Tuesday, June 12, 2018

මට මාව අඳුනන්න පුලුවනියි කීවොතින් ???

කාලයක් තිබුණා මට - ගොම පොලවෙ නිදාගෙන
ඇලෙන් ඇඟ හෝදලා - බිම ඉඳන් බත් කාපු
බඩ නැතත් හිත පිරුණු - ඒ සොඳුරු ජීවිතේ
හීනෙනුත් දකින්නට - අද පෙරුම් පුරනවා

මහ නියරේ ඇවිදගෙන - වක්කඩෙන් ගොඩවෙලා
කලිසමක් කමිසයක් - බැනියමක් ඔතාගෙන
කොළඹ බස් එකක නැග - තොට ලඟින් බැහැපු මම
ආයේ ගියේ නෑ ගමට - අමතකයි ගමේ නම

කැම්පස්ද, හොස්ටල්ද - සයිබාවේ කැලෑවද
ලෙක්චස්ද, පොත් ගුලද - පෙලපාලි, පිකටින්ද,
චමරියද, කැන්ටිමද - මහපොලද, බර්සරිද
හීන් සුවඳක් වගේ - ඉඳහිටලා දැනෙනවා

එකෝමත් බෝඩිමක - මම ගෙවපු ජීවිතේ
සැහැල්ලුයි සුන්දරයි - වගකීම් හරි අඩුයි
ඇඳක් පුටුවක් එක්ක - අඹ ලෑලි මේසයක්
රජ ගෙදරටත් වඩා - සැපයි ඒ කාමරේ

අතේ රෙදි හෝදලා  - දෙපැත්තට වැලක් ඇද
අව්වෙ රෙදි වේලලා - තනියමම මැද ගත්තා
බෝඩිමේ එහා වැට - පැනලා වවුලෙක් වගේ
හැමදාම හැන්දෑවේ - රන් තැඹිලි ගෙඩි බිව්වා

ඉඳහිටලා බෝඩිමේ - අයන් එක රත් කරලා
පොල් රොටි පිච්චුවා - අක්කගේ උදව්වෙන්
ජීවිතේටම කාපු - රසම රස පොල් රොටිය
ඉන් පස්සෙ ලැබුනේ නෑ - ඒ වගේ රස කෑම

හැමදාම බැරි හින්දා - ඒ රොටි පුච්චන්න
අහල ඇති ගෙදරකින් - හන්දියේ කඩයකින්
පුංචි වෙනසක් එක්ක - ආප්පත් කෑව බව
යාන්තන් මතකයක් - මගේ හිතේ තියෙනවා

පඩි දවසේ  කොල්ලුපිටි - රතුපාට කඩයකින්
සකේ සහ තායි බත් - වොඩ්කා සමගින් ඩෙවල්
ඊට පසු නයිට් ක්ල්බ් - නානගේ කොත්තුවක්
පට්ට රසයක් විඳපු - ඒ කාලේ ජීවිතේ

තැතින් තැන නතර උන  - අකීකරු මගේ හිත
නූලකින් ගැටගසා - එක තැනක හිරවෙලා
වෙරි බැහැපු ජීවිතේ - දැන් සිහිය ඇවිල්ලා
මට මොකද මේ උනේ - අදත් මම හිතනවා

පැදුරේ නිදි කිරපු මම - නිදියන්නේ සැප ඇඳක
පයින් බඩගාපු මම - අද යන්නේ රෝද උඩ
තනතුරුද ගරු සරුද - කහවනුද  ඇතත් මට
මොකක්දෝ හිස්බවක් - ජීවිතේ තියෙනවා

හුදකලා නිම්නවල  - අඳුරු ගල් ලෙන් අතර
කලකදී මග ඇරුනු - අහිමිඋනු ජිවිතය
ලන්තෑරුමක් අරන් - වැටී වැටී දන ගගා
කොතැනදෝ සිත සිතා - දැනුත් මම හොයනවා

මට මගේ ජිවිතය - මුණ ගැසුනොතින් යලිත්
අඳුනන්ද පුලුවන්ද - මම මගෙන් අහනවා
මට මාව අඳුනන්න - පුලුවනියි කීවොතින්
........ .......... - ......... ....... .................?









