Tuesday, March 28, 2017

විල් තෙර සුපිපි තඹුරු වන සිරි (නෙලුම් යාය 2016)



සෙණසුරාදා උදෙන්ම දුර බණුව කෑ ගහනවා. දන්නේ අදුනන්නේ නැති නම්බර් එකකින් කෝල් එකක්. සාමාන්‍යයෙන් මම අදුනන්නේ නැති අංකවලට ආන්සර් කරනවා අඩු උනත් මේක ගන්න සිද්ධ උනේ පොඩි එකීම අප්පච්චිට කෝල් එකක් කියලා ගෙනත් දුන්න නිසා. “මේ ඔයාට අද නෙලුම් යායේ සම්මානයක් තියෙනවා. අපි ඔයාව පහුගිය දවස් ටිකේම කන්ටෑක් කරගන්න හැදුවා. බැරි උනා. ඒකයි අද ගත්තේ. අද හවස තුනට වෝටර්ස් එජ් එකේ. “හා හරි හරි මම එන්නම්“ මමත් හදිස්සියෙම කිව්වා. පස්සේ තමයි මට මතක් උනේ යකෝ නම ගමවත් අහගත්තේ නෑ කියලා. පහුගිය දවස්ටිකේම රටින් බැහැරව ඉඳලා ආව විතරයි. එහෙ හිටපු කාලේ දුරකථනයත් වැඩ කලේ ඉඳ හිට. කෝකටත් අද හවසට යනවා.

බ්ලොග් ලියන්න පටන් අරන් යන්තම් අවුරුද්දයි. අටමටයි, මාතලන් ගුරුතුමාටයි, හැලපේ අයියටයි, සයුරිටයි පින් සිද්ද වෙන්න යන්තම් බ්ලොග් එකක් අටවගෙන ඉඳලා හිටලා මොනවා හරි හිතෙන දෙයක් කොටනවා. කෝකටත්  ගෙදර නිසි බලධරයාට “අද මට සම්මානයක් තියෙනවලු“ කිව්වේ පොඩි ක්‍රෙඩිට් එකක් එයි කියලා හිතලා. මගේ නෝනා හාමිනේ ගත් කටටම ඇහුවේ නැතැයි “ඕපදූප ලියනවටත් සම්මාන දෙනවද“ කියලා. පුදනකොටම කාපි යකා. ගෑණු ඔහොම්ම තමයි. අපේ කිසිම දේක අගයක් නෑනේ අම්මපා. පොඩි එකීට නම් සන්තෝසයි. එකී හිතන්නේ සම්මානයක් කියන්නේ සෙල්ලම් බඩුවක් කියලා. “අප්පච්චිගේ සම්මානේ මට“. පොඩි එකී කලින්ම වෙන්කරගත්තා.

හවස බොරැල්ලට ගිහින් එතනින් ත්‍රීවීල් එකක් හයර් කරගෙනම වෝටර්ස් එජ් එකට ගියේ පොඩ්ඩක් පරක්කු වෙලා වගේ හිතුන හින්ද. යන්තම් උත්සවය පටන් ගන්න ඔන්න මෙන්න. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය, කථානායක කරු ජයසූරිය, ජ්‍යෙෂ්ඨ, ආධුනික බ්ලොග්කරුවෝ “ෂහ් මාර උත්සවයක්නේ“. මට හිතුනා. වැඩේ සුපිරියටම යනවා. යකෝ මෙච්චර දෙයක් කරන්න පුලුවන්ද බ්ලොග් ලියන අයට. මට නිකමට හිතුනා.




ඇත්තටම අපූරු උත්සවයක්. දක්ෂ නිවේදකයෙක්, නිවේදිකාවක්, නැටුම්, ගැයුම්, හාස්‍ය රසය, ඔපෙරා, නාට්‍ය මේ සියල්ලෙන් පරිපූර්ණ උත්සවයක්. ජීවිතේ පලමුවරට ඔපෙරාවක් දක්කෙත් එදා කිව්වොත් ලැජ්ජා වෙන්න දෙයක් නෑ. මහින්ද දේශප්‍රිය මැතිතුමා කෙටි නමුත් අර්ථාන්විත දේශනයක් කලා. කථානායක කරු ජයසූරිය මහතාත් හරබර කථාවක් කලා. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දිහා හුඟ දෙනෙක් බැලුවේ ඇමති රාජිත කියන කෝනයෙන්ම වගේ කියලා මට දැනුනා. නාලක ගුණවර්ධන මහතා තමන්ගේ උගත්කම මනා සංයමයකින් යුක්තව ගෙනහැරපෑවා. එකින් එක සම්මාන ප්‍රදානය කෙරුනා. මට සංවේදී අවස්ථාවක් උනේ දෘෂ්‍යාබාධිත නිර්මානී නංගී සම්මාන ගත්ත අවස්ථාව. මෙතනට ආවේ මෙච්චර කල් නොදැකපු බ්ලොග් රචකයෝ කිහිප දෙනෙක් අඳුනගන්න. නමුත් හිටපු සෙනඟ අස්සේ ඒක අමාරුයි කියලා තේරුනා. ඉයන්, සජ්ජා, අජිත් අය්යා, තරු රසී, සුමිත් කලණසිරි අඳුනගන්න ලැබුනා. අටමා සහ මාතලන් අඳුනාගන්න ලොකු උවමනාවක් තිබුණා. නමුත් දෙන්නම හිටියේ නැති එකට පොඩි කණගාටුවක් දැනුනා.





මම ජීවිතේ ගොඩක් උත්සවවලට සහභාගී වෙලා තියෙනවා. ඒත් බ්ලොග් රචකයින්ට මෙච්චර ලස්සනට මේ වගේ දෙයක් කරන්න පුලුවන් වෙයි කියලා මම හිතුවේ නෑ. ඇත්තටම සංවිධායක මණ්ඩලය විශාල කැපකිරීමක් කරලා තිබුණ බව පෙනුනා. පොඩි පොඩි අඩුපාඩු නොතාබුනාම නෙවෙයි. ඒත් උත්සවයේ ලස්සන දිහා බලනකොට ඒවා ලබන සම්මාන උළෙලට හදාගන්න පුලුවන් දේවල්.

ජීවිතේ පළමුවරට සම්මානයක් ලැබුනාම තියෙන සතුට මටත් තිබුණා. අපි පෘතගජන මිනිස්සුනේ අප්පා. නම්බුනාම, කීර්ති, පැසසුම්, ප්‍රසිද්ධිය, පිලිගැනීම මේ හැමදේටම අපි කැමතියි. මෙච්චර පිරිසක් ඉදිරියේ සම්මානයකින් අගයනවට කවුද අකමැති. මේ වගේ උත්සවයක් තියලා බ්ලොග් රචකයෝ අගයන්නත් විශේෂයෙන් අපි වගේ බ්ලොග් ආධුනිකයෝ අප්කරන්නත් කටයුතු කරපු සංවිධායක මණ්ඩලයටත් මේකට මහන්සි වූ සියලු දෙනාටත් අපගේ හදපිරි ප්‍රණාමය පිරිනැමීමට කැමතියි.

කුරහන් හේනේ මල් මල්ලි