Monday, June 20, 2016

මල් මල්ලී වූ අයුරැ

තට මෙපමණ සොඳුරැ නාමයක් ඇතිව තිබියදී කිනම් හේතුවකට මල් මල්ලී නම් අනවර්ථ නාමයක් පටබැඳ ගත්තාහුද දැයි බ්ලොග් අඩවිය ගැන බිනූ කල්හි මා  හිත මිත්‍රාදීන් කිහිප දෙනෙකු විසින්ම විචාලහ.  මෙම නාමය මා විසින් පටබැඳ ගත්තක් නොව මා කැළණිය විශ්වවිද්‍යාලයේ සිප් සතර හදාරණ කල්හි එහි විසු ජ්‍යේෂ්ඨ උත්තම උත්තමාවියන් විසින් පට බඳින ලද්දක් බව විචාලවුන්ට පැහැදිලි කලද මතුවට මේ සම්බන්ධව විචිකිච්චාවක් ඇතිකරගනු නොහී  ඒ පිළිබඳව වූ නිධාන කථාව හුදී ජනයාගේ ලාම්පු කණගාටුව උදෙසා පතල කිරීමට මා තීරණය කලෙමි.


එකල්හි මා නව යොවුන් මානවකයෙකුව සිටිනා සමයෙහි මාගේ චිත්තාභ්‍යන්තරයේ දැවෙමින් පැවති ස්වප්නයක් විය. ඒ කුමක් වීද යත් සිරි ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුලත්ව අධ්‍යාපනය ලැබීම කෙසේ වෙතත් ඒවායෙහි පවතීයැයි කියන ලද හැට හුට හමාරක් ආතල් විඳැගනීමේ අභිලාශයයි. අවසන මගේ දක්ෂතාවය අඩුවෙන්ද, වාසනාව වැඩියෙන්ද භාවිතා වූ  කල්හි සිරි ලංකාදීපයෙහි පැවැත්වෙන්නාවූ අතිශය තරඟකාරී විභාගයක් සමත්වීමට වරම් ලද බැවින් ඒ පුන්‍ය මහිමයෙන් කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුලත්ව නේවාසිකව අධ්‍යාපනය ලැබීමට හේතුවාසනා උදාවිය. (සාදු සාදු සා.......)

එසමයෙහි විශ්වවිද්‍යාලයකට දරැවෙකු ඇතුළත්වීම වනාහි  පෙරකල  සිරිපා කරැණාකරනවා වැනි වූ කර්තව්‍යකි. මක් නිසාද යත් ගියපසු ආපසු පැමිණීම විශ්වාස කළ නොහැකි බැවිනි. මරණ තුනක් මැද පැණි අනුභව කරනවා වැනි දුෂ්කර ක්‍රියාවකි. ඒ කෙසේවීදයත් විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂඨ සිසුන් විසින් ඉතා මනරම්යැයි පවසන්නාවූද, විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට පෙරැම්පුරනා සිසුන් භීතියෙන් මුසපත් කරන්නාවූද, ජනමාධ්‍ය සහ සමාජය විසින් අලුයම ලූ කෙළ පිඩක් පරිද්දෙන් පිලිකුල් කරන්නාවූද නවක වදය නම් ක්‍රියාදාමය විශ්වවිද්‍යාලයන්හි විසිරී පැතිරී තිබූ යුගයක් බැවින්ද, සම්‍යක් දෘෂ්ඨික, මිත්‍යා දෘෂ්ඨික විද්‍යාර්ථීහු  අතර සිදුවන්නාවූ ගැටුම් නිසා නිරන්තරයෙන් විශ්වවිද්‍යාල යුද පිටියක සිරි ගන්නා බැවින්ද, රට කරවන පාලකකාරාදීන්  විසින් නිරන්තර උද්ඝෝෂණය කරන මානවික මානවිකාවන්ට සිය සෙබලමුලු  ලවා උත්කෘෂ්ඨ අන්දමින් සැළකවීමට කටයුතු කරනා බැවින්ද නිසාවෙනි.

