Monday, June 19, 2017

සිද්ධාර්ථ කුමරා කොට්ට උරයක



ඉන්දියාවේ සිටි කාලය තුල මයිසූර් සහ බැංගලෝර් පලාත්වල සිදුකළ චාරිකා  අතිශය සුන්දර  විය. හයිද්‍රාබාද් සිට බැන්ගලෝර්වලට වැඩි වියදමකින් තොරව ඩොමැස්ටික් ප්ලයිට් එකක යාමට පුලුවන්කම තිබුනද සංවිධායකවරුන් විසින් අපට අලුත් අත්දැකීමක් ලබාදෙනු රිසියෙන් මේ ගමන පැය 12 ක දුම්රිය චාරිකාවක් ඇතුලත්වන සේ සංවිධානය කර තිබුණි.

හයිද්‍රාබාද් අවට දුම්රිය ස්ථානයකින් සවස 6.30 පමණ දුම්රියට ගොඩවූ අපට බැන්ගලෝර් වෙත ලඟාවීමට හැකිවූයේ පසුවදා උදේ 6.30 ට පමණය. එය වායු සමනය කරන ලද දුම්රියකි. කෑම බීම අවශ්‍ය අයට සැපයුනු අතර වෙලෙන්දෝද බුරියානි, තේ (චායි), පළතුරු, සිසිල්බීම වැනි දේ අළෙවි කරමින් එහා මෙහා ගියහ. දුම්රියේ නිදාගැනීමට පහසුකම් තිබුණද මම නම් බැන්ගලෝර් ගිය ගමනේදී පැයක්වත් නිදාගත්තේ නැත. මේ ගැස්සෙන පැද්දෙන දුම්රිය ඇඳේ මොන නින්දක්ද?.

මා අසළ අසුනේ වාඩිවී සිටියේ සුන්දර ඉන්දියානු යුවතියන් දෙදෙනෙක් සහ ඔවුන්ගේ පියාය. ටික වේලාවක් සුහදව කථාකරමින් සිටි පියා ඔවුන්ගේ ඥාතීන් වෙනත් දුම්රිය මැදිරියක සිටින බව පවසා ඔවුන් බැලීමට ගියේය. මල් මල්ලී ඉන්පසු මේ සුන්දර යුවතියන් දෙදෙනාගේ සමාගමයට නතුවිය. රෑපයෙන් පමණක් නොව කථා බහෙන් පවා ඉතා ප්‍රිය මනාප වූ මේ සුන්දර යුවතියන් දෙදෙනා මල් මල්ලීගේ පාලුව සෑහෙන වේලාවකට මගහැරීය. ආගිය තොරතුරු වලින් ආරම්භ වූ සංවාදය අනතුරුව පුද්ගලික තොරතුරු දක්වාද, ඉනික්බිති කෑම බීම හුවමාරුව දක්වාද, ඡායාරෑප ගැනීම දක්වාද ඇදී ගියේය. අපේ කණ්ඩායමේ අනෙක් උන් සරදම් කරමින්ද ඉඟි බිඟි පාමින්ද එතනින් එහා මෙහා ගියද අපි තිදෙනාගේ සතුටු සාමීචියට එය බාධාවක් නොවීය. අවසානයේ වැඩිමහල් යුවතිය මල් මල්ලීට පොඩි පහේ චරිත සහතිකයක්ද දුන්නේය. එනම් “ යූ විල් බී ස්වීට් හස්බන්ඩ් ෆො යුවර් වයිෆ්“ කියාය. (දැන් අහන්ඩ එපා මක්කද එහෙම කිව්වේ කියලා)



අපේ උන්ටික සුපුරුදු පරිදි මල ගෙවල් වල තනි රැකීමේ පුරුද්ද පෙරට ගෙන කාඩ් සෙල්ලම් කරමින් උන්හ. අන්තිමට අපේ උන්ට කාඩ් සෙල්ලම් කිරීමට නොහැකිවූයේ පිටරට එව්වෝ කාඩ් කුට්ටමට වහවැටුනු නිසාවෙනි. කෙසේ නමුත් දුම්රිය ගාඩ් අය්යා කෙනෙක් පැමිණ දැන් නිදාගතයුතුයැයි දැන්වීය. රාත්‍රී 10 ට පමණ දුම්රිය මැදිරි ඇතුළත ලයිට් ඕෆ් කළ අතර ඉන්පසු සමහර ඉන්දියානු මගීන් නම් ගොරවමින් නිදා ගනු දැකිය හැකිවිය.  අපේ දුම්රිය මගීන් මෙන් “හච පච“ ගෑම්වලින් තොරව මනා විනයකින් යුක්තව මෙම නගරාන්තර දුම්රිය මගීන් ගමන් කිරීම පැසසුම් සහගතය. දුම්රිය ස්ථානයන්හි දුම්රිය නැවැත්වූ විගස නාටාමිවරුන් පොදිකන්නේ මගීන්ගේ බඩු ඔසවාගෙන යාමටය.  ඒ සියලු දෙනාට නිල ඇඳුමක් තිබුණි.


