Sunday, May 14, 2017

ඉබ්බා තුනපහ පිටේ බැඳගෙන කාමරයට ආවත් කන්න පින නැතිකම



මෙවැනි විදෙස් සංචාර ගියවිට තාවකාලික පෙම් සබඳතා ඇතිවීම සාමාන්‍ය දෙයක් බව මට වැටහුනේ මෙහිදීය. දිගු කලක් වෙනස් පරිසරයක නිවසින් හා සමීපතමයන්ගෙන් ඈත්වී ඉන්නට සිදුවීමත්, ඒ නිසා ඇතිවන නිදහසත්, පිටරටකදී මොන මගුල ඩාන්ස් කලත් තමන්ගේ රටේ අයට චාටර් නොවීමත්මෙයට හේතුභූත වියහැකිය.එසේම ලව් සහ ලයික් අතර වෙනස පිළිබඳව දැනුමක් ලැබුනේද මෙහිදීය. මෙවැනි එක් සබඳතාවයක් පවත්වන කෙල්ලකගෙන් වරක් මා ඇසුවේ “යූ ලව් හිම්?“ ඇය එකවරම කිව්වේ “නෝ නෝ අයි ලයික් හිම්“ කියාය. ඒ යුවල හැසිරුනේ පෙම්වතුන් යුවලක් මෙනි. අපිට ලව් කෙරුවාවක් වූ මේ ලයික් කෙරුවාව මෙහි සිටි කාලය තුළ සෑහෙන දුරකට දකින්නට අපට හැකිවිය. ලව් කෙරුවාව බොහෝ විට එක් අයෙකුට සීමාවූවවත් ලයික් කෙරුවාව කිහිප දෙනෙකු හා සම්බන්ධ වේ. සමහරවිට උදේ එක ලයික් එකක්ද සවස තව ලයික් එකක්ද වැටෙනු දැකගැනීමට හැකිවූයේය.

මෙහි පැමිණ සතියක් යනවිට කපල් එක දෙක දකින්නට හැකිවූ අතර කෙල්ල සිටි කාමරයට කොල්ලා යෑම හෝ කොල්ලා සිටි කාමරයට කෙල්ල යාම මෙහිදී දකින්ට ලැබූ සාමාන්‍ය සිදුවීම් විය. අපි රාත්‍රී 12 පමණවන තෙක් එලියට වී කයිවාරු ගසා හෝ සින්දු කියා කාමර වලට එනවිට කොටියා පැනපු එවුන් හෙමිහිට කාමරවලින් එලියට පැමිණ වැනෙමින් තමන්ගේ කාමරයට යනවා අප අනන්තවත් දැක ඇත. සමහර විට අලුතෙන් සෙට්වන කෙල්ලන් කාමර අංකය වැරදී අපේ කාමර වලට තට්ටු කල අවස්ථාද පැවතිනි. ඉන්පසු සොරි කියා අසවලා ඉන්නේ කොහේදැයි අපෙන් අසාගෙන එම කාමරයට යයි.

මෙය සාමාන්‍ය සිද්ධියක් වුවත් මීට එහා ගිය සිදුවීම්ද දකින්නට ලැබුනි. එනම් කෙල්ලන් දෙදෙනෙකු සමග පැමිණෙන කොල්ලෙකු ටික වේලාවක් අපත් සමග කථාකරමින් සිට “මේ කෙල්ලව අද රෑට කාමරේ තියා ගන්න උඹ කැමතිද“ කියා අසන අවස්ථාද විය. සමහරු කැමතිවන අතර අපි වගේ උන්නම් කරන්නේ “නෑ මම දැනටමත් කෙනෙකුට එන්න කියලා තියෙන්නේ“ කියා ෂේප් වීමය. එසේකී විට උන් තවත් කෙනෙක් සොයාගෙන යයි. අපේ කණ්ඩායමේ සිටි කොල්ලන් කිහිප දෙනෙකුටම මේ අත්දැකීම විඳින්ට සිදුවිය. 

