Sunday, September 18, 2016

මෙඩිකල් ටෙස්ට් එකේදි යට ඇඳුනුත් ගලවනවාද?



පරිවාස කාල සීමාව අවසානයේ රාජ්‍ය සේවයේ ස්ථිර කිරීමේදී  සහ විශ්‍රාම යන වයසින් අනතුරැව සේවා දිගු ලබාදීමේදී  අදාල පුද්ගලයා දිවයිනේ ඕනෑම තැනක සේවය කිරීමට මනා සෞඛ්‍ය තත්වයකින් පසුවන බවට වෙද්‍යවරුන් විසින් සනාථ කළ යුතුය. සේවය ස්ථිර කිරීමේදී මෙම නීතිය තදින් ක්‍රියාත්මක වන නමුත් සේවා දිගු ලබාගන්නේ බොහෝ විට තමන්ගේ ආර්ථික ගැටලු නිසා බව දන්නා වෛද්‍යවරුන් වුවත් මේ පිළිබඳව සානුකම්පිතව සළකා කටයුතු කරති. ඒ අනුව තමන්ගේ දරුවන්ගේ ඉ‍ගෙනුම් කටයුතු, විවාහ කටයුතු අවසන් වනතුරු වසරක් දෙකක් මේ ආකාරයට සේවය කිරීමට වරම් ලැබීමට රජයේ සේවකයන්ට හැකියාව තිබුණි.

නන්දා මිස් මා සේවය කළ කාර්යාලයේ සේවය කළ ලිපිකාරිණියකි. ඉතා අහිංසක චරිතයක් වූ ඇයට මුහුකුරා ගිය  සමාජ දැනුමක්ද නොවීය.  නිතර අමතකවීම, හිතවත් අය කියනා ඕනෑම දෙයක් විමසා බැලීමකින් තොරව විශ්වාස කිරීම, වැඩකටයුතු පිළිබඳව අඩු දැනුම, රාජකාරී වේලාවේ වාඩිවී සිටින පුටුවේම නින්දටයාම  ඇයගේ ගති ස්වභාවයන්ය. මෙනිසා රාජකාරීය අතින්ද  සතුටුදායක මට්ටමක් නොවූ නමුත් ඇයගේ අහිංසක ස්වභාවයත්, නිවසේ ආර්ථික ප්‍රශ්නත් නිසා කිසිවෙක් ඇයට වචනයකින්වත් දොසක් කිව්වේ නැත. ඇඳුමක් පැළඳුමක්වත් පිලිවෙලට නොඅඳිනා ඇය අලුත් සාරියක් අඳින්නේ ජනවාරි පලවෙනිදාට පමණි. වසර කිහිපයක් ඇයත් සමග සේවය කලද අප කිසිවෙකුත් ඇයගේ නිවස ඇති තැනක්වත් නොදන්නේ කිසි දිනක ඇය නිවසට පැමිණෙන ලෙස ආරාධනාවක්වත් නොකල නිසාවෙනි. නිවසට පැමිණීමට අප ඇසුවද එය කෙසේ හෝ මගඇර සිටීමට ඇය වගබලා ගනී.

මා එම කාර්යාලයට ගියපසු ඇය අතින් ඉටුවිය යුතු රාජකාරී සියල්ලම පාහේ මා ස්වේච්ඡාවෙන්ම භාරගත් නිසා ඇයට තිබුනේ උදේ පැමිණ පොත අත්සන්කර ගෙදරින් ගේන දෙයක් කා බී සවසට ගෙදරට යාමය. උදේ 8.00 වනවිට කාර්යාලයට පැමිණ හරියටම සවස 4.15 වන විට බෑග්එක කිහිල්ලේ ගසාගෙන කාර්යාලයේ දොර ලඟට පැමිණ දෙපැත්ත බලා කිසිවෙකු නැත්නම් වේගයෙන් පිටවී යාම ඇයගේ සිරිත විය. ඇය යන බව අඩුම තරමේ මටවත් නොකියන්නේ ලොකුකමකට නොව එතරම්වත් අවබෝධයක් ඇය තුළ නොවූ නිසාවෙනි. කිසිවිටක සෙණසුරාදා දිනයක සේවයට ගෙන්වාගත නොහැකි  ඇය රාජකාරී වේලාවෙන් පසුව විනාඩියක්වත් රඳවා ගත නොහැකිය.