(දුම්රියේ ඇඳන්)
දුම්රියෙන් බසිනාවිට අපට හිමි බස්රථ පැමිණ තිබුණි. අතරමගදී උදෑසන ආහාරය සඳහා පමණක් බස් රථය නැවැත්වූ අතර මැක් ඩොනල්ඩ් අවන්හලක් සහ ඉන්දියානු අවහන්හලක් එහිවිය. පැය 4 ක පමණ ගමනකින් පසුව  11.30 පමණ වනවිට මයිසූර්වල පිහිටි හොටෙල් සිද්ධාර්ථ වෙත ලඟාවීමට හැකිවිය. හොටෙල් සිද්ධාර්ථ හි වයිෆයි පහසුකම් හැර අන් සියල්ල හොඳය. මෙහි කෑම බීම සියල්ල වෙජිටේරියන්ය. සිද්ධාර්ථ හෝටලයේ පිහිටි රෙස්ටුරන්ට් එකේ කෑමබීම සඳහා ඉහල ඉල්ලුමක් පැවතියේ සාධාරණ මිලත්, රසවත් බවත් නිසාය.


මේ හෝටලය ගැන තවත් යමක් සඳහන් කලයුතුය. මෙම හෝටලයේ ලාංඡනය වන්නේ සිද්ධාර්ථ කුමරාගේ රෑපයයි. තවත් සමහරු එය බුදුන්වහන්සේගේ රූපය යැයි අනුමාන කලහ. හෝටලයෙන් ලබාදෙන, ඇඳ ඇතිරිලිවලද, තුවායේද, කොට්ට උරයේද, සබන් කෑල්ලේද, ෂැම්පූ බෝතලයේද සඳහන්ව ඇත්තේ එම රූපයයි. මේ නිසා හෝටලයෙන් ලබාදුන් කොට්ට උර, ඇඳ ඇතිරිලි, තුවා, සබන් ආදිය පාවිච්චි කිරීම සමහර අය ප්‍රතික්ෂේප කලහ. බුදුන් උපන් රටේ සිද්ධාර්ථ කුමාරයාගේ රෑපය මෙසේ සටහන් කර ඇතිවා  මිස පාරේ ඇති බෝ ගසක්වත් පාර පලල් කිරීමට කැපීමට නොදෙන බෞද්ධයින් සිටින අපේ රටේ මෙය සිදුවූවා නම් ඇතිවන තත්වය සිතාගැනීමටවත් අපහසු වනු ඇත.



(කොට්ට උරයක සහ ටවල් එකක දුටු සිද්ධාර්ථ රුව)
උදය වරුවේ ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවද පස්වරුවේ කොහේ හෝ තැනකට අපව රැගෙන යාමට තරම් අපේ ආචාර්යභවතුන් කාරුණික වූහ. බැන්ගලෝරයේද, මයිසූර්වලද ආගමික. සංස්කෘතික, විනෝද සහ වැදගත්  ස්ථාන ගනනක් දැකගැනීමට මේ නිසා අපට වාසනාව උදාවිය. මගේ මතකයේ රැඳි වැදගත්ම ස්ථාන වූයේ චාමුන්ඩි කන්දේ පිහිටු දුර්ගා කෝවිල, මයිසූර් මාලිගය, බ්‍රින්ඩාවන් උද්‍යානයයි.

බ්‍රින්ඩාවන් උද්‍යානය එතරම් විශාල උද්‍යානයක් නොවූවත් එහි සුන්දරත්වය සහ රාත්‍රියේ පවත්වන ආලෝක සන්දර්ශනය නිසා සංචාරකයින් අතර ඉතා ජනප්‍රියත්වයට පත්වූ ස්ථානයකි. ක්‍රිෂ්ණරාජා සාගර වේල්ල අසල ඇති මෙම උද්‍යානය පුරාම ඇත්තේ කුඩා පොකුණු, කෘතීම දිය ඇලි, වතුර මල් වැනි ජලයට සම්බන්ධ වූ නිර්මාණයන්ය. සැබවින්ම එම උද්‍යානය මනස්කාන්තය.






දුර්ගා කෝවිල පිහිටා ඇත්තේ මයිසූර් සිට කිලෝ මීටර් 13-14 පමණ දුරින් ඇති චාමුන්ඩි කන්දේය. කන්දේ උස අඩි 1000 ට වැඩිය. චාමුන්ඩි කන්දේ දේවාලය ආශ්‍රිතව පවතින පුරාවෘත්තයකට අනුව අතීතයේ චාමුන්ඩි කන්ද මහීෂන් නම් අසුරයාගේ නිජබිම වී ඇත. මහීෂන් අසුරයා මහීෂන්පුර වැසියන්ට පීඩාකරමින් පාලනය කරනු දැක ශිව දෙවියන් ඔහුගේ බිරිඳවූ පාර්වතියට මහිෂන් අසුරයාගේ තාඩනපීඩනවලින් මහිෂන්පුර ජනතාවට නිදහස ලබාදෙන ලෙස නියම කර ඇත. පාර්වතිය දුර්ගාදේවියගේ රූපය මවාගෙන මහිෂන් අසුරයා හමුවට ගොස් සටන් කර අසුරයා පරවදා මහිෂන්පුර වැසියන්ට නිදහස ලබාදුන්නේය. මෙම දුර්ගා දේවී කෝවිලට පැමිණෙන බැතිමත්හු  මහිෂන් අසුරයා පැරදවූ දුර්ගා දේවිය සිහිකොට  පුදපූජා පවත්වති.


අපේ රටේ නුවරඑලියේ පවතින දේශගුණය මෙම පෙදෙසේ දැකිය හැකිය. මෙම දේවාලය නැරඹීමට ගිය විට මේ කොහේදැයි නොදත් සුමෝ නංගී “ෂා මෙහාට මාර හුලඟක්කේ තියෙන්නේ ෂුවර් එකටම මේ කිට්ටුව බීච් එකක් ඇති“ යැයි  පැවසීය. දේවාලයට යන මග දෙපස පුජා භාණ්ඩ, විසිතුරු භාණ්ඩ, ඇඳුම් පැලඳුම්, සෙල්ලම් බඩු, ආහාරපාන විකිණීමට ඇති වෙළඳසැල් විශාල ප්‍රමාණයක් ඇත. අපිද මෙහි තිබූ කුඩා කඩයකින් උණු වඩේද, සුමෝගේ දැඩි ඉල්ලීමකට අනුව මාලු මිරිස් බැදපුවාද කා තේ (චායි) බිව්වෙමු.

මයිසූර් යන කෙනෙකු විසින් නැරඹිය යුතුම අනෙක් ස්ථානය නම් මයිසූර් මාලිගයයි. මෙය දකුණු ඉන්දීය මහාරාජාවරුන්ට සෙවනදුන් අතිසුන්දර මාලිගයකි. මයිසූර් මාලිගයේ වාසය කර ඇති අවසන් මහා රාජා වන්නේ “මහාරාජා ක්‍රිෂ්ණ රාජා වඩිවේල්ය“ .

මයිසූර් මාලිගය නැරඹීමට යාමේදී මතක  තබාගතයුතු කරුණු කිහිපයකි. පළමුව මාලිගයට ඇතුල්වනවිට පාවහන් ගලවා ඇතුල්විය යුතුය. මාලිගය ඇතුලත ඡායාරූපගැනීම, වීඩියෝකිරීම සපුරා තහනම්ය. මාලිගය තුළ ඇති රන්, රිදී භාන්ඩ සහ පෞරාණික භාණ්ඩවල ආරක්ෂාවට මෙම පියවර ගෙන ඇත. මාලිගයෙන් පිටත ඡායාරෑපගැනීම වීඩියෝ කිරීම ගැටලුවක් නැත. මාලිගයට ඇතුල්වීමට ගේට්ටු 5 කි. මාලිගය සම්පුර්ණයෙන් නැරඹීමට පැය හතරක් පමණ කාලයක් ගතවේ.

මාලිගය ඇතුළත දර්ශනීය කිරිගරුඬ නිර්මාණ, පිඟන් ගඩොල්, බුමුතුරුණු, වීදුරු නිර්මාණ, ලී කැටයම්, පෞරාණික චිත්‍ර, වීදුරු පහන්, මහාරාජාවරුන් පරිහරණය කළ බඩු භාණ්ඩ යනාදිය දැකගතහැකිය. සමහරවිට මහාරාජාවරුන්ගේ සහ පවුල්වල අයගේ චිත්‍රද දැකිය හැකිය. මයිසූර් මාලිගාවේ සුන්දරම දර්ශනය නම් ලයිට් ෂෝ හෙවත් ආලෝක සන්දර්ශනයයි. ඒ මුලු මාලිගාවම ආවරණයවන පරිදි තබා ඇති විදිලි බුලුලුවලින් මුලුමහත් මාලිගාවම ඒකලෝකවන මොහොතයි. එවිට මයිසූර් පැලස් දිස්වන්නේ සුරපුරයක් ලෙසිනි. ඇත්තේන්ම ඔබ මයිසූර් යනවා නම් මයිසූර් මාලිගය දැකගතයුතුම ස්ථානයකි.




හයිද්‍රාබාද් ආසන්නයේ පිහිටි හුසේන් සාගර් ද අප සංචාරය කළ ස්ථානයකි. වැවක් මැද පිහිටි බුදු පිලිමයක් ඉදිකර තිබූ මෙයට යා යුත්තේ බෝට්ටුවකිනි.


මෙම ස්ථානයන්ට අමතරව සත්ව උද්‍යාන, පන්සල්, පල්ලි, කාර්මික ජනපද, සුලු කර්මාන්ත පිහිටි ගම්මාන, කර්මාන්තශාලා, ආදර්ශ ගොවිපල ඇතුලු ආයතන විශාල ප්‍රමාණයක සංචාරය කිරීමට අපට හැකිවූයේ අපේ ආචාර්යභවතුන්ගේ කාරුණිකත්වය නිසාය. 











28 comments:

  1. නියම අත්දැකීම් ටිකක්

    ReplyDelete
    Replies
    1. අපට කරපු සත්කාර සම්මානවලට ඉන්දියාවට ස්තුතියි. ඒත් ඉයන් උන්ගේ ක්‍රිකට් ටීම් එකේ එව්වො මතක් වෙනකොට ...........

      Delete
  2. ඉන්දියන් කාරයෝ ඔහෙලට ඔච්චර සලකලත් ICTA එපා කියනවනේ හිටන්?

    ReplyDelete
    Replies
    1. අර කෝලියගේ මුණ මතක් වෙනකොට මොනවද නොහිතෙන්නේ හිටන්

      Delete
    2. http://indianexpress.com/article/sports/cricket/anil-kumble-quits-but-lines-with-virat-kohli-snapped-long-ago-4714223/

      Delete
  3. මල් මල්ලි කෝච්චියෙදි අර කෙල්ලො දෙන්නත් එක්ක හොඳට මල් නෙලල වගේ. හැක්..

    යකෝ මෙච්චර බලන්න දේවල් තියෙද්දි අපේ මිනිස්සු දඹදිව යනවයි කියල ගිහිල්ල බලන දේවල් මෙලෝ රහක් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඇයි බං මේ්වා බලන්න එක්කන් ගියොත් අපේ ඒජන්ට්ලාට ලාභයක් කොහෙන්ද

      Delete
  4. මයිසුර් මාළිගාවේ තොරතුරු කියා දෙන්න ඉන්න ගයිඩ්ලගෙ විස්තරේ උඹ කියල නෑනෙ. ඉන්දියාවෙ කෝච්චියකදී ඇතිවෙන යාළුකම් කෝච්චියෙන් බැස්සම ඉවරයි කියන කතාව ඇත්ත නේද?

    ReplyDelete
    Replies
    1. ඒක සහතික ඇත්ත හැලපයියේ. කෝච්චියේ විතරක් නෙමෙයි ඉන්දියාවේ හුගක් යාලුකම් එහෙමයි.

      Delete
  5. අර ලොකු ගැහැණු ළමයාට කුරහන් ව හිතට වැටෙන්න ඇති. ලිපින හුවමාරු කර ගත්තේ නැත්ද? වෙලාවක ඔය පැත්තෙන් යන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ අජිත් අය්යා. ඒ නිකන් ඒ වෙලාවට විතරයි. හැබැයි හොඳ මිනිස්සු.

      Delete
  6. //සුන්දර ඉන්දියානු යුවතියන් දෙදෙනෙක්// මල් මල්ලි එහෙම විශේෂනයක් යෙදීම සධාරණයි කියලා ඊට පල්ලෙහා පින්තූරෙ දැක්කම හිතුණා :D

    ReplyDelete
    Replies
    1. මේ ෆොටෝ ගන්නකොට ලස්සනම කෙල්ලියෝ ටික දොයි රස්තා. ඒක නිසා ඒ ගැන වැඩියේ හිතන්න එපා.