තවත් විටක කෙල්ලන් කෙලින්ම පැමිණ අපේ කාමර අංක අසයි. එසේ වූ විට රාත්‍රියට පැමිණ දොරට තට්ටු කිරීම අනිවාර්යෙන්ම සිදුවන බව දන්නා නිසා අප  කරන්නේ දොර ලොක්කර තැබීමය. දිනක් අමතකවීමකින් දොර ලොක්කිරීමට නොහැකි වූ අවස්ථාවක අප්‍රිකානු කෙල්ලක් කෙලින්ම දොර ඇරගෙන කාමරයට පැමිණීම නිසා අපට සෑ‍හෙන ත්‍රාසජනක සිද්ධියකට  මුහුණපාන්නට  සිදුවිය.

මෙවැනි “ලයික්“ සිදුවීම්වලට  බොහෝවිට දායක වූයේ අප්‍රිකානු ලමිස්සියන්ය. සමහරවිට ඒ උන්ගේ රටවල සංස්කෘතිය නිසා වන්නට ඇතිය. අපත් සමග සිටි අප්‍රිකානු පුරුෂ පක්ෂයේ බොහෝ දෙනෙකු නීත්‍යානුකූලව විවාහ දෙකතුනක් කරගෙන සියලු බිරින්ඳෑවරු එකම නිවසක තබාගෙන සිටීමට තරම් වාසනාවන්තයෝ වූහ. ඒත් කරුමයක මහත  වන්නේ අප්‍රිකානු ලමිස්සියන් රෑට දැක්කොත් අඳුනාගත හැක්කේ  යකා පොල් කනවා සේ දත්ටික පමණක් පෙනෙන නිසාවෙන්ය. හැබැයි ඉතින් උන්ගේ හිත හොඳය. උන්ට මෙව්වා නිකන් අර කඩේකින් බත් එකක් අරන් කනවා වගේ වැඩක්ය. නිකන් දෙන දන්සැල් වලින් නරක් වූ කෑම කා බඩේ අමාරු හදානොගෙන පරිස්සමට හිටියේ අපි ආපහු අපේ රටට යන්නට ඕනෑ නිසාය.

මේ කියන්න යන්නේ ඉබ්බා මිරිස් තුනපහ, අබ, ගම්මිරිස්, පොල් තෙල්, පමණක් නොව පිටේ තාච්චියක් බැඳගෙන පැමිණියද කන්න පින නැතිවූ අපේ මල්ලිලා දෙන්නෙක් ගැනය. මේ මල්ලිලා දෙන්නාට අප්‍රිකානු සහ මියෙන්මාර් කෙල්ලන් දෙදෙනෙකුගෙන් සෑහෙන ගැහැටක් විඳින්නට සිදුවිය. අප්‍රිකානු කෑල්ල උස මහත දඩාර “සුනඛ අසිපතකි“. මියෙන්මාර් කෑල්ල ලස්සන සුදු ස්ලිම් කෙල්ලක් විය. ඒකි විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියකි. අපේ මලයලා  සිටිනා කාමරයට බලෙන් රිංගන්නට එන මේ ගැහැණු දැරිවියෝ දෙදෙනා අපේ කොල්ලෝ දෙදෙනා දැලේ දා ගැනීමට සෑහෙන වලියක් දැම්මෝය. නිතරම මලයා හමුවට එන අප්‍රිකානු සුනඛ අසිපත අපේ එකාට නැලවිලි ගී කියමින් එයාගේ මිසිස් වීමට ඇති කැමැත්ත අවසාන දිනය දක්වාම ප්‍රකාශ කලේය. “මගේ දෙයියෝ මම ඔයාට අලි දෙන්නම්, කොටි දෙන්නම්, රයිනෝ දෙන්නම්, ජිරාෆ් දෙන්නම්“ කියා මූව රවට්ටාගැනීමට උත්සාහ කලද මුගේ වයිෆ් නංගීට බැඳි ආදරය බිඳකින්වත් සෙලවුනේ නැතිය. අවසානයේ අපේ මලයා සුනඛ අසිපත දකිනවිට දුවගොස් හැංගෙන්නේ “අය්යේ යකා එනවා. යකා එනවා. මාව ඇහුවොත් දැක්කේ නෑ කියපං“ කියාගෙනය.

