Tuesday, June 28, 2016

නෝනා එන්න පලා ගන්න. මහත්තයා එන්න උක්කන්න

ගමේ ගොඩේ සිදාදියේ කවුරැත් පාහේ
විකුණන්නයි බඩු ගන්නයි
පොලටයි ආවේ
මම පොලටයි ආවේ

මොහිදින් බෙග් මහත්තයාගේ මේ සින්දුව ඇහෙනාවිට අපිට මතක් වන්නේ කුඩා කාලයේ වැඩිහිටියෙකුට පින්සෙන්ඩු වී පස්සෙන් එල්ලීගෙන ගිය ගමේ පොලය.  එදා පොලේ තිබූ සමහරක් අංග හැලී ගොස් ඇතද අදද ගමේ පොල ඇත.  එසේම අද මොහිදින් බෙග් මහතා නැති වුවද එතුමාගේ මේ ගීතය ගමේ පොළ පිළිබඳව චිත්‍රයක් නොව චිත්‍රපටයක්ම මවාපෙන්වීමට තරම් ප්‍රබලය.

පොල කියන්නේ ක්‍රමිකව විකාශනය  වූ වාණිජ සංස්ථාවකටය.  සංදේශ කාව්‍යවලත් ඒ ඒ කාලවල පැවති වෙළඳම ගැනත්, සල්පිල් ගැනත් කරැණු දක්වා ඇත. ගුත්තිලයේ ඒ කාලයේ පැවති වෙළඳාම ගැන අදහසක් දෙන්නේ මෙසේය.

බරණැස් නුවර සිට
උදේනි නම් නුවරට
පුරා බඩු ගැල් පිට
රැගෙන ගිය වෙළඳු වෙළඳාමට

ඒ වගේම ලුෂන් බුලත්සිංහලයන්ගේ තා‍රා‍වෝ‍ ඉ‍ගි‍ලෙ‍ති‍ නාට්‍යයයේ කියන්නේ

පා‍ර‍ දෙ‍පැ‍ත්තේ සොඳුරු සල්පිල්වල
දෙව්ලොව නැති සැප විකුණන්නේ
නුවරු රිසි රිසි දේ ගෙන
මසුරන් තඹයට දෙන්නේ
නිබඳ සිත ලතැවෙන්නේ
කියලාය. ඒ ඒ කාලේ පොලවල් පැවතුනු ස්වභාවය විය යුතුය. හැබැයි අපේ රටේ පොලවල් වල නම් දෙව් ලොව නැති සැප විකුණන්නේ නැත. ඒවා විකුණන්නේ ජිනා මැඩම්ගේ පොට් එක වැනි තැන්වලය. සිල්ලරට විකුණන තැන් ඇතද නරක් වූ කෑම කා බඩ සවුත්තු කරගැනීමට අකමැති නිසාදෝ දැන් දැන්  දැනුම් තේරැම් තියෙන අය ලාබෙට විකුණන දෙව් ලොව සැප ගන්නට යනවා අඩුය.

අප රටේ විශේෂ පොලවල් කිහිපයක් ඇත. කඳානේගෙදර පොල එයින් එකකි. එහි වෙළඳාම් කරන්නේ බුලත්ය. මිනුවන්ගොඩ බල්ලපාන  ඇත්තේද බුලත් පොලකි. ඇඹිලිපිටිය තුංකම ඇත්තේ කෙසෙල් පොලකි. ලෝකයේ විශේෂ පොලවල්ද ඇත. බැංකොක් නුවරට ආසන්නව දියමත පාවෙන වෙළඳපොලවල් කිහිපයක් ඇත. (Damnoen Saduak,  Amphawa, Taling Chan, Khlong Lat Mayom, Bang Nam Pheung) එම පොලවල්  පැවැත්වෙන්නේ ඇල මාර්ගවලය. වෙළඳාම් කරන්නේ ඔරැවේ සිටය. එය දකින්නට සුන්දර දසුනකි.


මේ විදිහට විකාශනය වෙච්ච සතිපොලේ තවත් සන්ධිස්ථානයක් උනේ සුපර් මාර්කට් එකය. අපේ රටේ අලුත් පරපුරේ අය දැන් නම් පොලට යනවට වඩා යන්න කැමති සුපර් මාර්කට් එකටය. ඒකට හේතු කිහිපයක් තියෙනවාය. පිරිසිදුකම, ෂෝෂල් ස්ටේටස් ගැන සැළකිලිමත්වීම, විශේෂයෙන් ෂෝෂල් ස්ටේටස් මේන්ටේන් කරන්න යාම නිසා වේස කාඩ් එකට හුරැවීම, තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ගන්න පුලුවන්වීම වගේ දේවල් මේකට බලපාලා තිබේය. පිරිමි පාර්ශවයේ හුඟ දෙනෙක් සුපර් මාර්කට් යන්නේ මතට තිත තැබීමටය. කාන්තා පාර්ශවය නම් බිලක් බැඳීමට හෝ හොඳවායින් මාලු කෑල්ලක් ගැනීමටය. ගියවිට ඒවායේ බඩු අහුරා ඇති ආකාරයට තවත් ඒවා ගන්න හිතෙන්නේය. එතෙන්නට ගියවිට දකින තවත් ඒවා නිසා හිතෙන්නේ අපරාදේ මේ වගේ එකක් ගන්න තිබුණානම් හොඳයි කියාය. මේ විදිහට බඩු බලන්න ගොස් අවසානයේ  නඩු බලවන්නට සිදුවූ අයද ඇත්තේය.

