්වීමට හේතුවක් වන බැවිනි. එයද එසේ මෙසේ ඇනීමක් නොව මුහුණ දෙල් ගෙඩියක් වන තරමේ ඇනීමකි. මී කැඩීම සඳහා අවස්ථාව ලැබෙනුයේ කලාතුරකිනි. දකින දකින හැම මීයම කැඩිය නොහැකිය. මීයක් කඩන්නේ අත ලෙව කන්නදැයි දේශපාලනයේ සිටිනා අසන්නේ ඒ නිසාය. මීයක් කඩනවිට එහි හොඳට පැණි තිබිය යුතුය. නැත්නම් ඉතිරිවන්නේ මී ඉටි ටික පමණි. කැලෑගානේ බඩගානාවිට මීයක් දැක්කොත් එහි පැණි තිබේද නැද්ද දැනගැනීමට අපට අත්දැකීමෙන් හැකියාව තිබුණි. අලුත බැඳපු මීයක පැණි නැති නිසා ටික කාලයක් ඉවසා එය කැඩීම සිදුවේ. නැතිනම් පැණි නැති මී කඩන්නට ගොස් සිදුවන්නේ නිස්කාරනේ ඇනුම් කෑම පමණක් වන නිසාය. කැලේ රිංගනවිට මීමැස්සන්ගේ නාදයක් ඇසුනොත් උඩ බැලීම අපගේ සිරිතයි. ඒ අසල මී වදයක් තිබෙන බව අප අත්දැකීමෙන් දන්නා නිසාය. 

මී වද වර්ග කිහිපයකි. ගසක අත්තක බඳිනුයේ දඬුවැල්ලෑවයි. එය එක වදයකින් සමන්විත වේ. කඩාගැනීම පහසුය. ගහ යට ගිනි මැලයක් ගැසූවිට දුම වදිද්දී මැස්සෝ එයින් ඉවත් වේ. හැබැයි මේ සඳහා වැඩි වේලාවක් ගත නොහැකිය. එවිට මී මැස්සෝ මී වදයේ ඇති පැණිටික බොනවායැයි මතයක් ඇත. ගස්බෙනයක, කලයක හෝ භාජනයක් ඇතුලේ බඳිනුයේ මීයකි. එහි මී වද කිහිපයක් ඇත. කඩා ගැනීම තරමක් අපහසුය. දුම් ගැසීමට අමතරව මී වදයක රැජින සොයාගතහොත් මීය කඩාගැනීම පහසුය. රැජින අල්ලා අතට ගත්විට සියලු මී මැස්සෝ අතට වසනා බැවින් මීය අපහසුවකින් තොරව කඩාගත හැකිය. කුමන ක්‍රමයකට දඬුවැල්ලෑ හෝ මී වද කැඩුවද මීමැස්සන් කිහිප දෙනෙකුගේ ඇනීමට ලක්වීම නම් අනිවාර්යෙන්ම සිදුවේ. මී මැස්සා අපට ඇනලා පැන්නාට අනින මී මැස්සන්ගේද අවසානය එය වේ. ඒ අපේ දක්ෂකමක් නිසා සිදුවන්නක් නොව මී මැස්සන් අපට ඇන්න විට උන්ගේ කටුව ගැලවී යන අතර එයින් මරණයට පත්වීම නිසාය.

සමහර අවස්ථාවල නව මීමැසි ජනපදයක් සෑදීමට ස්ථානයක් සොයනා මී මැස්සන් විශාල ශබ්දයක් නගමින් අහසේ ගමන් කරයි. එවිට අපකරනුයේ කලයක් තරමක උසකින් තබා සීනි දියකර හෝ පැණි දැමූ පිඟානක් ඒ අසලින් තබා උදලු තලයකට ශබ්ද නැගෙන ආකාරයෙන් තවත් යකඩයකින් පහරදීමයි. ශබ්දය ඔස්සේ පහලට එන මී මැස්සන් සීනි හෝ පැණි දියරය පානයකර අසළ ඇති කලයට වැද නව ජනපදයක් පිහිටුවති. මී මැස්සන්ට පැනගෙන එවැනි චාන්ස් එකක් දෙන්නේ ඇනගෙන හෝ ගෙදරදීම මී පැණි කෑමට අවස්ථාවක් ලබාගැනීමටය. පැනගෙන දී ඇනගෙන හෝ පැණි කෑමට අපේ අය මනාපය.