අනෙක් මලයාව හොයාගෙන කාමරයට එන මියෙන්මාර් කෑල්ල මේකාට නිදාගැනීමටවත් නොදී කථාවට සෙට්වුවත් මලයාගේ යාලුවා මේකාව තනි නොකර සිටි නිසා දවස් කීපයක්ම මේකාට ගැලවී සිටින්නට හැකිවිය. මේ ලමිස්සි එන්නේද නිකන් නොවේය. රතු ඇපල්ද, කොල ඇපල්ද, මිදිද, දෙලුම්ද, කෙසෙල්ද, රට ඉඳිද,  අරවාද මේවාද මල්ලක් පුරවා අරගෙනය. මුනුත් මේවා රිලා පැටවුන් සේ ඉස්මුරුත්තාවටම අනුභව කර වගේ වගක් නැතිව සිටින්නෝය. කෙල්ලෝද “නොදකින් මුන්ගේ තියන්නේ ඉටි පන්දම්, හඳුන් කූරු වෙන්න ඇති“ කියා බැණ බැණ යන්නෝය. නමුත් අවසානයේ ඉවසීමේ ලිමිට් එක පැන්න කෙල්ලගේ යාලුවා පැමිණ තගක් දමා “අද ඔයාට ඇපොයින්මන්ට් එකක් තියෙනවානේද අරයාව හම්බවෙන්න“ කියා මූට අමුඩයද ගස්සවා, කනෙන් ඇදගෙන ගොස් මියෙන්මාර් කෑල්ල ඉදිරියේ “සිටුවා පස් ගැසූ ආකාරයෙන්“ තැබුවේය. එදා කැන්ටිම අසළ පැයක් දෙකක් මදුරුවෝ තලමින් කථාවෙන් පමණක් ෂේප්වී ආපසු පැමිණි මේකාත් ඒ කෙල්ල දකිනවිට දුවන්නට පටන් ගත්තේ ඉන් අනතුරුවය. මේ මලයාට නම් සිදුවූයේ මේ මියෙන්මාර් දැරිවිය මූව කරකාර බඳින්නට ලංකාවට එන්නටම සූජානම් බව පැවසීමය. මේ කෙල්ලද යමක් කිව්වොත් කරන ජාතියේ බඩ්ඩකි. මේකි අඳිනා ඇඳුම්වල හැටියට මේ වගේ එකියක් සහේට ගත්තොත් දැනටද මන්ද පෝෂණයෙන් පෙලෙන ලංකාවේ කොලු ගැටවුන්ගේ යන්තම් අල්ලේ ඉතිරිව ඇති රේඛා ටික මැකීයාමටත්, අහල පහල උන් ඇට සැකිලි ගානටම කෙට්ටුවීමටත් වැඩි සම්භාවිතාවක් ඇති බව අවබෝධකරගත් නිසාදෝ මේකා මෙයින් මගඇර සිටියේය. දෙයියන්ගේ පිහිටෙන් අතුරු ආන්තරාවක් නැතිව ආපහු ලංකාවට එන්නට හැකිවූයේ කොල්ලෝ දෙදෙනාගේ පැවති පූර්ව ආත්මයක කුසලයකට විය යුතුය.