දැන් පොල කියන සංකල්පය ඊටත් එහා ගොසිනි. අන්තර්ජාලය හරහා ඔන් ලයින් ක්‍රමයට බඩු  ගන්න පුලුවන් වෙන ආකාරයට දැන් පොල දියුණු වී ඇත. ලංකාවේ ඇතුළත විතරක් නෙමෙයි ලෝකේ ඕනෑම රටකින් දැන් මේ විදිහට අපිට ඕන ජාතියේ බඩුවක් අරගන්න පුලුවන්ය. ඕනෑනම් ජිනා මැඩම් ලග ඇති ජාතියේ එකක් වුවද ඔන් ලයින් ගත හැකිය.

හැබැයි මේ මොනවා තිබුනත් තවමත් වස විස නැති පළතුරැ අල ජාති කොස් දෙල් වගේ දේවල් හොයාගෙන මිනිස්සු එන්නේ පොලටය. ඒ ගමෙන් ගේන කෙසෙල් ගෙඩියට අඹ ගෙඩියට කාබයිට් දාලා ඉදවන්නේ නැතැයි මිනිස්සු විස්වාස කොරන නිසාය.

අපේ රටේ ග්‍රාම සේවා වසම් 14000 ක් පමණ තිබේය. ගම්මාන ප්‍රමාණය 36000 ක් විතර වෙනවාය. දෙකෝටියකට ජුන්ඩක් වැඩි අපේ රටේ ජනගහනයෙන් සියයට 80 ක් විතර තවමත් ජීවත් වෙන්නේ වතුකරයේ සහ ග්‍රාමීය ප්‍රදේශවලය.මේ දෙකෝටියකට ජුන්ඩක් වැඩියෙන් ඉන්නා අයගේ වාර්ෂික ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 4000 ගණනක් කිව්වද තවමත් තමන් මෙච්චර ආදායම් උපයන බව මේ අයගෙන් හුඟ දෙනෙක් දන්නේ නැතිය.දන්නවානම් සතියකට රැපියල් 1000 ක් අරන් පොලට යන්නේ නැතිය. දන්නා අය වුවද සමහරවිට තමන්ට කොච්චර ඇමරිකන් ඩොලර් ලැබුනද ගම හෝ වත්ත දාලා යන්නට හිතෙන්නේ නැති නිසා මේ ආදායම ගැන නොසළකා ඉන්නවා ඇතිය. ඒ අපෙ රටේ පරාර්ථකාමී බුවාලාගේ හැටිය. ගමට ආදරේය. වත්තට ආදරේය. වෙලෙන් එන හුලඟටද, වත්තෙන් එන හුලඟටද ආදරේය.වෙල් හුලඟද, වතු හුලඟේ පහසද විඳිමින් සිටිනා අයගෙන් සියයට 90 විතර සතිපොලට එනන පුරැදු වෙලා තියෙනවාය. එය වැදගත් ප්‍රතිශතයක් නිසා අපේ රටේ පොලවල් කීයක් තියෙනවද බලන්න මම වගකිව යුතු රාජ්‍ය ආයතන කිහිපයකටම කථා කලෙමි. නමුත් මට ලැජ්ජා බිමේ ගසන්නට හිතුනේ පොලවල් ගැනවත් පොලේ වෙළෙන්ඳො ගැනවත් සංගණනයක්/ සමීක්ෂණයක් තවම කෙරිලා නැතිබව දැනගත් විටය.ඒ අපේ රටේ ජනගහනයෙන් සියයට 80 ක් පමණ ජනතාව ගණුදෙනු කරන, ලක්ෂ ගණනක් ජීවන උපාය සරිකරගෙන ඇති ස්ථානයකට සළකන විදිහය. එහෙම වන්නට ඇත්තේ අපේ නිලධාරීන් කඩේ යන වැඩවලට කැමති වුවද පොලේ යන වැඩවලට කැමති නැති නිසා වෙන්නට ඇතිය. නැතිනම් තමන්ට ඊට වඩා වැදගත් වැඩ ඇති නිසා වන්නටද පිලිවන.

කොතරම් නොවැදගත් තැනකට දමා තිබුණද සතිපොල කියන්නේ තවත් එක වෙළදපොලක් පමණක් නොවේය. මේක එක්තරා ආකාරයක උප සංස්කෘතියක්ද, හුවමාරැ මධ්‍යස්ථානයක්ද වන්නේය.