දිනක් අපත් සමග සේවය කළ කෙනෙක් මීලඟට කාර්යාලයේ ප්‍රධානියා බවට පත්වන්නේ මා බව නන්දා මිස්ට පැවසීම නිසා එදා සවස මා ලඟට පැමිණ බිම බලාගෙනම මම ප්‍රධානියා ලෙස පත්වූ පසු ඇයට උසස්වීමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටීම මට සිනහ දනවන්නක් වුවද ඒ උසස්වීම ලබාදෙන බව පැවසුවේ ඇයගේ හිත නොරිදවීමටය. කිසි දිනක  කාර්යාලයේ කිසිවෙකුට මට විරුද්ධව වචනයක්වත් කීමට ඉඩදුන්නේ ඇය නොවේ.   “ඒ මහත්තයා හොඳ මහත්තයෙක්. පද හදන්න එපා“ යැයි කියා හොරෙන්ම මා ලඟට පැමිණ අසවලා මට විරුද්ධ බව කීමට තරම් ඇය අවංක විය. ඒ සියල්ල කලේ කිසියම් ලාභයක් බලාපොරොත්තුවෙන් නොව ඇය තුළ මා කෙරෙහි වූ හිතවත්කම නිසාමය.

නන්දා මිස් විශ්‍රාම යාමට තිබුනේ කෙටි කාලයකි. නමුත් එකම පුතා තවමත් අධ්‍යාපනය ලබනා නිසාත් සැමියාට හරිහමන් රැකියාවක් නැති නිසාත් තවත් වසරක් පමණ සේවය කිරීමට ඇයට අවශ්‍ය විය. මේ ආකාරයට සේවා දිගුවකට ඉල්ලුම් කිරීමේදී වෛද්‍ය පරීක්ෂණයෙන් සමත්වීම අනිවාර්ය විය.  අපේ කාර්යාලයේ සේවය කළ පෙරේරාද මේ ආකාරයට සේවා දිගුවක් ලබාගෙන සේවයේ යෙදී සිටි අයෙක් විය. ඒනිසා හොඳම දේ පෙරේරා හමුවී මේ ගැන උපදෙස් ලබාගැනීමය.

පෙරේරා යනු නොම්මර එකේ ලණු කාරයෙකි. ලඟින් ගියොත් ඇහැක් නැතිවන වර්ගයේ පොරකි. ඒ නිසා කවුරැත් පෙරේරා කියනා දෙයක් එකවිටම විශ්වාස කරන්නේ නැත. ඒ මොනවා වුවත් මාගේ ජීවිත කාලය තුල හමුවූ මා ඉතා කැමතිම පුද්ගලයන් අතරින් එක් අයෙකි වන්නේ පෙරේරාය. (ඒ ගැන විස්තර පසුවට කියමි).

නන්දා මිස් පෙරේරා හමුවන්නට ගියේ වෛද්‍ය පරීක්ෂණයට මුහුණදෙන ආකාරය දැනගැනීමටය. “අපෝ නන්දා මිස් ඒක පොඩි දෙයක්නේ. අපි යනකොට හොඳට නාල කරලා යන්න ඕන. අපිව කාමරයකට ගන්නවා. ගෑණු අයව පරීක්ෂා කරන්නේ දොස්තර මහත්තයා. පිරිමි අයව පරීක්ෂා කරන්නේ දොස්තර නෝනා. ඇතුළට ගියාම ඇඳුම් ඔක්කොම ගලවන්න කියනවා. ඊට පස්සේ හැම එකම ඔබ ඔබ බලනවා. ඇස් පේනවද, කන් ඇහෙනවද බලනවා. එච්චරයි කරන්නෙ“ කියාය. “ඔක්කොම ගලවනවා කිව්වෙ“ නන්දා මිස් ඇස්දෙක ලොකු කරගෙන අසයි. “ඔක්කොම කියන්නෙ ඔක්කොම. ආයේ අපේ ඇඟේ නූල් පොටක්වත් නැතිව යන්න ගලවනවා. මට කිව්වා විතරයි. මම පටස් ගාල ඔක්කොම ගැලෙව්වා. දොස්තර නෝනා මගේ අවයව ඔක්කොම අල්ලලා බැලුවා. කිසි ප්‍රශ්නයක් නෑ . ඔක්කොම හොඳට වැඩකරනවා. තවම කොල්ලා වගේ කියලා දොස්තර නෝනා කිව්වා“. පෙරේරා කුපාඩි සිනාවක් මුහුනේ තියාගෙන කියයි.