ලංකාවේ කෙලි පැන්චියන්ටත් මේ ආකාරයේ ඉල්ලුමක් පැවතියද අපේ එකෙකුගෙන්වත් ගොඩයාමට කාටවත් නොහැකිවිය. ලංකාවේ කෙල්ලන්ට පිටරට එවුවන්ගේ අවධානය හා ආකර්ෂණය වැඩියෙන් හිමිවූයේ ඔසරිය ඇඳිවිට එන ගාම්භීර පෙණුම නිසා මගේ විශ්වාසයයි. ඔසරිය ඇඳගෙන එලියට බැස්සොත් පිටරට එව්වෝ අපේ කෙල්ලන් සමග සෙල්ෆි ගන්නට එන්නේ පෝලිමටය. අපේ හැම කෙල්ලෙකුටම පාහේ පිටරට එවුවන්ගේ විශේෂ අවධානය යොමුවූවත් අපේ එවුවන් එය සුහදත්වයට පමණක් සීමාකරගෙන සිටීමට දක්ෂ වූහ. වෙන රටවල කෙල්ලන්ගේ කරේ  යන එවුන් ලංකාවේ කෙල්ලන්ට ඇඟිල්ලකින්වත් ඇන්නේ නැත්තේ අපේ කෙල්ලියෝ ටික එහෙදි තමන්ගේ ගෞරවයත් රටේ ගෞරවයත් රැකගෙන හැසුරැනු ආකාරයටය. ඒ අතින් අපේ කෙල්ලෝ අනිත් රටවල කෙල්ලන් සමග සන්සන්දනය කරන විට දාහෙන් සම්පතය. හැබැයි ඉතින් මේ වල් පල් කිසිවක් නැතත් සහජයෙන්ම ස්ත්‍රී පාර්ශවයට උරුමව ඇති ගුණාංග නිසා අපිට මුන්ව මෙහාට එක්කන් ආවේ මක්කටදැයි  කියා සිතුන අවස්ථා එමට තිබුණි.

ස්ත්‍රී පාර්ශවය ලෝකේ කොහේ හිටියත් ඒ අයට හිමි මහා පොදු සාධක කිහිපයක් පවතින්නේය. ඒ ඇත්තියෝ  ඇඳුම් පැලඳුම් ආභරණ සහ රූපලාවන්‍ය කටයුතුවලට දක්වන උනන්දුව රටකින් රටකටවත්, කලාපයෙන් කලාපයටවත් වෙනස්වන්නේ නැති බව නම් සර්ටිෆිකේට් ඇත්තය. මේ බව සාක්කි සහිතව ඔප්පු කළ හැකි අවස්ථා මල් මල්ලීට ඉසේ කෙස් ගානටත් වඩා අත්දැක ඇත්තේය.

මේ චාරිකාව අතරතුර අප ඉන්දියාවේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් නැරඹීමට ගියෙමු. එතැන කාන්තාවන් සඳහා රූපලාවන්‍ය, මොන්ටිසෝරි ගුරු පුහුණුව, ඇඳුම් මැසීම, මෙහෙන්දි ඇඳීම වැනි වෘත්තීන් ද පුහුණු කරවනු ලබයි. අපේ කෙල්ලන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය නැරඹිම පසෙක තබා එතන තිබූ රෑපලාවන්‍ය පුහුණු අංශයට රිංගා ගත්හ. දැන් කට්ටිය මේකප්ය.  එකෙක් වැක්සින්ය. අනිකා ත්‍රෙඩින් කරයි. තව එකෙක් අයි බ්‍රොස් හදයි. තව එකියක් පේෂල් කරයි. තව එකියක් මෙහෙන්දි අඳියි. අන්තිමට අපට සිදුවූයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය නැරඹීම පසෙක තබා මුන්ගේ විකාර බැලීමය.



හෑන්ඩ්ලූම් ගම්මානයක් නැරඹීමට  ගිය දිනයේත් සිදුවූයේ එයමය. හෑන්ඩ්ලූම් සාරි දැක නැති අය වාගේ හෑන්ඩ්ලූම් අරගත්තේ ලෝකේ ඇති අන්තිම හෑන්ඩ්ලූම් සාරි තොගය කියා හිතාගෙනය. සබන් හදන තැනකට ගියත් නාන්නේ නැතිව සිටියද සබන් මිලයට ගනී. තුනපහ පැකට් කරන තැනකට ගියොත් තමන්ගේ රටවල තුනපහ නෑ වගේ තුනපහ ගනී. මේ තත්වය වෙනස්වූයේ ඔරිජිනල් සිල්ක් සාරි නිපදවන කර්මාන්තශාලාවට ගිය දිනයේ පමණි. එසේ වූයේ ඒ සාරියක් රැපියල් 50000 වඩා මිල වූ නිසාවෙනි.

වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී මට සංවේදී අවස්ථා දෙකකට මුහුණදීමට සිදුවිය. එක් අවස්ථාවක් නම් ගොලු මැහුම් උපදේශකාව හමුවීමය. ඇයට කථාකල නොහැකිවූවත් හරි අපූරුවට ශිෂ්‍යාවන් හට පුහුණුව ලබාදේ. අනෙක් අවස්ථාව නම් වෘත්තීය පුහුණුවට පැමිණෙන මවක් සිය දරුවා රෙදි පටියකින් ගැටගසා පුහුණුවීම් කරනා ආකාරයයි. කුඩා දරුවා එහෙමෙහෙ දිවගොස් අනතුරක් සිදුකරගනීවි යැයි බියට මේ ආකාරයට ගැට ගසා තබන බවට ඇය ප්‍රකාශ කලාය.



මැහුම් ගුරුතුමිය
ෂොපින්
මුල් කාලයේ අපිට සිතුනේ අපේ කෙල්ලන් ඉන්දියා රජයෙන් වියදම් කර මෙහාට ගෙන්වාගෙන ඇත්තේ ඉන්දියාවේ ෆොටෝ ගන්නට කියාය. පේර කෝටුවට (සෙල්ෆි ස්ටික්) ෆෝන් එක ගසා ගෙන දකින දකින ගහක්, ගලක්, මලක්, වලක් ගානේ ෆොටෝ ගැනීම මුල් කාලයේ සිරිත විය. නමුත් ටික කලක් යනවිට ඇතිවූ සිතුවිල්ල නම් අපේ උන් මෙහෙට ඇවිත් ඇත්තේ වෙන කිසිවකට නොව ෂොපින් යාමටම පමණක් බවය. අපට  අප්පිරියාම දේ වූයේත් අපේ කෙල්ලියන්ගේ ප්‍රියතම දේ වූයේත් ෂොපින් යාමය. අමීර් පෙත්, සුල්තානා බසාර්, බෙගම් බසාර් වැනි තැන්වල අපේ කෙල්ලෝ ඇස් පියාගෙන උනත් ගමන් කිරීමට හැකියාව තිබුණි. අමීර් පෙත් ඇඳුම් කඩ සඳහා ප්‍රසිද්ධය. සුල්තානා බසාර් සපත්තු සහ විවිධ අඩුමිල භාණ්ඩ සඳහා ප්‍රසිද්ධය. එය අපේ මල්වත්ත ස්ට්‍රීට් එක වාගේ තැනකි. බෙගම් බසාර් සියලු භාණ්ඩ අඩුමිලට ලබාගතහැකි ස්ථානයකි. එය අපේ රටේ පිටකොටුවේ පීපල්ස් පාක් වැනි ස්ථානයකි.


දේශන අවසන් වූ වහාම අපේ කෙල්ලියන්ගේ රාජකාරිය වන්නේ අපේ කොල්ලෙක් හෝ දෙන්නෙක් අල්ලාගෙන අමීර් පෙත් යාමය. බොහෝ විට මේ පාප කරුමයට දායක වන්නේ පසිඳු මල්ලී හෝ දර්ශනයාය. “අනේ දර්ශන අය්යේ අපිත් එක්ක යමුකෝ“ කියා තොදොල් වූ විට දර්ශනයාගේත් ආමාශයත් රත්වන නිසා හා නංගි යමු කියා ගොස් කෙල්ලන් ඇඳුම් තෝරන තෙක් කටබලියාගෙන සිටීම මේකාගේ රාජකාරිය විය. මෙය නතර වූයේ දූවිල්ල නිසා දර්ශනයාට හෙම්බිරිස්සාව හැදී උණ හදාගත් පසුවය. අන්තිමට මේකාට බේත් ගෙනත් දෙන්නටත් වමනේ අදින්නටත් සිදුවූයේ මටය. ඒ සියල්ලටම වඩා අමාරු වූයේ මේකාගේ ඇඬියාව අසාසිටීමය.

