Tuesday, May 2, 2017

සමණල රංචුද, තනි සමණලයින්ද පාරේදී හමුවීම



ඉන්දියාවට ගිය මුල් දින කිහිපය තුළ කට්ටිය ෆුල් පිලිවෙලට හිටියත් ටික දවසක් යද්දී බලල්ලු එකා දෙන්නා මල්ලෙන් එලියට පණින්නට පටන්ගත්හ. ඒ තම තමන්ට ආවේනික අංග ලක්ෂණ ප්‍රචලිත කිරීමට යාම නිසාවෙනි. ඒ නිසා ටික දවසකින් කට්ටියගේ චර්යාවන් අනුව නික් නේම් ආදේශ කිරීම ආරම්භ වූයේ  සුමෝ නංගීගේ ප්‍රධානත්වයෙනි. ජේබී = ජින් බතලි, එම් කේ = මනෝ කුකුල්භාවය,  එන් එම් = නුවර මහසෝනා, ටී.ටී. = තල්ලේ තුවාල, පී.ජී. = පින් ගොනා, පී.ඊ. = පස්ස එලියේවැනි ද්විත්ව අකුරැ නාම මේ ආකාරයට සිදුවූ නාමකරණයන්ය. මනෝ කුකුල් භාවය යනු කෙල්ලෙකුට තදින්ම හිතින් ලව් කිරීමය. තල්ලේ තුවාල ඇතිවන්නේ චීස් කෑම නිසාය. පින් ගොනා යනු ස්වාමි පුරුෂයාට කියන ආදර වදනකි. මේවා කට්ටිය ඒ වෙලාවට කිව්වා මිස මෙහෙට ආවාට පසු දිගට ගෙනිච්චේ නැත.

අපරාදේ කියන්නට බැරිය ආයතනයෙන් අපට ලබාදිය යුතු සෑම පහසුකමක්ම ලබා දෙන්නට සැදී පැහැදී සිටියේය. කන්නට, බොන්නට අමතරව ජිම්, ජොගින් ට්‍රැක්, යෝග පන්ති වැනි අවශ්‍ය සෑම සියලු දෙයක්ම හැකි උපරිමයෙන්ම ලබාදී තිබුණි. මේ පහසුකම් වලින් උපරිම පලනෙලා ගැනීමට නිරන්තරයෙන් අප කණ්ඩායම උත්සාහ කරනු ලැබීය. වෙනත් රටවල අය උනන්දුකරවාගෙන ජිම් යාමට, බැඩ්මින්ටන් ගැසීමට, යෝග කිරීමට, සැමදා උදේට ජොගින් කිරීමට අපේ අය මහත් වූ උනන්දුවක් දැක්වීය. සමහරවිට මේවායේ යටි පරමාර්ථ තිබෙන්නට ඇතද එයින් සිදුවූයේ යහපතක් බැවින් අපිද  එහි දොසක් කියන්නට ගියේ නැතිය. සමහර අවස්ථාවල ආයතනය විසින් විශේෂිත වැඩසටහන් සංවිධානය කරනු ලැබීය. ලේඩීස් ගේම්ස්, ක්‍රිකට් මැච්, සංස්කෘතික සංදර්ශන ඒ අතර විය. අපටද අවශ්‍ය නම් එවැනි වැඩසටහන් සංවිධානය කරගැනීමට අවසරය ලබාදී තිබුණි. අපේ උන්ද ඩී.ජේ. සංස්කෘතික උත්සව, හෝලි උත්සව  සංවිධානය කර ඒ රටේදී ලබාගතහැකි උපරිම ත්‍රිලය ලබාගත්හ. 