නන්දා මිස්ද දැන් ලණුවෙන් බාගයක්ම ගිල ඇත. “අනේ මට නම් බෑ ඔක්කොම ඇඳුම් ගලවන්න. එතකොට මේ යට ඒවත්.“ ඔව් ඔව්. ඒවත් ගලවනවා. ඒවත් බලන්න ඔනනේ. මගෙත් ගැලෙව්වා“. “අනේ මට නම් ලැජ්ජයි. මට බැරිවෙයිද දන්නේ නෑ දොස්තර නෝනා ලඟට යන්න“. “පිස්සුද මිස් එහෙම යන්න දෙන්නෙ නෑ. මිස්ලා යන්න ඕන දොස්තර මහත්තයා ලඟට. අපි යන්නේ දොස්තර නෝනා ලඟට“. “අනේ එහෙමනම් මට බෑ“. නන්දා මිස් නහයෙන් අඬයි. “බෑ කියලා බෑනේ මිස්. එහෙම කොහොමද පරීක්ෂා කරන්නේ. අනික හැමදේම හොඳට වැඩකරනවද කියලා අතපත ගාලා බලන්නත් ඕනනේ“.  “හා බලමුකෝ“ කියා පැමිණි නන්දා මිස් වෛද්‍ය පරීක්ෂණයට ඇති ලැජ්ජාව හා බිය නිසාම සේවා දිගුව ඉල්ලුම් කලේ නැත.

පෙරේරා දී ඇත්තේ ලණුවක් බවට අනෙකුත් සේවකයන්ද, පසුව කාර්යාල ප්‍රධානියාද කරැණු පැහැදිලි කළද ඒ කිසිවක් පිලිගැනීමට නන්දා මිස් සූදානම් නොවීය. අවසානයේ පෙරේරාම පැමිණ තමන් කල විහිලුව ගැන පහදාදීමට කොතෙක් උත්සාහ කලද ඇගේ බිය නැති කිරීමට නොහැකි විය. ඇය නියමිත දිනයටම විශ්‍රාම ගියේ වෛද්‍ය පරීක්ෂණයේදී සියලු ඇඳුම් ගැලවීමට සිදුවන බව දැඩිව විශ්වාස කරගෙනය.

29 comments:

  1. ටිකක් විතර මෝඩ පහේ කෙනෙක් වගේ. සේවා දිගුව ඉල්ලලා වෛද්‍ය පරීක්ශණයට ගිහිල්ලා එහෙම අවශ්‍යතාවයක් තිබුණා නම් හැරිල එන්න නෙ තිබුණේ. එතකොට ඒ අවශ්‍යතාවය ඇත්තනම් වෛද්‍ය පරීක්ශණයට පෙනී නොසිටීම නිසා සේවා දිගුව නොලැබෙනවා එහෙම අවශ්‍යතාවයක් නැත්නම් වෛද්‍ය පරීක්ශණය සමත් වෙනවා.

    ReplyDelete
    Replies
    1. නන්දා මිස් ටිකක් මෝඩයි. හැබැයි මාර අහිංසකයි. ඕන එකෙක් දෙන ලණුවක් ගිලිනවා. මේකෙත් උනේ එහෙම ලණුවක් ගිලපු එක.

      Delete
  2. මෙවැනි අයෙකු මෙතරම් කල් සේවය කිරීමක් පුදුමයක්!
    කතාවේ කියවෙන විදියට කළ සේවයකුත් නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව්. ගෙදර යැව්වෙ නැත්තේ මනුස්සකම දිහා බලලා. ඒ අතින් මගේ ආයතනයේ හිටපු ප්‍රධානීන් හරිම මානුෂිකයි.

      Delete
  3. අපේ රටේ බොහෝ දේවලදී නීතියට පිටින් යාම නිසා මිනිස්සු විසින්ම ඇති කරගත් ගැටළු තමයි අද ශ්‍රී ලංකාව අතිශය අක්‍රමවත් පාලනයක් ඇති රාජ්‍යයක් බවට පත් කරලා තිබෙන්නේ. සේවය ලබන්නාගේ පැත්තෙන් බැලීමක් වෙලා නැති බවයි මේ පුද්ගල චරිතයෙන් කියවෙන්නේ.

    මෙවැනි පුද්ගලයන්ට එවැනි රැකියා ලබාදුන් නිලධාරීන්, සේවය හරි හැටි ඉටු නොකරීමෙදී ආවරණය කර ආරක්ෂා කල නිලධාරීන්, සේවය ගැන ඇගයීමක් සිදු කර පරීක්ෂණ නොකළ නිලධාරීන් සියලුම දෙනා මහජන මුදල් වලට කර තිබෙන්නේ බරපතල අකටයුත්තක්. ඇයට යම් අබාධයක් හෝ රෝගයක් හෝ සේවය හරියාකාරව සැපයීමට අපහසුතාවක් ඇතිබවක් පසු කාලයේ හෝ දැනගත්ත නම් ඉහල නිලධාරීන් කල යුතුව තිබුනේ ඒ පිළිබඳව රෙගුලාසි අනුව කටයුතු කිරීම.