ආර්. එස්. බ්‍රදර්ස් සවුත් ඉන්දියන් ෂොපින් මෝල් සේවක සේවිකාවන් අපේ උන් දකිනවිටම “සිරි ලංකා සිරි ලංකා“ කියන්නේ ඒ තරම්ම අපේ කෙල්ලියෝ ඒ පැත්තට බඩගා ඇති නිසාවෙනි. කඩ කාරයෝද අම්බ මාකටින් පාරවල් දමා සාරි ටික ඇඟේ ගැසීමට කටයුතු කරති. “බයි වන් - ගෙට් ටූ“ එක් ක්‍රමයකි. එනම් එක් සාරියක් ගත්විට තවත් සාරියක් නොමිලේ දෙන බව පැවසීමය. අපිට සාරියක් නිකන්දීමට උන්ට පිස්සු නැති බව අවබෝධ කරගැනීමට අපේ උන්ගේ ෂොපින් මේනියාව ඉඩ දෙන්නේ නැතිය. සැමදා අතින් කටින් එල්ලාගෙන හොස්ටල් එකට එන අපේ උන්ව දකිනවිට අනෙක් රටවල උන් කටත් ඇරගෙන බලාගෙන ඉන්නේ “යකෝ මුන්ව ඇඳුම් ගන්නම මෙහාට එවලාද දන්නේ නෑ“ වැනි හැඟීමක් මුහුණේ රඳවාගෙනය. ෂොපින් යාම අවසන්වන විට බොහෝ රෑ බෝවී ඇති නිසා කිට්ටුව ඇති කඩයකින් බුරියානි සප්පායම් වීම නිරන්තරයෙන් සිදුවන්නි.  මොනවා කිව්වත් හයිද්‍රාබාද් බුරියානි එකට ගසන්නට තරම් බුරියානියක් මේ ලෝකේ ඇතැයි සිතන්නට බැරිය.


හයිද්‍රාබාද් බුරියානි

අප සිටි පළාත්වල ෂොපින් යනවිට ෆික්ස් ප්‍රයිස් කියා දැන්වීම් අලවා තිබුනේ නැත්නම් බාගෙට බාගයක් කේවල් කරන්නට යැයි අපිට ඉගැන්නුවේ අපේ ආචාර්යවරුන්මය. ඒ අනුව රුපියල් 450 කියූ ෂර්ට් 150 ගන්නටත්, 1700 කියූ බෑග් රැපියල් 500 ට ගන්නටත්, රුපියල් 700 කියූ සපත්තු රැපියල් 250 ට ගන්නටත් අපට හැකිවිය. මෙහි අනිත් පැත්තද සිදුවී තිබුණි. එනම් රුපියල් 200 ක් වටින්නේ නැති සපත්තු රැපියල් 600ට ගැනීමත්, රුපියල් 500 බෑග් එක 1800 ගැනීමත්, 150 ෂර්ට් එක 450 ගැනීමත් සිදුවී තිබූ අතර ඒවා බොහෝවිට අනිත් උන්ට හොරෙන් ෂොපින් කිරීමට ගොස් විඳගත් ආනිසන්සයන්ය.

ශ්‍රී ලංකන් එයාර් ලයින් ගුවන් සේවයේ ගෙන එන්නට දෙන්නේ කිලෝ 30 බර ප්‍රමාණයක් වුවත් අපේ කෙල්ලෝ එද්දීද කිලෝ 40 ට වැඩි බර ප්‍රමාණයක් ගෙනඒමට කටයුතු කලේ අමතර බරට අතින්ද ගෙවාගෙනය. එසේ කලේත් එතෙක් කල් මිලදී ගත් සාරි කිලෝ 30-40 පාර්සල් කර තැපැලෙන්ද එවීමෙන් පසුවය. මේ පාර්සල් එවීම නතර වූයේ එවනා පාර්සල්වලට මෙහෙදී බදු අයකරනා බව දැනගැනීමෙන් පසුවය. එදින අපේ කෙල්ලියෝ තැපෑල හැඳි ගෑවි, මිරිස් ඇඹරී යන්නට තරම් දෙස් දොවොල් තිබ්බෝය. ඒ දිනවල වැස්ස වලාහක දෙවියන් සිරි ලංකාව සමග නෝක්කාඩුවෙන් සිටි නිසා තැපෑලට හෙණ නොවැදී බේරෙන්නට ඇත.

32 comments:

  1. //අපේ කෙල්ලියෝ ටික එහෙදි තමන්ගේ ගෞරවයත් රටේ ගෞරවයත් රැකගෙන හැසුරැනු ආකාරයටය.//

    ආඩම්බරයි

    ReplyDelete
    Replies
    1. ඉඳලා හිටලා ඇන ටිකක් උනත් අපේ ගෑණු කොච්චර හොඳද කියල තේරුනේ ඒ කාලේ තමයි ඉයන් අය්යේ.

      Delete
  2. ඒ දිනවල විතරක් නෙවෙයි බං වැස්ස වලාහක දෙයියෝ තාම ලංකාව එක්ක අමනාපෙන් ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. දැන් නම් පොඩ්ඩ පොඩ්ඩ ඇල්ම බැල්ම දානවා වගේ

      Delete
  3. යකෝ! ඉබ්බොත් පව්.. උඹලත් පව්.... :(

    ReplyDelete
    Replies
    1. ඉබ්බො නම් පව් කියමුකෝ. නොදන්න ඉබිමස් කාලා කස කස ඉන්න උනානම් තියෙන සනීපේ කොහොමද

      Delete
  4. බිරියානි පින්තූරෙ නම් ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ඒක ලස්සනයි වගේම තමයි සාරස තුමා මාරම රසයි.

      Delete
  5. අනේ මන්දා... උග්‍ර තපස් ඇති බ්‍රහ්මචාරී නුඹලාට දන් පැන් ඈ ඇප උපස්ථාන කලෝ කවරහුද? දායක දායිකාවන් නම් බොහෝ වූ වගක් සඳහන් යැ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ප්‍රිය ගස් ලබ්බ උකටලී නොවී වසව. අප බ්‍රහ්මචාරී නොවන්නාහුය. උග්‍ර තපස් ඇත්තවුන්ගේ පවා සිල් බිඳ වසඟයට ගැනීමට නාරිලතා පුෂ්පයට හැකිවුවත් ඇඹුල් රඹ පුෂ්පයන්ට වශීවන්නේ රිලා පෝතකයෝය. නාරිලතා පුෂ්ප අබියස අපගේ ශිල්ප දක්වන්නාහුය. එබැවින් ශෝක නොවී ප්‍රීතිවනු.

      Delete
  6. හයිද්‍රාබාද් ෂෙපෙක් හදන බිරියානි නම් දැනටත් රහ බලනව ඔර්ජිනල් එකේ රහම තියනවද කියන්න නම් දන්නෙ නැහැ හැබැයි පට්ටම රහයි.
    මොනව වුනත් ඉබ්බො පව් :D

    ReplyDelete
    Replies
    1. කරුමේ කියන්නේ බං තුනපහ බැඳගෙන ආව ඉබ්බො ඔක්කොම පත කලු ගල් ඉබ්බෝ. එක කිරි ඉබ්බෙක් ආවේ නෑනේ.

      Delete
  7. “සුනඛ අසිපතකි“??????

    ReplyDelete
    Replies
    1. සුනඛ = බලු. අසිපත = කඩුව. දැන් “බලු කඩුව“ අනිත් පැත්ත හරවා බලන්න.