කරැණු මෙබඳු හෙයින් පළමු දිනයේදී දියෙන් ගොඩදැමූ මසෙකු ලෙසින් විශ්වවිද්‍යාල භූමියේ කන්ද තරණය කර ප්‍රථමයෙන් නේවාසිකාගාර පාලකතෙම හමුවට අභිමුව මා වාසය කළයුතු කුටියේ අංකය දැනගෙන එයට පිවිස ස්වල්ප වේලාවක් භයින් ත්‍රස්ථව, විලිසිපරව බලා සිටියාහුය. මද වේලාවකින් සරත් නම් සගයාද (දඟරයා), පසුව රාජසිංහයන්ද, පොඩි දීපාල් (පොඩි බිජ්ජා) කුටියට සැපත් වන්හ. සරත් සහ මා කුටිය පිරිසිදු කරනා අතරතුර රාජසිංහයෝ තුෂ්නිම්භූතවද, පොඩි බිජ්ජා උකටලීවද එදෙස බලා සිටි අයුරැ අදද මා හට චිත්ත රෑප මැවී පෙනේ. අනතුරැව ස්නානය කොටැ නේවාසිකාගාර ආපනශාලාවට ගොස් එකල රැපියලකින් මිල වූ ප්ලේන්ටියක් පානය කර නුවර පාර දෙසට ගොස් අවට පරිසරය විචාරා පසුව නැවත නේවාසිකාගාරයට පිවිස මදක් විවේක සුවයෙන් සිටියාහුය. ඉදින් මේවන විට නේවාසිකාගාරයේ සියලු කුටි පාහේ විද්‍යාර්ථීන්ගෙන් අතුරැ සිදුරැ නැතිව පිරී යන බැව් මෙය කියවන පාඨකාරකාදීන් දැනගත යුත්තාහ.

ක්‍රමයෙන් රාත්‍රිය එළඹුනු කල්හි අප බැහැර නොගොස් නේවාසිකාගාරයේම රැඳී සිටියයුතු බවට නේවාසිකාගාර පාලක තැන විසින් දන්වන ලදුව කුමකින් කුමක් වේදෝහෝයි සිතා අන්දමන්දව සිටින්නාහ. එකල්හි අප අභිමුවවට පැමිණි ජ්‍යේෂ්ඨ සිසුවෝද, විශ්වවිද්‍යාලයේ පරිපාලන නිලධාරීහුද, ආචාර්යවරැද අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාහුය. ජ්‍යේෂ්ඨ සිසුවෝ සහ සිසු නායකාරකාදීන් කියන්නාහු එම්බා සොයුර, සොයුරිය මෙබඳ වූ පුණ්‍ය භූමියකට පාතැබීමට වරම් ලද්දාවූ තොපි සැබවින්ම වාසනාවන්තයෝහුය. තොප පැමිණියේ ඉතා තරඟකාරී විභාගයක් සමත්වයැ. එසේ හෙයින් මෙහි පැමිණි තොපට පැවරැනු යුතුකමක් නොව උරමත පැටවුනු වගකීමක් ඇත්තේය.  ඒ කෙසේවීද යත් මෙතුවක් කල් මෙම සම්පත්ද, නිදහස් අධ්‍යාපනය නම් මහාර්ඝ නීල මානික්‍යයද මුචලින්ද නා රජු බුදුන්වහන්සේ රැකි පරිද්දෙන් රැකදුන්නේ  පෙර සිටි විරැ සිසුවෝය. උන් විසින් සියලු බාධා මැඩගෙන, රෝමකූප පමණක් නොව ඇස්, ඉස්, මස්, ලේ පූජාකොටැ ආරක්ෂා කල මෙම නිදහස් අධ්‍යාපනය දිවි දෙවැනි කොට රැක ගැනීම අද පටන් තොපට පැවරෙන වගකීමකි. මෙම ද්විපයෙහි රාජ්‍ය විචාලන්නාවූ පාලකයින් නිරන්තරයෙන් නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට කැස කවන්නාහ. විරැ සිසුවෝ සිරභාරයට ගන්නාහ. නොයෙක් ගැහැට පමුණුවන්නාහ. එබැවින් නිදහස් අධ්‍යාපනය රැකගැනීම උදෙසාම  සිදුකරන පෙළපාලියාම, කැට කිරීම, වීදි නාට්‍ය කිරීම, පන්ති වර්ජන, උද්ඝෝෂණ වැනි මෙකී නොකී සකලවිධ ක්‍රියාදාමයන්  සඳහා පෙලගැසීම තොපගේ වගකීම වන්නාහුය.