    කොහොමටත් අපේ රටේ මිනිස්සු රජයේ මහජන මුදලින් සත්ක්රියාවන් පින් එහෙම කරගන්න බොහොම කැමති කොටසක් නේ. "මම ගමේ මිනිහ මම කන වෙලාවට ගෙදරට එන මිනිස්සුන්ට කෑම ටිකක් දෙනවා අපේ හාමුරුවනේ" කියපු මිනිස්සු මහජන මුදලින් දන්සල් දුන්න මිසක් තනතුරු නැති වුනාට පස්සේ තමුන්ගේ මුදලින් නම් සත පහක් ඒවාට වියදම් කරන්නේ නෑ. හිගන්නගෙනුත් බදු ගහල ගන්න සල්ලි වලට කරන එවැනි අකටයුතු කම් අගය කල නොයුතු බවයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. නීතිය පැත්තෙන්, පරිපාලනය පැත්තෙන් මේ අදහස හරි. මමත් මේ විදිහටම හිතපු සහ වැඩකරපු කාලයක් තිබුණා. ඒ කාලේ මමත් හරිම දැඩි විදිහට තීරණ ගත්තා. හැබැයි පොඩි දේකට මිනිහෙකුගේ රස්සාවක් නැති කරලා ඒ මිනිහගේ දරුවෝ කන්න නැතිව දුක් විදිනකොට, ඉගෙනගන්න බැරි වෙනකොට, පස්සේ ඒ හේතු නිසා ඒ ළමයි අපරාධකාරයෝ වෙනකොට ..............

      Delete
    2. මම ඔබව පුද්ගලිකව විවේචනය කරන්නට කැමති නැති අතර විවේචනය කරන්නේ මෙහිදී ඔබ පෙනීසිටින ආකල්පය පමණකි. අපේ රට අතිශය අක්‍රමවත් දේශපාලනික ව්‍යුහයක් සහ අක්‍රමවත් අකාර්යක්ෂම රාජ්‍ය පරිපාලන ව්‍යුහයක් කරා යොමු කල මේ ආකල්පය ගැන සංවාද කරන්න ලැබුන හොඳ අවස්ථාවක් නිසා එය මගහරින්නේ නෑ.

      //හැබැයි පොඩි දේකට මිනිහෙකුගේ රස්සාවක් නැති කරලා ඒ මිනිහගේ දරුවෝ කන්න නැතිව දුක් විදිනකොට, ඉගෙනගන්න බැරි වෙනකොට, පස්සේ ඒ හේතු නිසා ඒ ළමයි අපරාධකාරයෝ වෙනකොට //

      මුලින්ම එය හුදෙක් කියමනක් මිසක් සත්‍ය නොවේ. පොඩි දෙකට කෙනෙකුගේ රැකියාව නැති වෙන්නේ නෑ. මෑත යුගයේ හමුදා (හෝ කලාතුරකින් පොලිස්) සේවයේ හැරුණු විට රාජ්‍ය සේවයේ එසේ වී ඇති බොහෝ අවස්ථා පෙන්වන්න හැකිද ඔබට ? මගේ අදහස නම් එසේ නොමැති බවයි.

      පොඩි දේකට කල යුතු වන්නේ සහ සාමානයෙන් වන්නේ විමර්ෂණය සහ අවවාද කිරීමයි. දෙවැනි වරටද එසේ වන්නේ නම් සාමානයෙන් කලයුතුවන්නේ සහ වන්නේ දඩුවම් දීමයි; ඒවා බොහෝ විට මාරු වීමකට එහා නොයයි. තෙවැනි වර කරන සුළු දේකට තනතුරෙන් පහත හෙලීම ස්මනයෙන් සිදුවේ. බොහෝ වාරයක් එසේ කරයි නම් පමණක් රැකියාව නත්වීම සිදුවිය හැකිය. බොහෝ පරිපාලන නිලධාරීන් මුවාවී සැඟවෙන්නේ, ඔබ ගෙනෙන තර්කයටයි. එය සාධාරණද ?

      මම මතු කරන වැදගත්ම කරුණ වන්නේ, ඔබ මේ කියන අය මේ අනුකම්පාව, "මිනිහෙකුගේ රස්සාවක් නැති කරලා ඒ මිනිහගේ දරුවෝ කන්න නැතිව දුක් විදිනකොට, ඉගෙනගන්න බැරි වෙනකොට, පස්සේ ඒ හේතු නිසා ඒ ළමයි අපරාධකාරයෝ වෙනකොට" වැනි අපුරු නිදහසට කරුණු පෙන්වන්නේ ඔවුනට පඩි ගෙවන්නේ රජයේ මහාජ මුදල් වලින් නිසයි. ඔබ ඔය කියන කරුණු නිසාම, හැර හැටි වැඩක් කරගැනීමට නොහැකි කුලී කරුවෙකු ඔබේ වත්තේ වැඩට හෝ දිගින්දිගටම ගනී යයි මම සිතන්නේ නැත. මේ සියලු බොරුසිල්, බොරු අනුකම්පා එන්නේ මොවුනට පඩි ගෙවන්නේ ඉහල නිලධාරියා නොව මහජනයා බැවිනි. මේ ආයතනය පුද්ගලික එකක් හෝ, අඩුම තරමේ උපයා ගන්න මුදලින් සේවක පඩි ගෙවන රාජ්‍ය ආයතයක් වුයේ නම් ඔය කියන නිලධාරීන් මේ අනුකම්පාවන් දක්වනු නොමැති බව මගේ අනුමානයි. කොහොමටත් අපේ රටේ මිනිස්සු රජයේ මහජන මුදලින් සත්ක්රියාවන් පින් එහෙම කරගන්න බොහොම කැමති කොටසක් නේ, යයි මම කියන්නේ එබැවිනි. ඒ කිසිවෙකු තමුන්ගේ මුදලින් ඒ පින්කම කිරීමට කැමති නැත. සියලු පින්කම් මහජන මුදලිනි. අපුරු පින්වත්තුය.