      Delete
  8. කුරහං මල්ලි , ඊමේල් එක එවනවද

    ReplyDelete
  9. මල් මල්ලී ඇතුලු ටීම් එකේ ගැන ආඩම්බරයි.. අනික් රටවල අය එක්ක බලනකොට ඇත්තටම හැමෝ ගැනම සතුටුයි...
    කෙල්ලන්ගෙ ශොපින් කෙරුවාව ඉතින් ඔහොම තමයි.. ඕවට දැම්ම ඉදලා හුරු වෙන්න තිබුනෙ... අරදර්ශනයි, පසිදුයිපව් අනේ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපේ උන්ටික හොඳට හිටියා. ඒකේ ක්‍රෙඩිට් එක ආවේ අපට වඩා රටට.

      Delete
  10. ඔබේ රසවත් වාර්ථා කරනය නිසා ඔබේ ගමනේ අත්දැකීම් අපිත් ලැබුවා වගෙයි.

    ReplyDelete
  11. හරිම රසවත්. අර බිරියානි එකත් ඒ වගේම රසවත් ඇති. හයිද්‍රාබාද් බිරියානි හරි ප්‍රසිද්ධයි නේ. කන්නනම් පින ලැබිලා නෑ තාම.

    ReplyDelete
    Replies
    1. හයිද්‍රාබාද් බිරියානි මාරම රසයි සයුරි. වෙලාවක කාලම බලන්න

      Delete
  12. මරු අන්තිම ට බුරියානියකුත් එක්කම...

    ReplyDelete
  13. මරු අන්තිම ට බුරියානියකුත් එක්කම...

    ReplyDelete
    Replies
    1. හයිද්‍රාබාද් බුරියානි කොච්චර කෑවත් එපා වෙන්නේ නෑ බං

      Delete
  14. සුනඛ අසිපතෙන් බේරුනු එක හොඳයි - ඒ රටවල ඒඩ්ස් ආසාදනයේ ප්‍රතිශත අනුව බො‍හොම ඥානාන්විත තීරණයක් - අනිත් දේ තමයි වැඩේ හරිගියත් කැළණී පාලම යටින් පොල් මුඩ්ඩේ උපමාව මතක් වෙන්න පුලුවන් වීමේ සම්භාවිතාව - (අන්තර්ජාලයේ ඇති අප්‍රිකානු රටවල යම් ගනන් මිනුම් අනුව බැසගත් නිගමනයකි ) :)

    ReplyDelete
    Replies
    1. මේ දෙකම හරි ලක්ෂාන්. හැබැයි අපේ කොලුවෙක් දෙවැනි කාරනේ පරද්දලා අප්‍රිකන් උන්වත් පුදුම කලා. මේකා යද්දි අප්‍රිකන් කෙල්ලොත් කුටු කුටු ගානවා මේකා දිහා බලාගෙන.

      Delete
  15. ඇත්තටම බොලා ගැන ආඩම්බරයි බං. අම්ප. මං එහෙම ඔය ගමන ගියානං පළවෙනි දවසෙම ලංකාවෙ කාන්තා සනුහරේ බැනුං අහල "මට බෑ බොලෑ මුරකාර වැඩ කරන්න" කියල. ඊළඟ දවසෙ ඕකෙ වැඩ කරන මොකා හරි එකෙක්ගෙ ගෙදර ගිහිල්ල. එහෙමත් නැත්තං මොකක් හරි මෙලෝ වැඩකට නැති ඒ වුනාට මට ඕනැමයි කියල හිතෙන ජාතියෙ යකඩ, ඉලෙක්ට්‍රොනික් ගොඩක් පස්සෙ ගිහිල්ලා. අනික බොලා තරං හොඳට සිල් රැකගෙන ඉන්නත් මට බැරිවෙයි. ඒ හංදා මාව රට නොයවත්වා!

    ReplyDelete
    Replies
    1. ඒම කීන්ඩ එපා බං. දර්ශනයට පොඩ්ඩක් අමතපන්කෝ. ඒකා සෑහෙන විස්තරයක් කියයි. බලධරයා විසින් කපා දමන ලද දේවලුත් තියෙනවා හිටං.

      Delete