විශ්වවිද්‍යාලයේ පරිපාලන නිළධාරීහු පැමිණ කියනාහු කුමක්දයත් මා පුත, දියණිය තොපව මෙම ආයතනයට ආදරයෙන්, සමාදරයෙන්, පිලිගන්නාහ. තොප අපටද රටටද සම්පතකි. තොප බුද්ධිමතුන්ගේ අග්‍ර කොටස වන්නාහ. මතු දිනක මේ රට බාර ගන්නේ තොපය. තොපට ඇවසි සියලු සැප සම්පත්ද, පහසුකම්ද අප විසින් පිලිලෙය කොට ඇත්තාහ. තොපට නිහසේ අධ්‍යාපනය ලැබීමට ඇවැසි සියලු කරැණු කාරණා අප විසින් සම්පාදනය කර ඇත්තාහ. එබැවින් කා බී සුවසේ විසුව. කිසිවෙකුගේ බලපෑමකට යටත් නොවී තොප ඇල්මෙන් ඉදිරිවැඩ තකා අකුරැ කල යුතුය. නවක වදය පිළිබඳව තොප අංශුමාත්‍රයක් හෝ බියවිය යුතු නැත. නවක වදයෙන් තොපගේ රෝමකූප මාත‍්‍රයකුදු හුණුනොවන්නේය.අප තොපව සියලු උවදුරින්, දුක් ගැහැටින් රැක ගන්නාහ. එබැවින් බියට පත් නොවිය යුතුය. නොපමාව අකුරැ කර රටට වැඩදායී පුරවැසියන් විය යුතුය. අප තොප මෙම භූමියෙන් පිටවන තෙක් තොපගේ සියලු අවශ්‍යතා පිළිබඳව සොයා බලම්හ. අද දින රාත්‍රී භෝජනයට ප්‍රනීත ආහාර වේලක් අපගේ උපදෙසින් ආපන ශාලාවේ පිලියෙල කර ඇත්තාහ. එම රස මසවුලු අනුභව කොටැ සුවසේ සැතපී හෙට අලුයම පිලිගැනීමේ උත්සවයට ධර්මාලෝක මණ්ඩපයට පැමිණිය යුත්තාහ. තොපට කිසිදු ගැහැටක් මෙහි නැත්තේය. එසේ කියා ඔවුහු පිටව ගියාහුය.

ආචාර්‍යවරැන් කියන්නාහු එම්බා විද්‍යාර්ථීනී අප තොපව මහාර්ග වූ දැනුමෙන් සන්නද්ධ කරම්හ. තොපගේ උපදේශකයන් වම්හ. නිරන්තරයෙන් අප හමුවට පැමිණ තොපගේ ශාෂ්ත්‍රීය, අධ්‍යානික ගැටලු පිළිබඳව සංවාද කලයුත්තාහ. අපි හැකි සෑම විටම මෙම භූමියේ සැරිසරම්හ. තොපගේ පුද්ගලික ගැටලුවක් වුව අප සමග පැවසිය හැකිය. අප ඒවාට ඇවසි විසඳුම් දෙවම්හ.

ජ්‍යේෂ්ඨ සිසුවන්ගේද, පරිපාලන නිලධාරීන්ගේද, ආචාර්යවරැන්ගේද මෙබස් ඇසු සුලු දිය පහවන්නට ආසන්නව සිටි මානවක මානවිකාවන්ගේ චිත්ත සන්තානයෙහි පැවතියාවූ බිය නෙළුම් පතට වන් දියත්තක් මෙන් පහව යන්නාහ. එකල්හි උන් මෙසේ සිතන්නාහු. අප මෙහි පැමිණියේ පෙර කල පිනකටයැ. මොවුහු අපගේ ඉෂ්ඨ දේවතාවුන් වෙති. අපගේ සියලු දුක්ඛ දෝමනස්සයන් පිසදා හරිති. අප මොවුන්ගේ බස් අසා මොවුන් කියනා දෙයම විශ්වාස කොටැ ඒ ආකාරයෙන්ම කටයුතු කල යුත්තාහ. අහා ප්‍රීතියි. ප්‍රීති.ප්‍රීති (පසු කලෙක - සභාවේ සිනා)