                         ඉන්දියානුවන් සමග හෝලි උත්සවය සැමරූ ආකාරය

ඉන්දියාවටත් ගිහින් චිත්‍රපටියක් බැලුවේ නැත්නම් ඔය දෑස මක්කටැයි කියා අහගන්නට ඕනෑ නැති නිසා අපිද දවස් දෙකක් චිත්‍රපටි බලන්නට ගෑටුවෙමු. ඉන්දියාවේ චිත්‍රපට කර්මාන්තය ලංකාවට වඩා ගව් සිය ගණනක් දුරින් ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. චිත්‍රපට ශාලාද එසේමය. පී.වී.ආර් සිනමා ලේබලය යටතේ පැවති මෙම චිත්‍රපට ශාලා මට්ටමට අපේ රටේ චිත්‍රපට ශාලාවන් කවදා හැදේදැයි හිතන්නවත් බැරිය. ටිකට් බුක් කිරීම ඔන් ලයින් ක්‍රමයටය. කවුන්ටරයට පැමිණ ටිකට් ගන්නේ බෙන්ස්, අවුඩි වලිනි. අවශ්‍ය අයට එතන ඇති ස්වයංක්‍රීය මැෂිමෙන් වුවද ටිකට් ලබාගතහැකිය. චිත්‍රපට ශාලාවේ පහසුකම්ද සුපිරිය. එකම ගොඩනැගිල්ලේ චිත්‍රපට ශාලා 4 -5 ක් ඇත. හැබැයි එකම අවුල චිත්‍රපට නැරඹීමට එන ඉන්දියානුවන්ය. වීරයාට වදින විට හූල්ලන ඉන්දියානු  ප්‍රේක්ෂකයින් දුෂ්ඨයාට වදිද්දී නැගිට විසිල් ගසති. ඉතින් අපි චිත්තර පටිය බලලා හමාරය.





කැන්ටිමේ කෑම
මම නම් දෙන ඕනෑම දෙයක් කිඹුලා කිරි මැටි ගිලින්නා සේ කොටා බෑවද අපේ අනිත් එව්වන්ට මේ තත්වය වැඩිකල් පැවතුනේ නැත. ඇඬියාවට මූලික වූයේ දර්ශනයාය. “අනේ බං මට ගෙදර මතක් වෙනවා“ කියා පටන්ගත් මේ කන් කෙඳිරිය අවසන් වූයේ මේකා මාර්කට් එට ගොස් මොනවාදෝ උයන්නට රැගෙන ඒමෙනි. එදා පටන් සතියකට දවස් දෙකක්වත් ලාංකික ක්‍රමයට කැන්ටිමේදීම ආහාර පිලියෙලකරගැනීමට අපට කිසිදු තහනමක් නොවීය. මෙහි උච්චස්ථානය වූයේ ඉන්දියන් කැන්ටින් කුකා අපේ ගෝවා ව්‍යංජනය සකස් කරනා ආකාරය කොපිකර දිනක් මුලු ශිෂ්‍ය ප්‍රජාවටත්, කාර්ය මණ්ඩලයටත් ලාංකික ක්‍රමයට ගෝවා කැවීමෙනි. සමහරුන් “වෙරි ස්පයිසි“ කීවද වැඩි දෙනෙක් මෙම ක්‍රමයට මනාප වීම නිසා අපි එනතෙක්ම මේ ගෝවා ව්‍යාංජනය කැන්ටිමේ පිලියෙල විය. 

                                            අපේ අය කෑම උයද්දී

කැන්ටිමේ උන්ගේ ෆිට් එක කොතෙක්වීද යත් අපේ උන් කොහේ හෝ රස්තියාදු ගසා එන්නට පරක්කුවූ විට කෑම පිඟන් කාමරයටම යැවීමට තරම් උන් කාරැණික විය. සලුවීමට අවශ්‍ය කාජ්‍ය බෝජ්‍ය ලයිය පෙයිය මේ කුමක් උවත් කියන ආකාරයට සකස්කරදීමටත් පිටතින් සපයාදීමටත් කැන්ටිමේ කොල්ලෝ ටික අපට හිතවත් වූහ. මනියා, මහේෂ්, සුල්තාන් මට මතක ඇති නම්ය. 