      බුද්ධි වර්ධනයේ බරපතල හීනතාවයන් ඇති අයටද යෙදිය හැකි රැකියාවන් තිබේ. දියුණු යයි සම්මත රටවල නම් එවැනි රැකියාවලින් නිශ්චිත කොටසක් එවැනි අයට වෙන් කර තිබේ. පාලකයන් කල යුත්තේ, මහජනයාට අවශ්‍ය සේවය සැපයීමට නොහැකි අය බඳවාගෙන ගසාවසා, මහජන මුදලින් පින් පඩි ගෙවා බොරු පින්කම් කිරීම නොවේ. යුතු කම වන්නේ එවැනි අයටද ජීවත්විය හැකි ලෙස ක්‍රමවේදයන් නිර්මාණය කිරීමයි. ඊට මුල්විය යුතුවන්නේද දැනට බොරු පින් පෙන්වා මුලුගන්වෙන රාජ්‍ය නිලධාරීන්මය. රටේම සිටින පෞර්ෂ දුර්වලතාවන් ඇති අයට රජයේ කාර්යාලවල රැකියා දී මෙසේ ගසා වසා විශ්‍රාම යනතෙක් බලා සිටීම එම ගැටලුවට විසදුම නොවේ. එය එම තුවාලය පමණක් වැසෙන පැලස්තරයකි. එවැනි අය රාජ්‍ය කාර්යාල සේවයේ තබාගෙන රාජ්‍ය සේවය අකරමන්‍ය කිරීම හෝ ඊට අනුබල දීම බරපතල අපරාධයකි. මෙවැනි සිදුවීම්, ගුරුසේවය තුල තිබෙනු මම දැක තිබේ. "මිනිහෙකුගේ රස්සාවක් නැති කරලා ඒ මිනිහගේ දරුවෝ කන්න නැතිව දුක් විදිනකොට, ඉගෙනගන්න බැරි වෙනකොට, පස්සේ ඒ හේතු නිසා ඒ ළමයි අපරාධකාරයෝ වෙනකොට" යනුවෙන් කියන ඔබද එවැනි ගුරුවරයෙකු ඔබේ දරුවාට උගැන්වීමට ඉඩ දෙන්නේ නැත. ඔය බොරු පින් කම් බර කරන්නේ අනුන්ටය. ඒ බොරු පින්කම් වලට පඩි ගෙවිය යුත්තේ මහජනයාය. මේ කොයිතරම් කුහක ආකලපයක්දැයි ඔබම සමාලෝචනය කර බලන්න.

      මේ පෙනෙන්නේ, මේ රට තමුන්ගේ නොවේ යයිද, මේ රට අනුන්ගේ යයිද සිතන මිනිසුන් කොටසකගේ කුහක කම බව මගේ අදහසයි.

      මෙවැනි අවස්ථා මෙසේ හොරෙන් ගසා වසා දැමීම මගින්ම, එවැනි පෞර්ෂය දුර්වලතා/ඌනතා ඇති අය වෙනුවෙන් යම් සුදුසු අවස්ථාවන් ප්‍රමාණයක්, විද්‍යාත්මක පදනමක් සහිතව නීතිමය වශයෙන් වෙන් කරගැනීමට කටයුතු කල යුතුව තිබු ඒ ප්‍රධානීන් ඒවා ගසා වසා දමා සිදුකර ඇත්තේ බරපතල සමාජ අපරාධයක් බව මගේ අදහසයි. එවැනි දුර්වල මිනිසුන්ට සුදුසු අවස්ථා ඇති කල හැක්කේ දැනුම් තේරුම් ඇති මිනිසුන්ගේ නිවැරදි පෙනී සිටීම් වලින් මිස ඉබේ පහල වීමෙන් නොවේ. මම පෙනී සිටිනේ ඒ වෙනුවෙනි.