22 comments:

  1. අවසාන නොනිමි පදය :

    "සියල්ලම හැරදමා - ආපසු ගමට යන්නද ...?"

    යනුවෙන් විය හැකිද?

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ. දැන් ඒ් ගමත් නෑ. දැන් ගමට ගියාම අපි ගන්ධබ්බයි.

      Delete
  2. අරුත්බර නිර්මාණයක්.

    ReplyDelete
  3. හරිම ශෝක්,,,,බොක්කෙන්ම ලියලා.

    ReplyDelete
    Replies
    1. මට මාව අඳුනන්න - පුලුවනියි කීවොතින්

      "යලිත් මම ජීවිතේ විඳිනවා
      සත්තමයි...යලිත් මම ජීවිතේ විඳිනවා"

      Delete
    2. ඒ්ක තමයි අරුණ් මටත් ඔීන

      Delete
  4. මට මගේ ජිවිතය - මුණ ගැසුනොතින් යලිත්
    අඳුනන්ද පුලුවන්ද - මම මගෙන් අහනවා
    මට මාව අඳුනන්න - පුලුවනියි කීවොතින්....
    ප්ලාස්ටික් සැත්කමක් වහම මම කරනවා හේ හේ
    කවි පෙලම මරු මල් මල්ලි

    ReplyDelete
  5. ගොඩ දෙනෙකුට තියන කෙළිය ඔන්න ඕක තමයි මල් මල්ලි. මොකක්දෝ හිස් බවක්, මග ඇරුන වගේ දෙයක්, හරියට දන්නැති, කියාගන්න බැරි දෙයක්.
    මොනව කරන්නද ඉතින් ? ආපහු යන්ඩ යැ.

    ReplyDelete
    Replies
    1. ඒ් හිස් ගතිය නිකන් ඔලුව කරකවනවා වගේ

      Delete
  6. මට මගේ ජිවිතය - මුණ ගැසුනොතින් යලිත්
    අඳුනන්ද පුලුවන්ද - මම මගෙන් අහනවා
    මට මාව අඳුනන්න - පුලුවනියි කීවොතින්
    මොන බොරුද උඹ කවුද - ඌ මගෙන් අහනවා

    අගේ ඇති පද පෙළක්.

    ReplyDelete
  7. සත්තමයි දිවිය මම - විඳිනවා දැනෙනවා...

    ජයවේවා!!!

    ReplyDelete
  8. Replies
    1. ඔව් කයි පහ පහ ලියන්න ගියේ. හරිගියේ නෑ.

      Delete
  9. // අතේ රෙදි හෝදලා - දෙපැත්තට වැලක් ඇද
    අව්වෙ රෙදි වේලලා - තනියමම මැද ගත්තා
    බෝඩිමේ එහා වැට - පැනලා වවුලෙක් වගේ
    හැමදාම හැන්දෑවේ - රන් තැඹිලි ගෙඩි බිව්වා

    ඉඳහිටලා බෝඩිමේ - අයන් එක රත් කරලා
    පොල් රොටි පිච්චුවා - අක්කගේ උදව්වෙන්
    ජීවිතේටම කාපු - රසම රස පොල් රොටිය
    ඉන් පස්සෙ ලැබුනේ නෑ - ඒ වගේ රස කෑම

    හැමදාම බැරි හින්දා - ඒ රොටි පුච්චන්න
    අහල ඇති ගෙදරකින් - හන්දියේ කඩයකින්
    පුංචි වෙනසක් එක්ක - ආප්පත් කෑව බව
    යාන්තන් මතකයක් - මගේ හිතේ තියෙනවා //

    මේ ටික කියවනකොට පට්ටම කුප්ප කතා මතක් වෙන්නෙ මට විතරද ?

    රටින් පිට ඉන්න අපිට උඹ කියන හිස් බව දහස් ගුණයකින් දැනෙනව බං :(

    ReplyDelete