ඉනික්බිති නවක මානවකයෝ රසමසවුලු අනුභව කිරීම උදෙසා ආපන ශාලාවට යන්නාහුය. එසේ යන අතරමගදී ජ්‍යේෂ්ඨ සිසුන් බිනුවේ කුමක්ද යත් එම්බා නවක මානවකයිනි මෙම භෝජන සකස් කලේ අපගේ ඉල්ලීමටය. තොප පරිපාලන නිලධරයින්ගේ මුසා බසට නොරැවටිය යුත්තාහ. ඔවුහු මුසාවෙන් තොප මුලා කරන්නාහ. තොපගේ ගැලවුම්කරැවෝ නම්  අපමය. උන් නොවෙතිය. අනතුරැව බතකින්ද, ඇල් ජලයෙන් තම්බන ලද ගෝවා ව්‍යයන්ජනයකින්ද, කොලස්ටරෝල් ඉවත් කරන ලද පොල් යොදා සකස් කල සම්බෝලයකින්ද මුහුදේ සිටියාට වඩා වැඩි කාලයක් ඩීපිෂරයේ සිටින්නට ඇතැයි සැකකල හැකි මත්ස්‍යයෙකුගේ  කැබැල්ලකින්ද සමන්විත එකල  මුවේ තැබිය නොහැකි නමුත් පසුකාලීනව අති ප්‍රනීතයැයි හැඟුනා වූ ආහාර වේලකින් කුස පුරවාගෙන සුව නින්දක් ලබම්ම කියා කුටියට  පැමිනියාහුය.

ඉනික්බිති  නිදිසුව විඳීමට සැරසෙත්ම දස මාර සේනාව පැමිණි කල්හි මෙන්  ඇති කරන ලද භයානක ශබ්ධ නගමින්  පොලු මුගුරැ අතින් ගත් ජ්‍යේෂ්ඨයෝ අපගේ නේවාසිකාගාරය එලිපත්තට  පැමිණ තර්ජනය කරමින් අද තොපගේ අතපය කඩම්හ. තොප ඝාතනය කරම්හ කියා සියලුදෙනා පසුපස කුටියට පැමිණිය යුතුයැයි තර්ජනය කරන්නාහ. භයින් ත්‍රස්ථව සිටි සමහරක් නවක මානවකයෝ හැඬීමටද, වැලපීමටද පිලිපන් කල්හි උන්ව අස්වසා බිය නොවව. කුමක් වේදෝයි විමසිලිමත්ව බලව යැයි කියා අස්වසාලා ජ්‍යේෂ්ඨයෝ අභිමුවට යන්නාහ. එකල්හි ඔවුහු පොලු මුගුරැ වලින් අසල ඇති බැරල්, ටින්, බෙලෙක්ක, ප්ලාස්ටික් බඳුන් යනාදී ශබ්ධ ඇතිවන්නා සියලු දේ වෙත ගසමින් ඝෝෂා කරමින් තොපගේ අංග සිඳිම්හ, තොප ඝාතනය කරම්හ, කියා එම්බා සුනඛ පෝතකයිනි, බලු ගැත්තනි තොපගේ සියලු වස්ත්‍ර වහා ගලවා දමම්හ කියා විධාන කරන්නාහ. කියු පමණින් කිසිදු ලජ්ජාවකින් තොරව මා වස්ත්‍රය ඉවත් කරද්දී අනෙකුන් විලියෙන් ඇඹරෙන කල්හි ජ්‍යේෂ්ඨ සිසුවෝ කියන්නාහු මූ නම් එල කොල්ලෙක. කිසිදු ලැජ්ජාවක්  භයක් නැතිසේය. මූ මීට පෙරද ජනී ජනයා ඉදිරියේ මෙවැනි වූ ක්‍රියාවන්හි නිරතවී ඇති බැව් පෙනේ. තොප ස්ත්‍රීන් ඉදිරියේද මේ ආකාරයෙන් විලි ලැජ්ජා නැතිව සිට ඇද්දැයි විචාරන්නාහ. මා නැතැයි කී කල්හි මුසා නොකියව. තා එසේ සිට ඇත. තට ලැජ්ජා භය නැත්තේය. අනෙකුන් සියලු දෙනා විලියෙන් ඇඹරෙන කල්හි තා පමණක් වස්ත්‍රය නොමැතිව සිටින්නාහ කියා නැවත නැවතත් ස්ත්‍රීන් හා රමණයේ යෙදී ඇත්දැයි විචාරන්නාහ. මා නැතැයි සපථ කළ කල්හි තෝ මුසා කියම්හ. තොපගේ කල් ක්‍රියාව පිලිබඳව අප බලා සිටිම්හ කියා අනෙක් උන් අමතන්නේ එම්බා යෝනි පුත්‍රයිනි මූ කල ලෙසින් තොපගේ වස්ත්‍ර නොගැලවූයේ නම් තොපගේ අංගජාත සිඳින්නාහ, ගලවා හස්තයට දෙන්නාහ, නැතහොත් ගලවා මුඛයේ ගසන්නාහ. තොපගේ මව්තුමියන්ලාට සංසර්ග කරම්හයි කියා තර්ජනය කලාහුය.