මීට අමතරව කනෙයියාවන් යනුවෙන් හඳුන්වන තවත් මී මැස්සන් විශේෂයක් විය. උන් මී මැස්සන්ට වඩා ප්‍රමාණයෙන් කුඩාය. හුඹසක,  නිවසේ සිදුරැ සහිත ස්ථානයක කනෙයියාවන් වද බඳී. කනෙයියාවන් මට ඇන නැති නිසා උන් අනිනවාදැයි මා දන්නේ නැත. කනෙයියා පැණි තරමක ඇඹුල් රසයකින් යුක්තය. (දැන් අනින එක ගැන කියන නිසා වෙන ඇඹුල් රස ඒවාගැන හිතන්නට උවමනා නැත). කනෙයියාවන්  කන් ඇතුලට රිංගනවා යැයි වැඩිහිටියන් පවසා තිබීම නිසා අප කනෙයි වද කැඩීමට එතරම් උනන්දු වූයේද නැත. සමහරවිට කනෙයියාවන් අනින්න හෝ රිංගන්න හිලක්ම හොයනා වර්ගයක් විය හැකිය.

දැනෙන්ටම අනින අනිත් එකාලා වන්නේ බඹරැන්ය. උපන් වෙලාවේ හොඳකමට හෝ පස් මහ බැලුමෙන් අඩුම තරමින් දීපය, දේශය බලාවත් බඹරැන් නැති පැත්තක ඡන්ම ලාභය ලබා ඇති බැවින් බඹරාගෙන් ඇනගැනීමට හෝ බඹර පැණි කෑමට හැකියාවක් නොවීය. බැරි වෙලාවත් බඹර එහෙම තිබුණානම් හැමදාම පත්තරේ දාන්නට වන්නේ සීගිරියේ බඹරැන් ඇවිස්සී මිනිසුන්ට ඇන්න කථා නොව අපේ ගමේ බඹර ඇවිස්සී අපිට ඇන්න කථාය.

මී මැස්සා සහ බඹරා ඇන්නත් දුක නැත්තේ අපිට පැණි ටිකක් හෝ දෙන නිසාය. පැනිත් දෙන්නේ නැතිව මූන දෙල් ගෙඩි කොස් ගෙඩි වන්නට අනින එකා නම් දෙබරාය. දෙබරැන් අපේ වත්තේ කූඩු කිහිපයක් සාදා තිබුණි. දෙබරැන් මී මැස්සන්ට වඩා විෂ සහිතය.  ආක්‍රමණශීලීය. උෂ්ණය අධික කාලවලදී දෙබරැන් වැඩිපුර ඇවිස්සෙන බව ගම්වල අය දනිති. දෙබර කූඩුවක් වත්තක තිබීම භයානක දෙයක් වශයෙන් සැළකුණි. එයට හේතුව නම් දෙබර කූඩු දුටුවිට උකුස්සන් ඒවාට පහරදීමත් එයින් කුපිතවන දෙබරැන් අවට සිටිනා සෑම කෙනෙකුටම පහරදීමට පෙළඹීමත්ය. එබැවින් දෙබර කූඩයක් දුටුවිට රාත්‍රී කාලයේ උන ලීයක් අගට  භූමිතෙල් පෙඟවූ රෙදිපාන්කඩ ඔතා එයට ගිනි අවුලුවා දෙබර කූඩයට ගිනි තැබීම ගැමියන්ගේ සිරිතයි. නැතහොත් සිදුවන්නේ දෙබර කූඩුව කඩා වැටුනුවිට හෝ උකුස්සෙකු පහරදුන්විට අසළ පොඩි එකෙක්වත් සිටියහොත් නිරපරාදේ දෙබරැන්ගේ ප්‍රහාරයට ලක්වීමටය. නොමිලේ ඇනගන්නේ මක්කටැයි කියා පව් පින් නොබලා දෙබරයක් දුටුතැන මල්ටි බැරල් ප්‍රහාර එල්ලකිරීමට අප කුඩා කල සිටම පුහුණු වූයෙමු.