      Delete
    3. සැලියුට් කෙන්කියුෂා, රජයේ සේවකයෙක් හොරාකාලා අල්ලලාදුන්නාම එයාගේ ප්‍රධානියෝ කියන්නේ අඔු දරුවෝ පව්නේ ඒ අය වරදක් කරලා නෑනේ කියා, එතකොට ඒ අඹු දර්වෝ පෝෂණය කරන්න වෙලා තියෙන්නේ අපටයි, අපි තමයි පව් කාරයෝ,

      Delete
    4. කෙන්කියුෂා සහ ඇණයා ඔබ දෙපල පෙනී සිටින මාතවාදවලට සහ බුද්ධිමත් ආකාරයට මෙවැනි සංවාදයක නිරතවීමට ඔබ දෙපලතුළ ඇති සංයමයට මම ගරු කරමි. නීති රීති, අනපනත්, සිද්ධාන්ත මත කොතෙක් පදනම් වුවද අප ජීවත්විය යුත්තේ ප්‍රාෙයා්ගිකත්වය සමගය. අනිත් අතින් අප සියලු දෙනා මිනිසුන්ය. අප රටේ මෙවැනි අයෙකුට ලබාදිය යුතුයැයි නියම කර ඇති රැකියා තිබේදැයි මම නොදනිමි. දියුණු රටවල, සංවර්ධිත සමාජවල එවැනි පදනමකින් රැකියා වෙන්කර ඇතැයි සිතිය හැකිය. මෙකී තැනැත්තිය කලක් ඉතා හොදින් රැකියාව කර විශ්‍රාම යාමට ආසන්නයේ මේ ත්ත්වයට මුහුණ පා සිටි තැනැත්තියකි. එවකට උසස් පෙල හදාරමින් සිටි මේ තැනැත්තියගේ එකම දරුවා අද උපාධිධාරියෙකි. මේ සම්බන්ධයෙන් මාහට ගතහැකිව තිබූ යහපත්ම පියවර ගැනීමට හැකිවීම ගැන මම අදටත් සතුටු වෙමි. ඔබ දෙපල මේ සම්බන්ධව සිදුකළ විචාර සහ විවේචන පිළිබදව ස්තිතුවන්ත වෙමි. ඉදිරියේදීද මේ ආකාරයට මා පලකරන ලිපි සදහා හරවත් විවේචන සහ අදහස් දැක්වීම එක්කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

      Delete
    5. අපේ සංවාද සහ මතු කල කරුණු සංයමයකින් යුතුව බුද්ධිමත් ලෙස පිළිගැනීම වෙනුවෙන්ද ඔබට ද ස්තුතිවන්ත වෙමි.

      ඔබ නිවැරදිව වටහා ගෙන ඇති ලෙසම, මටද මේ පසුගිය දෙයක් ගැන ඔබට දෝෂාරෝපානය කිරීමට සිතක් නැත. මේ කතා කරන්නේ ඒ ආකල්පය දිරි ගැන්විය යුතු එකක් නොවන බැවිනි. මහජන මුදලින් පුද්ගලික අභිමතයන්ට අනුව පින්කිරීමේ ආකල්පය අතිශය වැරදි එකකි.

      සියලු දෙනාම සමාන්‍ය මනුෂ්‍යයෝය යයි කීමෙන් ඔබ අදහස් කරන්නේ කුමක්දැයි නොතේරේ. නීති රෙගුලාසි පද්ධති සාදා තිබෙන්නේ සාමාන්‍ය මනුෂයෝ වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට මිස පිටසක්වලයන් සඳහා නොවේ. නීතිය තමුන්ට අනුව විනිශ්චය කිරීම රාජ්‍ය නිලධාරෙන් කරන බරපතල අපරාධයකි. දැනට තිබෙන්නේ ක්‍රියත්මක කිරීමට නොහැකි නීති රෙගුලාසි නම් ඒවා; ඒවා යාවත්කාලීන කළ යුතු අයම, මෙම ගැටළු නීතියෙන් හෝ රෙගුලාසි වලින් පිටත වසන් කිරීමේදී ක්‍රියාත්මක කළහැකි මට්ටමේ හොඳ නීති රෙගුලාසි හැදෙන්නේ ද නැත. එසේ කිරීමෙන් ලැබෙන අවසාන ඵලය අද තිබෙන අතිශය අක්‍රමවත් දේශපාලන සහ රාජ්‍ය සේවා යාන්ත්‍රණයයි. නීතිය තම නැණ පමණින් විනිශ්චය කළ/ කරන සියලු දෙනාම ඊට නම් වගකිව යුතුය.