එසේවූ කල අප සගයෙකු වූ රාජසිංහයා බියෙන් තැතිගෙන හැඬීමට පටන් ගති. ඉනික්බිති සරා දෙවනුවද, පොඩි බිජ්ජා තෙවනුවද නිර්වස්ත්‍ර වූහ. රාජසිංහයා පවසන්නේ මාහට ඇවසි අධ්‍යාපනයක් නැත්තාහ. මා හෙට අලුයමින් නිවස බලා පිටත් වම්හ. මුන්ගේ නොපරැස්බස්  ඇසීමට කාරණා කිම්ද. මුන් නම් රකුසෝය. සුනඛයෝය. යමපල්ලෝය කියා ස්වකීය මව්තුමිය හා සහෝදරියන් සිහිකරමින් හඬන්නාහ. වැලපෙන්නාහ. අප සියලු දෙන නිර්වස්ත්‍රවූ කල්හි අපගේ උප්පැන්න සහතිකයේ පටන් නිවසේ සිටිනා සුනඛ පෝතකයාගේ නාමය දක්වා දීර්ඝ විස්තරයක් බිණීමට නියම කරන්නාහ. එපවත් කියූ කල්හි යම් හෙයකින් සහෝදරියක සිටිනා බව බිණුවහොත් තොපගේ සහෝදරිය මාහට කරකාර බන්දවා දෙව යැයි කියා ගිවිසන්නාහ. ඉදින් හෝරා කිහිපයක් මේ ආකාරයට තර්ජන, ගර්ජන, නින්දාවන්ට ලක්කරන්නාහ. අක්‍රෝෂ පරිභව කරන්නාහ. එකෙක් යන විට තවකෙක් පැමිණ කලින් විචාල සියලුදේම විචාලන්නාහ.