දෙබරා වැනිම තවත් අනින සත්වයෙක් වූයේ කලාදුරැවාය. උගේ කූඩුව ඉතා කුඩා නමුත් ඇන්නොත් නම් චූ යාමට තරම් වේදනාවක් ඇතිවේ. මටද කුඩා කාලයේ කලාදුරැවන් ඇති පදම් ඇන ඇත. කලාදුරැවෙකු ඇන්නවිට දැනෙන වේදනාව දෙවැනි වන්නේ හුංගෙකු හෝ මගුරෙකු ඇන්නවිට දැනෙන වේදනාවට පමණි.

තවත් ටිකක් බරපතළෙට ඇන්න උන්නම් අපේ වෙලේ බැඳසිටි හරක්ය. හරක් කීවාට හැම හරකාම නොව තරමක ගායක් තිබූ කුලු හරක්ට නෑකමක් තිබෙන්නට ඇති හරක්ය. හරකාගේ අං පාර කෑවිට නැගිටීමත් අමාරැ බව ගමේ ගෑණු අය කීවේ වෙලේ සිටි හරක් ගැනද නැත්නම් කේප්ප හරකා කියා නමක් පටබැඳ තිබූ මේසන් බාස් අය්යා ගැනදැයි මට පොඩි කාලයේ තේරැමක් නොවීය. කෙසේ වෙතත් හරක් ඇනීමට පෙර පැනීමට  අපට බොහෝ විට හැකියාව ලැබුනත් ඉඳහිට පොඩි අං පාරක් කෑමට සිදු නොවුනාම නොවේය.

මෙචච්චර වෙලා කීවේ ගොඩබිමදී  ඇනපු උන් ගැනය. වතුරේදී ඇනපු එව්වෝද ඇති නිසා ඒ ගැනත් නොකිව්වොත් ඒ ඇනපු උන්ගේ ඇනීමේ හැකියාවට කරන අසාධාරණයක්ය. ඇලක වෙලක මාලු අල්ලා ඇති එකෙක් වේ නම් මගුරෙකුගේ, හුංගෙකුගේ, අංකුට්ටෙකුගේ ඇනීමකට ලක්වී නැත්නම් ඒ මාලු ඇල්ලීමෙන් වැඩක් නැත. අංකුට්ටා ඉතා කුඩා සතෙක් වූවත් හිස දෙපැත්තේ ඇති කටුවලින් ඇන්න විට ඇතිවන වේදනාව කියා නිම කල නොහැක. වර්ෂාවක් ඇතිවූ විට අපේ වත්තට මායිම් වූ වෙල්යාය ජලයෙන් පිරී යයි. අපි කරන්නේ වේවැල් කූඩා අරගෙන වෙලට දිවීමය. කුඹුරක නියර හතරක් සම්බන්ධ වන මුල්ලක් තෝරා කකුලෙන් හොඳට ජලය කැලැත්තූවිට අංකුට්ටන් පොකුරැ පිටින් එතැනට පනින්නෝය. එයට කියන්නේ අංකුට්ටන් බොර කනවා කියාය. ඉන්පසු වේවැල් කූඩයට පින්සිදු වන්නට ඇති පදම් අංකුට්ටන් ඇල්ලිය හැකිය. 


වැස්ස කාලයට මාලු නගිනවා සහ වැස්ස අඩුවන විට මාලු බහිනවා කියා කියමනක් ඇත. දැන් ඉතින් වැස්සත් එක්ක නැගීමට බැහීමට ඇති සම්බන්ධය ගැන සිතා වෙන වෙන ඒවා ඔලුවට ගන්න උවමනා නැතිය. නැත්නම් මේ පෝස්ටුව කියවීම පැත්තක තබා වෙන මගුල් කල්පනා වෙන්නට  ඉඩ ඇති නිසාය.  මාලු නගිනවා බහිනවා කියන්නේ වර්ෂාව ආරම්භවී අලුත් වතුර එනවිට පහල වලවල්, පතස්වල සිටිනා මාලුන් ජල පහර දිගේ උඩට පිහිනා ඒමත් වර්ෂාව අඩුවනවිට මේ මාලු ආපසු ජල පහරත් සමගම පහලට පිහිනා යාමත්ය.  හුංගන් සහ මගුරන් ඇල්ලීමට පහසු මාලු නගිනා කාලයටය. ඒ අලුත් වතුරට උන් කැමති නිසාය. හුංගන්, මගුරන් ඇල්ලිය යුත්තේ පරිස්සමිනි. මගුරා ඇනීම වේදනාත්මක වුවද ටික වේලාවකින් වේදනාව අඩුවේ. හුංගා ඇන්නොත් නම් මුත්‍රා පහවීම ෂුවර්ම තමාය. එනිසා පලපුරැදු අය ඇරෙන්නට හුංගන් අතින් ඇල්ලීමට පොඩි උන් යන්නේ නැතිය. මම දැල් දමාද, විසි දැල් ගසාද, වලවල්, පතස් ආදිය ඉසීමෙන්ද ඇති තරම් මාලුන් අල්ලා ඇති මුත් වැව් මාලු ආහාරයට ගන්නේ නම් නැත. අල්ලන මාලුන් ගෙදර ඇති ලිඳකට, පතහකට හෝ ටැංකියකට ගෙනැත් දැමීම සිරිතයි. මට උන් ඇන්නත් මම උන්ට මෛතිරී කලේ ඒ ලෙසය. හැබැයි කෙතරම් මෛත්‍රී කලද උන්ගේ ගුණයක් නැතිය. මම පහුවදා උන්දැමූ ටැංකියට අතදැම්මොත් කලිසමේ සුලුදිය පහවීමටම උන් මට අනින්නේය. ඒ නිසා මේක බලනා එකාලාද ඇනෝලාගෙන් වාගේම අනින උන්ගෙන්ද පරිස්සම්වීම ඇඟට ගුණය. ඒ උන් දෙගොල්ලන්ටම අනක් තිබෙන්නට පුලුවන් නමුත් කිසිදු ගුණක් නැති නිසාය.


ඇන ගැනීම සම්බන්ධ මෙවැනි අත්දැකීම් නිසා මට ඇනීමට පෙර පැනීමටත්, මම ඇන්න විගස පැනීමටත් දැනුම් තේරැම් ඇති කාලයේ සිට හුරැ පුරැදු විය. යොවුන් වියට පිවිසී ටික කලක් ගියවිට ඇන්නා පැන්නා තියරිය දැනසිටීම  කෙරතරම් භාග්‍යක්දැයි සිතුනු අවස්ථා නම් එමටය. මම අමාරැවේ නොවැටී ඇනගෙන පැනීමේ ගෞරවය මට ඇන්න උන්ටම හිමිවන බව අවසන් වශයෙන් බැති සිතින් සිහිපත් කරමි.

22 comments:

  1. යකෝ බොරු කියන්න එපා.මඝුරා අනින්නේ නැහැ අතින් අරන් ඇන්න ගත්තොක් මිස

    ReplyDelete
    Replies
    1. මම පොඩ්ඩක් ආපහු මගුරෙක්ගෙන් මේක ටෙස්ට් කරලා බලන්නම්. මමත් පොඩි කාලේ මගුරාව අල්ලන්න බයයි අනිනවා කියන බයට. යකෝ එහෙම නම් මම බය වෙලා තියෙන්නේ බොරැවටද. නැත්නම් මගුරා කියලා මට ඇනලා තියෙන්නේ වෙන එකෙක්ද.

      Delete
    2. මගුරො හුංගො අංකුට්ටො අනින්නෑබං.. උන් ඔලුව වන වන යන විදිහට ඇනෙනව.උන්ව අල්ලන්න ඔනෙ ඔලුවෙන් නට්ටෙන් බ‍ඳෙන් ඇල්ලුවොත් සොරි ඩොට් කොම්

      Delete
    3. ඔව්. අපි ඒ කාලේ උන්ව ඇල්ලුව ඔලුවෙ අනින කටු දෙකට ටිකක් පහලින්. මාර දැවිල්ලක් ඇන්නාම

      Delete
  2. බේද, ශබ්ද යනුවෙන් නිවැරදි විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. හරි හැලපයියේ ඒක හැදුවා. දැන් බලන්න හරිද කියලා. මගේ සිංහල භාෂා අක්ෂර දැනුම ටිකක් දුර්වලයි.

      Delete
    2. ආයෙම කියවල බලන්නකෝ.

      Delete
  3. වල් ඌරා ගහනවා මිසක් අනිනවා කියන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. වල් ඌරා ගැන අත්දැකීමක් අපේ පැත්තේ තිබුනේ නෑ බං.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. වයිල්ඩ් බෝ පැලයක්වත් තිබුනෙ නැද්ද?

      Delete
    4. වල් බෝ, වල් දෙල්, වල් පැල, වල් මිදි තිබුනා. වල්ලපට්ට තියෙන්න ඇති. හැබැයි ඒ කාලේ අපි ඒවා දන්නේ නෑ. සෙල්ල වලවේ කියලා චිත්‍රපටියකුත් තිබුනලු. මට බලන්න යන්න නම් බැරි උනා. තව පාසි වර්ගත් ගොඩක් තිබුණා.

      Delete
  4. ඇනලා එල්ලිලාම ඉන්න කූඩැල්ලොන්ට වඩා ඇන්නා පැන්නා උන් හොඳයි :)

    ReplyDelete
    Replies
    1. දෙගොල්ලොම එකයි බං

      Delete
  5. හෙට අනිද්ද දවසක මාළු අල්ලන්ඩ ඕන

    ReplyDelete
    Replies
    1. අටමා උඹ හෙන හැන්ඩියා වෙලානෙ බං. සන් ග්ලාස් එකට මාර ලුක් එකක් ඇවිත්. මාලු අල්ලන්න ඇලකට වෙලකට බහිනවා නම් මී උණට පෙති දෙකක් බීලා බැහැපන්.

      Delete
  6. මේක නියමයිනේ.... මටත් මී මැසසෝ, කලාදුරුවො සහ දෙබරු ඇන්න හැටි මතක් උනා...... දෙබරු කියන්නෙ මහ කෘෘර සත්තු ජාතියක්...... එකපාරක් පට්ට දුරක් පණකඩාගෙන දුවනකම් පන්න පන්න ඇන්නා.........

    ReplyDelete
    Replies
    1. දෙබරැ අනිද්දි වතුරට පැන්නත් ආපහු උඩට එනකන් ඉඳලා උන් අනිනවා.

      Delete
  7. මටත් පොඩි කාලෙ හුංගො ඇනල තියෙයි උන ගන්නම. ඒ කාලෙම අපේ ගෙදර අයිය තියාගෙන හිටපු මීමැසි පෙට්ටියට අත දාල හොඳ හැටියට ඇන ගත්ත.

    ReplyDelete
  8. මම ඉස්කෝලේ යන කාලේ මි මැස්සෝ ඇති කරා...

    ReplyDelete
  9. අම්මපා මලය ඇන ගන්න විඳලා තියන දුකක් ... අපි පොඩි දවස් වල අපේ වත්තේ මී මැහි පෙට්ටි දෙකක් තිබුණ මී පැණි වලින් අඩුවක් තිබුනේ නැහැ :)

    පැණි ගන්න යනකොට ඉඳහිට එකෙක් දෙන්නෙක් නොවිද්දත් නෙමෙයි ... කොච්චර දුම් ගැහුවත් සමහර එවුන් ගේමමයි ඉල්ලන්නේ !

    ඇන්නා පැන්නා තියරිය තමයි පැණි එකතු කරනකොට හොඳම විදිහ :)

    ReplyDelete