      යම් රෝගයක් හෝ දුබලතාවයක් නිසා, කෙනෙකු නීත්‍යනුකුලව නිවාඩු යැවීමෙන් පසු හෝ විශ්‍රාම ගන්වා වේතනය ගෙවීමට මම විරුද්ධ නොවෙමි. මගේ දැනුම අනුව එය නිසි ක්‍රම්වෙධයයි. නමුත්, ආයතනයක් තුල කෙනෙකු නිකම් සිටීම අනෙක් අයගේ ගුණාත්මක භාවයටද හේතු වන අතර, අනවශ්‍ය ගැටළුද නිර්මාණය කරයි. ඒ සියල්ලෙන්ම වන්නේ, ඔබේ ගනුදෙනු කරුවාට අවශ්‍ය සේවය හරියාකාරව නොලැබීමයි.

      //අප රටේ මෙවැනි අයෙකුට ලබාදිය යුතුයැයි නියම කර ඇති රැකියා තිබේදැයි මම නොදනිමි. දියුණු රටවල, සංවර්ධිත සමාජවල එවැනි පදනමකින් රැකියා වෙන්කර ඇතැයි සිතිය හැකිය. දියුණු රටවල, සංවර්ධිත සමාජවල එවැනි පදනමකින් රැකියා වෙන්කර ඇතැයි සිතිය හැකිය.//

      ඒවා එසේ වුයේ ඉබේ නොවේ. මෙවැනි අවස්ථාවන් වලදී නිසි ක්‍රියා මාර්ග ලෙස ඒවා ඉහල වාර්තා කරන, එම ගැටළු ගැටළු නිවැරදි ලෙස ප්‍රතිපත්ති සම්පාදකයන්ට ඒත්තු ගැන්වීමෙනි. එසේ නොමැතිව ඒවා ගසාවසා දමා පැලැස්තර ඇලවීමෙන් නම් ඉදිරි සියවසේදී හෝ එවැනි අවස්ථාවන් වෙන් කරගත හැකි නොවෙනු ඇත. ගැටළු නොපෙනෙන විට ඒවාට විසදුම් ද ඉබේ සම්පාදනය වන්නේ නැත.

      රටක් දියුණු නම් සෑම රාජකාරී කර්තව්‍යක්ම පුද්ගලානුබද්ධ (ගමේ වචනයෙන් නම් ගොඩ පෙරකදෝරු) ක්‍රමයන් වෙනුවට; නිසි සම්මත ක්‍රමවේදයන් (stranded procedures) ඇතිවිය යුතුය. ඔබේ ප්‍රධානීන් ගේ පැලැස්තර ක්‍රමයේදී මෙය අවසන් වී ඇත්තේ අනාගතයේදී එන මෙවැනි අවස්ථාවකට විසදුමක් නොමැතිවයි. ඔබට තවමත් අවස්ථාව තිබේ නම් හෙට දිනයේ හමුවිය හැකි තවත් "නන්දා මිස්" කෙනෙකුට නිසි මාවතක් පාදා තබන්නට හැකි නම් ඔබ වඩා සාර්ථක වෘත්තිකයෙක් වේවි. එවිට ඔබට අදට පමණක් නොවෙන් හෙටටද සතුටු විය හැකි වනු ඇත.

      වෘත්තිකයන්ගේ තීරණ අනාගතය මත පදනම් වෙනවා නම් එය යහපත් හෙටක් නිර්මාණය කරාවි.

      Delete
    6. AS far as I know its really difficult to fire a government servant, but not everyone works for the government, people who work for the private sector has the same weakness the only difference is they identify that do something to upskill them selves, we as private sector workers have annual appraisals where we get our objectives for the yaer and we get coaching if we dont stick to our objectives, by end of the year if the objectives are not met (majority of objectives are quontifiable hence your boss cant screw u up) we dont get a good rating and if we dont get good rating we dont get a good bonus, so i know the work i do is actually linked with my pay and i work hard for it, but people who benifit of our hard work think this way about the persnos who do not do anything productive for the salary they earn is nt it really un fair, why does govenment service has to be a pin padi thing, if that woman is not capable of doing a desk job may be she can be a labourer, im not trying to put down people but there are jobs for the skills you have and people should not pity the leeches who suck the blood out of this country for nothing, we always scold politicians but its not only them, the messengers who steal the photo copy papers from govenment offices and sell to communications should also be scolded the same way and treated with same punishment if caught, cz intention is the same, if you dont punish any one you will never have control over anything, if police starts shooting people for jay walking from tomorrow no body will jay walk, im not suggesting extremism but work ones work has to be directly linked with their pay,,,,,,,so do nt be sorry that woman left early, thank god ,no not god perera for scaring the shit out of her and saving the tax payer a lot of money, besides when she leaves the government can recruit some one who is more prodcutvie for her job

      Delete
  4. හැක්.. නියම රජයේ සේවිකාවක්.
    අනේ වාසනාවං ඔහොම කට්ටිය රස්සාව කරනකල් රටකට.