හෝරා තිහිපයක ඇවෑමෙන් තවද උන් මෙසේ කියන්නාහ. එම්බා කනිෂ්ඨ මානවකයිනි මෙම විශ්වවිද්‍යාලයේද, නේවාසිකාගාරයේද පිලිපැදිය යුතු බොහෝ ගති සිරිත් ඇත්තාහ. අදින් පසු සිව් වසරක් තොප මෙහි වාසය කරන්නාහ. විශ්වවිද්‍යාලයේද, නේවාසිකාගාරයේද පරම්පරා ගණනක් තිස්සේ ආරක්ෂාකරගෙන පැමිණෙන සම්ප්‍රදායන් ඇත්තාහ. තොප ඒවා ආරක්ෂා කළ යුත්තාහ. නැතහොත් තොපට යකා ගසා මෙම පද්ධතියෙන් බැහැර කිරීමට කටයුතු කරන්නාහ. මෙහි ඇති පළමු සම්ප්‍රදාය නම් තොපට අනවර්ථ නාම පටබැඳීමය. එය හැඳින්වෙන්නේ කාඩ් එක යනු‍වෙනි. අනවර්ථ නාම අවශ්‍ය වන්නේ මන්දයත් රට කරවන රාජ රාජ මහේශ්‍යාකයින්, මැති ඇමැත්තන්, සෙබළමුලු සහ චර පුරැෂයින් විසින් තොපගේ කටයුතු විමර්ෂණය කරන්නාහ. ඉදින් යම් හෙයකින් යම් අකටයුත්තක් සඳහා තොපගේ නම සබැඳුනහොත් තොපගේ ගැලවීම පිණිස සැබෑ නාමය වෙනුවට අනවර්ථනාමයක් භාවිතා වන කල්හි තොප පිළිබඳව කිසිදු තොරතුරක් දැනගත නොහැක්කාහ. එසේ හෙයින් තොපට සුදුසු අනවර්ථ නාමය අප විසින් පටබඳිම්හි කියා අපගේ සියලු තොරතුරැ විචාලන්නාහ. අංග ජාතයේ පටන් සියලු ශරීර ලක්ෂණ බලන්නාහ. බලව, මූතොමුගේ අසවල් අංගය විශාලය, මෙයට අත් පා සවිකලහොත් කඩේ වුවද යැවිය හැකිය. අසවල් අංගය ඉදිරියට නෙරා ඇත, අසවල කාල වර්ණය,ගෝලාකාර වස්තූන් දෙක සමබරතාවයකින්  තොරය. යනාදි වශයෙන් කියා සිටින්නාහ. මා අසළට පැමිණ මාගේ පෙර කල පුවත් විමසන්නාහ. ගති සිරිත් අසන්නාහ. ඉදින් උන් මා ඉදිරියට පැමිණ අනෙකුත් ජ්‍යේෂ්ඨ මානවකයින්ද කැඳවා මූතුමූ පළමුව වස්ත්‍රය ඉවත් කලාහුය. ඒකාන්තයෙන්ම මේකා කිසිදු ලැජ්ජා බයක් නැති නොසන්ඩාලයෙකි. ස්ත්‍රී ධුර්ථයෙකි. සුරා සොඬෙකි. මූගේ අනරවර්ථ නාමය වශයෙන් ..... නාමය මාවිසින් යෝජනා කරම්හයි එකෙකු පැවසූහ. එම නාමය ඇසූ කල්හි මා භයින් ත්‍රස්ථව ගියාහුය. ශරීරයේ ඩාබිඳු පැන නැංගාහුය. මක් නිසාද යත් එකී නාමය ලැජ්ජාබිය ඇතිව වෙනකෙකු  ඉදිරියේ බිනිය නොහැක්කක් බැවිනි. පළමුව වස්ත්‍රය ගලවා මා විසින් සිදුකරගත් අවැඩක මහත කියා සිතමින් පශ්චාත්තාප වන්නාහ.

ඉනික්බිති පසුදිනද මේ ආකාරයෙන්ම ජ්‍යේෂ්ඨ මානවකයෝ පැමිණි කල්හි මාගේ අනවර්ථ නාමය විචාලාහ. විලියෙන් ඇඹරෙමින් මාගේ අනවර්ථ නාමය කී කල්හි එතැනහුන් ගුණයහපත් ජ්‍යේෂ්ඨ මානවකයෝ දෙදෙනෙක් තොපගේ නාමය ඉතා අජූතය. අප්‍රියය. විපරීතය. කර්ණ රසාකර නොවෙතිය. කිසිවෙකු අභිමුව බිනිය නොහැක. එසේ හෙයින් තොපගේ නාමය සංශෝධනය කළ යුතුයැයි කියා මාගේ තතු විත්ති වාචාලන්නාහ. ඉනික්බිති තොපගේ ගති ලක්ෂණ අනුව තොපට සුදුසු වන්නේ මල්සරා යන අනවර්ථ නාමයයි. එසේ හෙයින් අදින් පසු තොප විශ්වවිද්‍යාලයේ මල්සරා යනුවෙන් නම් ලබන්නාහ. තොපගේ පෙර නාමය ඉවත්කලබව කියා නේවාසිකාගාර බිත්ති පුවත්පතේ දැන්වීමක් ගසුව යැයි නියම කරන්නාහ. යහපතියි කියූ මලසරාද එකී ලෙසින්ම කලෙන් ඉනික්බිති විශ්වවිද්‍යාල පද්ධතියේ මල්සරා නමින් අභිෂේක වන්නාහ. ඉදින් මා සම වයස් සගයින් විසින් මල් සරා ලෙසින්ද පසුව වල් සරා ලෙසින්ද,  අනතුරැව පැමිණි කණිෂ්ඨයෝ මල් අය්යා ලෙසින්ද, ජ්‍යේෂ්ඨයෝ මල් මල්ලී ලෙසින්ද අමතන ලද්දාහ. පෙරද, අදද සම වයස්, ජ්‍යේෂ්ඨ , කනිෂ්ඨ සගයින් හමුවන කල්හි අමතන්නේ පෙරකී ආකාරයෙන් වන නිසාත් මතුවටත් එය එසේම වන නිසාත් මාගේ බ්ලොග් අඩවියටද එම නාමයෙන් අභිමුඛවීම යහපතැයි සිතා මේ ආකාරයෙන් නම් තැබීමි. ඉදින් මාගේ නම් තැබීමේ නිධාන කථාව එසේ වම්හ.