      Delete
  7. මම සා/පේ ඉවරවෙනකම් කෝච්චියේ ගිහින් තිබ්බේ නෑ . විභාගේ ඉවරවෙලා තමයි ඉස් ඉස්සල්ලම කෝච්චියේ ගියේ , බදුල්ලේ . ඒ යනකොට අපිට හම්බවුනා දමිල සහෝදරියන් කට්ටියක් බොහොම කුලුපගවුන. මේක කියවගන යද්දී මට මතක්වුනේ ඒ විස්තරේ.

    ReplyDelete
    Replies
    1. මමත් ඉස්සරවෙලාම කෝච්චියේ ගිය දවසේ බොහොම හයියෙන් අල්ලගෙන ගියේ. පස්සේ කාලෙක මගේ ප්‍රියතම ප්‍රවාහන සේවාව උනේ දුම්රිය.

      Delete
  8. වැඩියෙන්ම හිතට ඇල්ලුවේ අන්තිම පින්තුරේ. :D වෙනද වගේම රසවත් වැදගත් සටහනක්...

    ReplyDelete
    Replies
    1. මේ ෆොටෝ එක ගත්තේ ගාර්ඩ්න් එකක් බලන්න ගිහින්. අන්තිමට අපිත් එක්ක ගිය ළමයෙක්ව මේ වඳුරා හපාකෑවා. ඒ ළමයට බේත් දාන්නත් උනා. හේතුව ඒ ළමයා අතේ තිබුණු බීම බෝතලේ නොදීපු එක.

      Delete
  9. ගමන ඉවර වෙනකම්ම මල් කඩලා, උඹ තමයි දවසකට හරි සුවාමි පුරුෂයා, අම්මප දෙන්න ඕන මෙඩල් එකක් !

    කොහොමහරු අන්තිමටම හරි උඹේ පින්තූරයක් දාල තියන එක බොහොම වටිනවා, උඹට නොසෑහෙන්න තිබහ පාටයි !

    ReplyDelete
    Replies
    1. සමහරවිට වසරේ සුවාමි පුරුෂයා සම්මානය ලැබෙන්න ඉඩ තියෙනවා. කොහොමද මම හැන්ඩියා නේද බං කන්ඩො

      Delete
    2. නෑ මට හිතෙන්නේ පාන්දර ජාමෙට වගේ.

      Delete
  10. //මල් මල්ලී ඉන්පසු මේ සුන්දර යුවතියන් දෙදෙනාගේ සමාගමයට නතුවිය. රෑපයෙන් පමණක් නොව කථා බහෙන් පවා ඉතා ප්‍රිය මනාප වූ මේ සුන්දර යුවතියන් දෙදෙනා මල් මල්ලීගේ පාලුව සෑහෙන වේලාවකට මගහැරීය. ආගිය තොරතුරු වලින් ආරම්භ වූ සංවාදය අනතුරුව පුද්ගලික තොරතුරු දක්වාද, ඉනික්බිති කෑම බීම හුවමාරුව දක්වාද, ඡායාරෑප ගැනීම දක්වාද ඇදී ගියේය. අපේ කණ්ඩායමේ අනෙක් උන් සරදම් කරමින්ද ඉඟි බිඟි පාමින්ද එතනින් එහා මෙහා ගියද අපි තිදෙනාගේ සතුටු සාමීචියට එය බාධාවක් නොවීය. අවසානයේ වැඩිමහල් යුවතිය මල් මල්ලීට පොඩි පහේ චරිත සහතිකයක්ද දුන්නේය. එනම් “ යූ විල් බී ස්වීට් හස්බන්ඩ් ෆො යුවර් වයිෆ්“ කියාය. (දැන් අහන්ඩ එපා මක්කද එහෙම කිව්වේ කියලා)//

    මට ඉන්තේරුවෙන්ම කියන්ඩ පුලුවන් බොගේ පරිපාදචරිචාරිකාව මේ බ්ලොග් එක කියවනවා

    ඒකයි තෝ මෙහෙම ලියුවේ

    ReplyDelete
    Replies
    1. එහෙම කියවනවානම් මම මෙහෙම ලියයිද බං.

      Delete
  11. අර කලින් කතාවක කියුවනේ බවලත්තු බොලාගේ කාමරේට තට්ටු කලා කියලා ...... අනේ මචං ... අර හතරවෙනි පීන්තුරේ මැද්දේ ඉන්න දම්පාට උන්දැත් බොලාගේ දොරට තට්ටු කලාද

    ReplyDelete
    Replies
    1. තට්ටු කලා නේන්නම්. තට්ටු කරලා ඇහුවා අටමා කියලා පොරක් ලංකාවේ ඉන්නවද. මට මෑන්ව බලන්න ආසයි කියලා.

      Delete