එහෙදී කට්ටිය සලු වෙන අවස්ථාවක්. සියලුම බයිට් සඳහා අනුග්‍රහය කැන්ටිමෙනි. (ඡායාරෑපය අවසර ඇතිව ප්‍රසිද්ධ කරන ලදී)

එසේම අපේ උන් මොනවා හැදුවත් කැන්ටිමේ උන්ගේ පංගුව ලබාදීමට අපේ එව්වෝද කාරැණික වූහ. අපේ උන්ද අවසන් දිනයේදී කැන්ටිමේ කාර්ය මණ්ඩලයට පොදුවේ එකතු කළ මුදලින්ද, පුද්ගලිකවද  තෑගි බෝග පිරිනැමූහ. මම දන්නා තරමට එසේ තෑගි දුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම පමණි. මම පුද්ගලිකව මනියාටත්, මහේෂ්ටත්, සුල්තාන්ටත් තෑගි දුන් අතර මනියාගේ සිඟිති දියණියට බෝනික්කෙකු රැගෙන දීමට අවශ්‍ය මුදල් ද දුන්නෙමි. මාද අපේ අනිත් අයද එසේ කලේ අප එහි ගිය දිනයේ සිට අපට හොඳින් සැළකූ ආකාරයටත් උන්ගේ මුවේ නිතර රැඳුනු “ශ්‍රි ලන්කන් පීපල් ලයික් අවර් ‍බ්‍රදර්ස්“ යන වැකියට ගරු කිරීමක්ද වශයෙනි.

අපේ රටේදී දැකිය නොහැකි දේවල් කිහිපයක් ඉන්දියාවේ දකින්නට අපට හැකිවිය. ඉන්දියාවේ මගීන් ප්‍රවාහනය කරනා ත්‍රිරෝධ රථ කහ පැහැයෙන් සහ කොල පැහැයෙන් වර්ණ ගන්වා තිබේ. එහි මේවාට කියන්නේ “ටුක් ටුක්“ කියාය. අපි විදේශිකයන් බව දැනුනොත් මුන් හයර් එකට කියන්නේ දිව්‍ය ලෝකයට, බ්‍රහ්ම ලෝකයට  යන ගනන්ය. එමනිසා සමහරවිට හෙට්ටුකර කියූ ගණනින් භාගයට හයර් ගිය අවස්ථාද තිබුණි. හෙට්ටු කිරීමට පසිඳු මල්ලීට සමකළහැකි අයෙක් අපේ කණ්ඩායමේ නොවීය.


සමහර ත්‍රිරෝධ රථ අපේ රටේ පුද්ගලික බස් රථ මෙන් මගීන් සිටිනා තැන්වල නවත්වමින් කථා කර මගීන් පටවා ගනී. එවැනි ත්‍රිරෝධ රථයක පිටුපස අසුනේ තිදෙනෙක් ද රියදුරුට අමතරව රියදුරු අසුනේ දෙපැත්තේ තවත් දෙදෙනෙක්ද වාඩිවී යාම සාමාන්‍ය සිද්ධියකි. මෙවුවන්ගේ නම් මාර්ග නීති රීති ගැන මෙලෝ තැකීමක් නැතිය. වාහනයක් පොඩ්ඩක් වැදුනත් ගණන් නොගෙන යාම මෙහි සිරිතය.  හයිද්‍රාබාද්හි  රියදුරන් පොදුවේ මාර්ග නීති ගැන තැකීම අඩුවුවත් කිසිදිනක අන් රියදුරන් සමග රන්ඩු සරුවල් වෙනවා නම් මා කිසිදුනක දැක්කේ නැත. මයිසූර් සහ බැන්ගලෝර්වල ත්‍රිරෝධ රථ රියදුරෝ තරමක විනයවත් බවක් පෙන්නුම් කලහ.

බස් රථවල නම් කාන්තාවන් සඳහා ආසන වෙන්කර තිබේ. දිනක් කාන්තාවන් සඳහා වෙන්කර තිබූ ආසනයක වාඩිවී සිටි පිරිමියෙක් එයින් ඉවත් කර කාන්තාවන් දෙනෙකු වාඩි වූයේ ලොකු තගක්ද දමමිනි. ඉන්දියානු කාන්තාවන්ගේ බල මහිමය අපට පසක් වූයේ එදිනය. කාන්තා බස් කොන්දොස්තරවරියන්ද මා ප්‍රථම වරට දුටුවේ මෙම සංචාරයේදීය. පිරිමින්ට වඩා දක්ෂ ආකාරයෙන් රාජකාරිය කල ආකාරය දුටු මම ඇයගේ අවසරය ඇතිව ඡායාරෑපයක් ලබා ගත්තෙමි. 
                                      බස් කොන්දොස්තරවරිය

අප සිටි සියලු පළාත්වල පොදුවේ තිබූ දෙයක්නම් පාර අසල තබාගෙන උක් අඹරන යන්ත්‍ර සහ දෙහි බීමය. උක් අඹරන යන්ත්‍ර මා ලංකාවේ දැක නැති නමුත් දෙහි බීම නම් ලංකාවේ ඇත. ලංකාවේ දෙහිබීමට වඩා මෙය වෙනස්වූයේ බීම සකස්කර කාබන්ඩයොක්සයිඩ් වායුව එක්කිරීමයි. එවිට සිසිල්බීමවල පවතින සැර ගතිය දෙහිබීමවලද ඇතිවේ.


                      දෙහි බීමට කාබන්ඩයොක්සයිඩ් එක් කරන ආකාරය
                      කොතරම් උක් කාලා තිබුණත් පළමු වරට උක් බීවේ මෙහිදීය

ලංකාවේ මෙහෙන්දි ඇඳි කාන්තාවන් දැක තිබුනද මෙහෙන්දි අඳිනවා මා සියැසින් දුටුවේ හයිද්‍රාබාද්වලදීය. විනාඩි කිහිපයක් ඇතුලත මෙහෙන්දි රටා මැවිමට මෙම කාන්තාවන් දක්ෂය.         


සමණලුන් රංචු පිටින් දැකියහැකිවූයේ බැංගලෝර්වලදීය. බැංගලෝර් සිටිනා කාලයේ අප නිතරම රාත්‍රී ආහාරය ගත්තේ චිකන් කන්ට්‍රි හෝටලයෙනි. කෑම කා එන අතරමගදී සමණල  සෙට් එකක් දෙකක් හමුවීම අනිවාර්ය වේ. දිනක් දර්ශනයාට තනියම සිටි සමණලයෙක් හස්ත මුද්‍රාවෙන්  යමක් පැවසූවිට මේකා එකපිම්මේ දුව ආවේ හෝටලයටය. “මචං මචං ගෑණියෙක් මට යන්න කථාකලා“ යැයි මේකා හතිදාමින් කියයි. මට ඇතිවූ සැකය නිසා කොහොමද ගෑණිගේ හැඩරුව යැයි ඇසූවිට මචං සාරියක් ඇඳලා හිටියේ කිවූ සැණින් කාරණය අවබෝධ විය. බැංගලෝර්වලදී නිතරම පාරේ සිටිනා තනි සමණලුන්ද, සමණල් රංචුද දැකිය හැකිවිය. යන්තම් හෝ උන් දෙස බැලුවොත් “හායි ඩාලින් “ කියා ලඟට පැමිණ අත අල්ලා ගන්නා මෙවුන් හෙට්ටු කරමින් ගණන් අඩුකරමින් තමන් සමග යන්නට කථා කරයි. බැරි වෙලාවත් කියන්නේ නැතිව මුන්ගේ ෆොටෝ ගත්තොත් මව් භාෂාවේ පවතින සියලුම වචනයන්ගේ සුන්දරත්වය එතනදීම විඳිය හැකිය.



ඊලඟ කොටසින් “ඉබ්බා තුනපහ පිටේ බැඳගෙන කාමරයට ආවත් කන්න පින නැතිකම“

47 comments:

  1. යකෝ මාර පහසුකං ටිකක්නෙ මුංට හම්බවෙලා තියෙන්නෙ.
    මොක උනත් අර කැන්ටිමේ එවුවන්ට සැලකුව එකනං ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. හැක් හැක් තව තව පහසුකම් ලැබුනා. පහසු ගෙවීමේ ක්‍රමයටත් ලැබුනා.

      Delete
  2. උක් යුෂ බීල බඩගියේ එහෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඌරන්ට මොන සෞඛ්‍යද හැලපයියේ. හැලපයියලා අපිට කලින් මේවා බීපු අයනේ

      Delete
  3. නමක් අකුරු දෙකකින් සැදි කුරහන්ටත් ලැබුණෙ නැද්ද
    රසක් පිරුණු කෑම බීම එහි අඩුවක් තිබුණෙ නැද්ද
    නිමක් නොවුණු ඒ මතකය අමතක වී යන්නෙ නැද්ද
    අතක් වැණූ සමනලයෙක් කුරහන් නුඹ දුටුවෙ නැද්ද.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අකුරු දෙකේ නමකුත් මට ලැබීයා
      අමරස රස වන් රස අහාර ලැබීයා
      නිමා නොවන මතකය නැත සිඳීයා
      අතක් වැනූ සමනලුන්ද දුටීයා

      ජයවේවා දුමි

      Delete
    2. මෙන්න කමෙන්ට් එක. හැබැට දුමී බලමුකෝ ඒ නම මඟ ඇරපු ලස්සන
      අකුරු දෙකේ නම් අනුන්ගේ කිවේය
      තම නම කිම් නොකියා උන්නේය
      කුරහන් වෙලාවක එය කියා යුතුය
      හොඳ හැටි වෙරිවෙලා පින්තුරේක උන්නේය :) :)

      Delete
    3. මල් මල්ලී රහ මෙර නම් බොන්නේ නැත
      කවදත් තබා ඉන්නේ මම මතට තිත
      දැම්මත් අනුන්ගේ නම් ගම් හතර අත
      මට හිමිවූ නම ද මා මෙහි දමා ඇත

      Delete
  4. ඉන්දියාවේ චිත්‍රපට කර්මාන්තය මේ තරම් උඩ තියෙන්නෙ උන්ගෙ ඒකට තියන උණ හිංදම වෙන්නැති මේ දවස්වල ඉන්දියන් එවුන්ගෙ කටේ තියෙන්නෙම බහුබාලි2

    ලියන විදිහ මරු ඊලඟ කොටසත් ඉක්මනට දාමු :)

    ReplyDelete
    Replies
    1. ඒ වගේ චිත්‍රපටි වලට ඇලුම් කරන ජාතියක් ලොවෙත් නෑ. ලොවි ගහෙත් නෑ.

      Delete
  5. Lassana katawa jayawewa

    ReplyDelete
  6. තමන්ගේ අත්දැකීම් මෙහෙම ලියන එක හරිම ආශ්වාදජනකයි.
    ඉන්දියාවේ මේ වගේ අත්දැකීම් ගොඩක් මටත් තියෙනවා.
    හැබැයි අර උක් පැණි එහෙමනම් බීල නැහැ උන්ගේ කඩ වල තියෙන අපිරිසිඳුකම දැක්කහම බොන්න නෙවෙයි හිතෙන්නේ. අනික මම පොදු ප්‍රවාහන සේවා වල ගිහිල්ලත් නැහැ.
    බස් කොන්දොස්තර වරියෝ නම් ඉන්දියාවෙ නෙවෙයි කාලෙකට ඉස්සර ලංකාවෙත් හිටියා. මට මතක විදියට අසූව දශකේ මුල හරියේ ලංගම බස් වල.

    ඔය සමනල්ලුත් ඉන්දියාවෙ හරිම සුලබ දසුනක් නේද?

    ReplyDelete
    Replies
    1. අපිත් උක් බිව්වේ ටෙස්ට් කරලා බලන්න. හැබැයි අවුලක් උනේ නෑ. සමණල්ලු එහේ හුඟක් ඉන්නවා

      Delete
  7. ලංකාවෙදිත් ගස්ලබ්බට එකම එකවතාවක් කොන්දොස්තර වරියක් හමුවෙලා තියනවා.කොහෙද ඒ දවස් වල කැමරා ෆෝන් අතේ නෑ.
    කටුනායක දහ අටේ කණුව පැත්තෙත් සමනල් රංචු ගැවසෙනවා.සමහරු හොයන්නම බෑ කියහංකො.. හෙහ් හෙහ්
    කැන්ටිමේ කොල්ලො ටික තාම උඹලව මතක් කොරනවා ඇති.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මමත් දැකලා තියෙනවා කටුනායක සමණල සෙට් එක. එයාර් පෝට් එකේ ඉඳන් රෑට ඉන්ටර්සිටියක ආවොත් අනිවා එකෙක් ඇවිත් ලඟින් වාඩි වෙනවා.

      Delete
  8. මෝඩි මහත්තයගෙ ප්‍රචාරක අන්සෙ නෙවෙයි නේද ඔහේ වැඩකරන්නෙ ගරු කුරහන් මල්ලි තුමෝ?

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ සා රස තුමා. මෝඩි මහත්තයලට අපිට වඩා දක්ෂ මිනිස්සු ඉන්නවා. ජය වේවා.

      Delete
  9. මල් අයියට අර පින්තුර වලට කොටු කොටු දාන්න අමතක වෙලා :D

    කැන්ටිමේ අයට තෑගි දීපු එකනම් හරිම වටිනවා.

    ReplyDelete
    Replies
    1. මේවට මොන කොටුද සයුරි නංගි. එව්වොත් මේ හැමදේම කරන්නේ බඩ පිරෙන්න වේලක් කන්න.

      Delete
    2. හික්ස්..නෑ දරුවෝ මම කොටු දාන්න කිව්වේ අර බෝතල් පින්තුර වලට :D

      Delete
    3. ඊලඟ දවසේ කොටු දාන්නම් අම්මෙ

      Delete
  10. හරිම අපූරුයි මල් මලේ හරිම අපූරුයි. කාලෙකින් ඉතාම රසවත් ලිපියක් කියෙව්ව.

    කොන්දොස්තර යුවතියන් ලංකාවෙත් හිටිය 78 වගෙ ඉඳල 80/81 වගෙ වෙනකල්. ඒත් පස්සෙ ඒ වැඩේ අසාර්ථකයි කියල ආණ්ඩුව නතර කරල දැම්ම.

    ReplyDelete
    Replies
    1. මම දැකපු දෙයක් තමයි ඒ රටේ අය රස්සාවට ගරු කරනවා. කාන්තාවක් බස් කොන්දොස්තර උනත් බස් එකේ යන අය බොහොම ගරුසරු ඇතිව තමයි සැළකුවේ.

      Delete
  11. මොන වැඩේ තිබුණත් අද නම් කියවන වා කියලා හිතාගෙන ආවම මෙන්න කුරහන් ලියලා , ආයේ ඉතිං නියමෙටම ලියලා.
    අනිත් පළාත් වල කෙසේ වෙතත් මෙහේ නම් ඔය පහදුකම් සහිත සිනමාශාලා තියෙනවා .

    ReplyDelete
    Replies
    1. අපි චිත්‍රපටි බලපු සිනමා ශාලාවලට ඇතුල්කරගන්නේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා චෙක් කොරලා. අවශ්‍ය අයට ඉන්ටර්වල් එකට කන්න බොන්න ඕඩර් කරලා ලගටම ගෙන්න ගන්න පුලුවන්. දෙවනියට බැලුවෙ දන්ගල් කියලා ෆිල්ම් එකක්. පුලුවන් උනොත් බලන්න. මාරම ලස්සනයි.

      Delete
  12. /* කාන්තා බස් කොන්දොස්තරවරියන්ද මා ප්‍රථම වරට දුටුවේ මෙම සංචාරයේදීය. */

    කොන්දොස්තරවරියන් ගැන නිහාල් නෙල්සන් 1980 දී පමණ සින්දුවක් ද කීවේය.

    කොන්දොස්තර නංගී
    කොන්දොස්තර නංගී
    මාරු සල්ලි ඕනි ද නංගී?
    ඩෙකර් එකේ හැංගී
    බම්බලපිටි යද්දී
    තට්ටු බට්ටු දැම්මද නංගී?

    ReplyDelete
    Replies
    1. ෂහ් මම අද තමයි මේ සින්දුවයි කවි ටිකයි දැනගත්තේ. බලාගෙන යද්දි කොන්දොස්තර නංගිලටත් සෑහෙන ජනප්‍රසාදයක් තිබිලා තියෙනවනේ අපේ රටේ.

      Delete
  13. මං මේක නොදැක්ක එකනෙ පුදුමෙ

    ReplyDelete
    Replies
    1. මොකක්ද සුරංග දැක්කේ නැත්තේ

      Delete
  14. /බීම සකස්කර කාබන්ඩයොක්සයිඩ් වායුව එක්කිරීමයි/
    ඒ බීමට එකතු කරන්නේ කාබන්ඩයොක්සයිඩ් ද්‍රවයද වායුවද කියන එක මට තරමක ගැටළුවක්. වායුව දැම්මට ටික වෙලාවක් නතර වෙන්නේ නැහැ මා දන්නා තරමට.

    ස්තුතියි මල් මල්ලී

    ReplyDelete
    Replies
    1. කාබන්ඩයොක්සයිඩ් කියලා තමයි කිව්වේ. මට හිතෙන්නේ ගෑස් එකක් වගේ තමයි

      Delete
    2. මේ දෙහි තියෙන ෆොටෝ එක බලලා අයිඩියා එකක් ගන්න

      Delete
  15. හුඟක් දේවල් දැන ගත්තා.. මට තියනවා පොඩි ප්‍රශ්නයක්.. ඉන්දියාවේ හරියට නපුංසක අය ඉන්නවා.. ඒත් ඒත් මං ලංකාවේ එහෙම අය දැකලා නැහැ. (අනික් අය නම් දැකලා ඇති.) ඒට් ඉන්දියාවේ හරිම ප්‍රසිද්ධව ඉන්නවා ඒ අය..

    ReplyDelete
    Replies
    1. ලංකාවෙත් ප්‍රසිද්ධ අය ඉන්නවා. ඒත් ඒ අය එහෙමයි කියලා ප්‍රසිද්ධ වෙනවට කැමති නෑ.

      Delete
  16. උන් සමනලයොනං උඹල මල්. පැණි කියන්නෙ පොකට් එක වෙන්නැති

    ReplyDelete
    Replies
    1. අපි නම් මල් පැණි කියන්නේ හන්දියේ සිංහයා මාක් බෝඩ් එක ලඟ කඩේ තියෙන ඒවට බං. මෙවුන් නම් ඉතින් පොකට් එකට කොහොමත් ආසයිනේ. (මම පොකට් එක කිව්වේ සිංහල භාෂාවේ පොකට් එකට කියන වචනෙට. සමහරවිට උඹත් කියන්නේ ඇත්තේ ඒකටම වෙන්න ඇති)

      Delete
  17. නියම අත්දැකීම් ++++

    ReplyDelete
    Replies
    1. ඊලඟ පෝස්ට් එකේදි කකුල් දැකීම ගැන විස්තරයක් එනවා.

      Delete
  18. Replies
    1. රස්තා කොහෙද බං ගිහින් හිටියේ.

      Delete
  19. ඉන්දියන්කාරයෝ සහ ඔටුවෝ එක්ක ෆිල්ම් බලන්න පව් කරලා තියෙන්නම ඕන ... එක්කෝ කකුල් ඉස්සරහ සීට් එකේ එකේ අනිත් එකාගේ කර එහා පැත්තේ, එහෙමත් නැතිනම් තමන් වාඩි වෙන සීට් එකේ ... සමහරක් එවුන් අමුම අමු මී හරක් !!!

    අනික ෆිල්ම් බලනකොට ඔය විසිල් ගහන එක සහ සද්ද බද්ද දාන එකට තරම් මට දිරවන්නේ නැති දෙයක් තියනවා නම් ඒ ඔය මල් ගස් වටේ දුවන හින්දි ෆිල්ම්ම තමයි.

    හැබැයි "දන්ගල්" කියන්නේ සත්‍ය කතාවක් ඇසුරින් හදපු හොඳ නිර්මාණයක් කියල අහල තියනව !

    ReplyDelete
    Replies
    1. දන්ගල් ෆිල්ම් එක නම් හොඳයි. පුලුවන් උනොත් බලපන් කන්ඩො. උඹ කියන අනිත් කථා ටික නම් ඇත්ත

      Delete
  20. මරු පෝස්ට් එක.. මම හිටපු කාලේ ගියා අහමදාබාද්වල ඩ්‍රයිවින් තියටර් එකේ ෆිල්ම් එකක් බලන්න,, වාහනේ ඉඳන් තමා බලන්න තියෙන්නේ.. කාලෙකින් ඉන්දියන් පෝස්ට් එකක් ලියන්න බැරිවුණා නෙව. ඉන්දියාවේ සමනල්ලුන්ගේ කරදරේ නම් ඔන්ලි ඉන් ඉන්දියාම තමයි මම හිතන්නේ..

    ReplyDelete
    Replies
    1. සමණල්ලු නම් කියලා වැඩක් නෑ අම්බලංගොඩයෝ. යකෝ මාර සමණල්ලු තොගයක් එහේ ඉන්නේ.

      Delete
  21. 2017 වසන්තයේ ලියැවුන ජනප්‍රීයම බ්ලොග් ලිපි පහලෙස ලෙස ඔබේ වටිනා ඡන්දයෙන් තෝරා පත්කරමු


    හෙල්පිං මීතොටමුල්ල - http://lankanian.blogspot.ae/2017/04/blog-post_17.html

    බුලත් විට - https://iwanpaulooshaa.blogspot.ae/2017/04/blog-post.html

    හිනා මූණ! - http://cyberyaya.blogspot.ae/2017/04/blog-post_21.html

    පිහාටු - https://tinyurl.com/k7azlyz

    සින්ඩරෙල්ලා මං - https://worldofaru.blogspot.ae/2017/05/blog-post_3.html



    පිවිසෙන්න මෙතනට

    https://upashantha.blogspot.com/2017/05/2017.html




    2017 වසන්තයේ හොඳම කමෙන්ට්කරුවන් ලෙස පහත තිදෙනා ඔබේ වටිනා ඡන්දයෙන් තෝරා පත්කරමු


    Pra Jay

    Sa rasa

    පත්තර මල්ලි



    පිවිසෙන්න මෙතනට

    https://upashantha.blogspot.com/2017/04/2017_29.html

    ReplyDelete