15 comments:

  1. මචන් ලගකදි බ්ලොග් එකක කියවපු සුපිරි ලියවිල්ලක්

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි. මම තවම මේ විෂයට නවකයෙක්. ඒක නිසා හැමදේම ඉගෙන ගන්න ගමන් තමයි ලියන්නේ.

      Delete
  2. නියමයි බං.හිනා කාල පණගියා.

    ReplyDelete
    Replies
    1. මේක සිරාවටම මටම වෙච්ච දෙයක්. ඒ දවස්වල නම් මොකට කැම්පස් ගියාද හිතුනා

      Delete
  3. වෙල්කම් ටු ද හෙල් මල්..

    ReplyDelete
  4. දෙයියනේ කියලා බ්ලොග් ලියන්න පටන් ගත්තා විතරයි. දැන්මම හෙල් එකට දාන්න එපා.

    ReplyDelete
  5. හෙහ් මලා නියමයි ඈ. ඔය කාඩ් වැටිච්ච කතා තියෙනව නේද? ආතල් ලෝකයක්.

    ReplyDelete
    Replies
    1. කසුන් ආතල් තමයි. හැබැයි මට කලින් දාපු කාඩ් එක තිබුණානම් සියදිවි හානිකරගන්න වෙන්නේ.

      Delete
  6. මල් හතයි ඈ ... උම්මග්ග ජාතකේ කියෙව්වා වගේ .... මේ රචනා විලාසයට මම බොහොම මනාපයි !

    මට නං විස්ස් විජ්ජාලේ යන්න ලකුණු ජුන්ඩක් විතර මදි උනා ... මේවා කියවනකොට මම නං පසු තැවෙන්නේ නැත ...

    කණ්ඩා මේ හතර දිග් බාගයක පස් නොපෑගුවත් පුද්ගලික අදහස නං ඔය විස්ස් විජ්ජාලේ ඉන්නා නවක වදයෙන් එහා දෙයක් නැති ඇතැම් ජේෂ්ඨ නපුංසකයින්ගේ පන්ති තහනම හෝ දොට්ට දැමීම උචිත බවය ...

    ඒ දවස් වල මම මහර DSI ආයතනයට නිතර ආව ගිය බැවින් ඔය මළ ඉලව් වලට නුවර පාර අවහිර කරනා විට උන්ගේ දෙමාපියන් මෙන්ම ජාතකය ගැනද නිතරම පහන් හැඟීම් ඒමට පහල උනේය ...

    ඉතින් අහල පහල උදවියගෙන් මේ සියල්ල දත්තන් හට ඉඳ හිට ලැබෙන තෙල් සාත්තු සාධාරණය ...

    ReplyDelete
  7. නවක වදය කියන්නෙත් බං ඇරියස් කවර් කිරිල්ලක්. ගමේ ඉද්දි ගෙයින් එලියට බහින්නේ නැති, සරම උස්සලා හුජ්ජ කරන්න ලැජ්ජා නිසා බිිම වාඩි වෙලා හුජ්ජ කරන එවුන් කැම්පස් ඇවිත් තමුන්ට නැති පෞරුෂයක් ආරෝපනය කරගන්න ක්‍රම දෙකක් භාවිතා කරනවා. එකක් නවක වදය. අනික වාමාංශික දේශපාලනය (කැම්පස් එක තුළදී පමණක්)

    ReplyDelete
  8. පැරණි භාෂා රටාවෙන් ලියපු එක ලස්සනයි. සෑහෙන්න මහන්සි වෙලා තියෙන හැඩයි .

    ReplyDelete
  9. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete