පහුගිය කාලය පුරාම මා සිටියේ
ඉන්දියාවේ බව මීට ඉහත ලියූ පෝස්ට් දෙකකින් කීවෙමි. මේ ඉන්දියා ගමන අත්දැකීම් හැට
හුට හමාරක් ජනිත කල ගමනක් වූවායැයි කීම වැරැද්දක් නොවේය. ඒ තරම් අත්දැකීම්
සම්භාරයක් ලබාගැනීමට මේ ගමනේදී හැකියාව ලැබුනි. අත්දැකීම්වලට අමතරව ඇත්තෝද හැක්කෝද
කකුල් දැකීමට වාසනාවන්ත වූවෝය. ඒත් ඉතින් අපි සංස්කුරුතිය සදාචාරය බෙල්ල දී රකින
නිසාත්, ඇල් වතුරත් නිවා බී හතර පෝයට සිල් ගන්නා නිසාත් ඒ වගේ දේවල්වලට නම් ගියේ
නැතිය. මේ කියන්නේ අමූලික ඇත්තය. මම බොරු කියනවා කියා හිතෙනවානම් කැමති කෙනෙකුට
ඉන්දියාවේ අපිට ඉගැන්වූ ආචාර්ය භවතෙකුගෙන් අපි ගැන චරිත සහතිකයක් වුවත් ලබාගත
හැකිය. කොටින්ම මින් මතුවට අපි ඉගෙනුම ලැබූ ආයතනයට ශ්‍රී ලාංකිකයන් පමණක් බඳවා
ගත්තද පුදුම විය යුතු නැත. ඒ තරමට ශ්‍රී ලාංකියන් හොඳ බුවාලා බව අපි ඒ අයට ඒත්තු
ගැන්වූ නිසාවෙනි.