    ReplyDelete
    Replies
    1. මේක හුග කාලෙකට කලින් වෙච්ච දෙයක් බං. ඒක නිසා කලබල වෙන්න එපා. මගේ පලවෙනි ජොබ් එකේදි මේක උනේ.

      Delete
    2. ඇයි දැං මල් මල්ලි රාජ්‍ය සේවේ නැත්ද?

      Delete
    3. නෑ ඇණයා. මම දැන් වෙන තැනක ජොබ් එකක් කරනවා.

      Delete
  5. කතාව බලලා හිනා ගියා:D

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ අපිටත් මේක හොදට හිනා ගිය සිද්ධියක්

      Delete
  6. පවු අප්පා..එයාව ඔය තත්වයෙන් මුදව ගන්න උත්සහ කලේ නැද්ද

    ReplyDelete
    Replies
    1. කීප සැරයක් උත්සාහ කලා. පරිඝණකය හුරු කරවන්න, අලුත් ඔෆිස් සිස්ටම් එකට හුරුකරවන්න. හැබැයි සාර්ථක උනේ නෑ. පස්සේ එයාට ගැලපෙන වැඩ කීපයක් පැවරුවා.

      Delete
  7. පව් බං ඒ වගේ මිනිස්සු

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පව්. මේ මිනිස්සුන්ට විතරක් බැනලා වැඩක් නෑ. මේ කාලේ තමයි විශාල වශයෙන් රාජ්‍ය සේවයට පරිඝණක හදුන්වා දෙන්න පටන් ගත්තේ. ටිකක් වයසක අයට මේක එකපාරටම අල්ල ගන්න බැරි උනා. මෙයාලා ටයිප් රයිටර් එකෙන් ටයිප් කරපු අය. එහෙම අය අලුත් දේ ගැන අප්ඩේට් වෙන්න ගන්න කාලයත් මේකට එක හේතුවක් උනා. අලුතෙන් ආව පරම්පරාව මේ දේවල් ඉක්මනට අල්ලගෙන ඉස්සරහට යනකොට මෙයාලා ඉබේටම මුල්ලකට තල්ලු උනා. නාඩි අපේ මිනිස්සු හුග දෙනෙක් තීරණ ගන්නේ ප්‍රශ්නේ මතුපිටින් අතගාලා. මිනිහෙකුට ප්‍රශ්නයක් උනාම ඇයි එහෙම උනේ කියලා ඒ මිනිහාගේ කෝනයෙන් බලන්න සංස්කෘතියක් තවම අපේ වගේ රටවල හැදිලා නෑ. බලන්නේම මේකට කෙලවන්න ඕන කියන මානසිකත්වයෙන්.

      Delete
  8. වෙරි සොරි වෙන්න ඔන මල් මල්ලී, මට නම් කියන්න තියෙන්නේ නොදකිං රාජ්‍ය සේවකයෝ සහ උන්ගේ සිත්ගත් කතන්දර කියලයි.

    ReplyDelete
    Replies
    1. කමක් නෑ අය්යා. ඔයාලා දකින්නේ මම ලියලා තියෙන දේ එක්ක රාජ්‍ය සේවය ගැන දැනට මිනිස්සුන්ගේ හිතේ තියෙන අදහස්. හැබැයි මම එකක් දන්නවා ඔයා මේ සේවිකාව එක්ක වැඩකලා නම් ඔයාලට උනත් මේ මනුස්සයට හානියක් කරන්න හිතෙන්නේ නෑ.

      Delete
  9. හමුදා සේවය සඳහා බඳවා ගැනීමේදී ගැහැණු පිරිමි දෙපාර්ශ්වයම නිරුවතින් වෛද්‍ය පරීක්ෂණයට පෙනී සිටිය යුතු බව මම කියවා තිබෙනවා - හැබැයි දැන් කාලේ නෙවේ - දෙවන ලෝක යුද්ධ සමයේ - දැන් තත්ත්වය කෙසේ ද දන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. මමත් මෙය අසා ඇත. නමුත් දැන් සිදුකරනවාදැයි නොදනිමි.

      Delete
  10. ලණු කෑම තමන්ගෙ ජීවිකාව කරගත්තු අය ඉන්නවා තමා.එයාලට දෙයක් සිරාවටම තේරුණත් ශුවර් එකක් නැතුව යනවා... රැවටෙන්නම පුරුදුවෙලා ඉන්න නිසා වෙන්න ඇති.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මාත් දැකල තියනව එයාල රැස්වීම්වල චියර් කරනවා

      Delete
  11. මේකත් ඒ වගේ චරිතයක් තමයි බං.

    ReplyDelete