හුගක් වෙලාවට සතිපොලවල  දක්නට ලැබෙන පොදු අඩුපාඩු කිහිපයක් තිබෙන්නේය. වතුර බොන්න ටැප් එකක්වත් නැත. වැසිකිලි සියල්ලම වගේ කැඩිලාය. වැසිකිලියකට ගියොත් මතක් වෙන්නේ ඌරැ කොටුවක්ය. වැසි දිනවලට පොල මඩවගුරක්ය. වැස්ස දවසට පොල කලගෙඩි පොලක් වෙනවා කියලා වෙලෙන්ඳෝ කියන්නේ නිකන් නෙමේය.


පොලට ගියාම එතැන එකම කාලගෝට්ටියක්ය. අල ලෝනා අල ලෝනා අල ලෝනා එන්ඩේ එන්ඩේ ගන්ඩේ. අල පනායි. ගෝවා ඇටායි. අල පනායි. ගෝවා ඇටායි. ඉවර කරන්ඩා. ඉවර කරන්ඩා. බාණ්ඩක්කා, බාණ්ඩක්කා වාට්ටක්කා. හරි හුරතල් එලවලු ටික ළමයෝ එන්ඩේ ගන්ඩේ. අද ඉතරායි. අද ඉතරායි.

නාමල් වගේ එලවලු ටික. ලාබෙට දෙනවා. ලාබෙට දෙනවා. ඉවර කරාන්ඩ. ඉවර කරාන්ඩ. බලාගෙන යනකොට පොලේ වෙළෙන්ඳොත් පිටෝටු, ඕමා, ඕමා, මාරේ මාරේ (පිටකොටුව, හෝමාගම, මහරගම) කියා කෑ ගසනා 138 බස් කොන්දොස්තරලාට දෙවැනි නැත.



අපි කුඩා කාලේ වැලිපැන්නගහමුල්ල පොලේ යන්න හරි කැමතියි. පොල තිබෙන්නේ බදාදා දින උදය වරැවේය. වෙලෙන්ඳන් අඟහරැවාදා සවසට පොලට පැමිණ  එහිම රැය පහන් කරති. ඇවැසි නම් තරමක වැඩි මිලක් ගෙවා ඒ වෙලාවේ වුවද බඩු මිලදී ගත හැකිය. නමුත් අපේ අම්මලා පොලට එන්නේ බදාදා තරමක් දවල් වෙලාය. ඒකට හේතුවක්ද ඇත. පොලේ උදෙන්ම බඩු ගණන් වැඩිය. දවල් වෙනකොට ටික ටික ගණන් අඩුවේ. 12 පැන්න පසු ඉල්ලන ගානට බඩු ගතහැකිය. අපි කුඩා කාලයේ පොලට යද්දී අම්මාට අපි තුන් දෙනාවම රැගෙනයාමට සිදුවේ. ඒ අපිව බලාගන්නට වෙන කවුරැවත් නැති නිසාය. අපේ අම්මා නංගිව වඩා ගත්විට මමද මල්ලීද අම්මගේ ගවුමේ දෙපැත්තෙන් අල්ලා ගන්නෙමු. අහල පහලින්  හොයාගත් පේර, දිවුල්, පුවක්, ගොරක වගේ දේවල් උරයකට දමා අම්මාගේ ඔලුව උඩය. ගමේ ගෑණු පොලට ගියෙත් ආවෙත් කල්ලි ගැහිලා උනත් අම්මා හුඟක් වෙලාවට ගියේ  තනියෙන්මය. ඒ අපි තුන්දෙනා පොඩි නිසා හයියෙන් යන්න බැරි නිසාය. ගෙදර ඉඳන් පොලට හැතැම්ම තුන හමාරක් විතර තිබුණි. මේ යන අතරමග අපි නවතින තැන් තුනක් විතර ඇත්තේය. පොඩ්ඩක් ඒ තැන්වල නතරවෙලා වාඩිවෙලා මහන්සිය ගියාම පසුය ආපසු ගමන පටන් ගන්නේ.

අම්මා ඉස්සර වෙලාම කරන්නේ පොලට යන අතරමග ඉන්න තොග වෙලෙන්දන්ට අරගෙන යන බඩුටික විකුණන එකය. වැඩියෙ නෙමෙයි ඒ කාලේ රැපියල් 25 - 30වගේ ගානකටය. ඊට පස්සේ පොල වටේ රවුමක් කැරකී ගණන් අඩු තැන් ටික බලාගෙන ඊලග රවුමෙන් ඇවිත් බඩු ගන්නවාය. අන්තිමට යන්නේ කෑම ජාති විකුණන වෙලෙන්දා ලගට. අපි කැමතිම තැන එතනය.

පොළ කියන්නේ එක්තරා අකාරයක ෂෝෂල් නෙට්වර්ක් එකක්ය. මොහිදීන් බෙග් මහතා කියන්නේ ගුරැ මහතයි ගොවි රාලයි. කට්ටඩියයි වෙද රාලයි. ගම මහගෙයි පොඩි මැණිකයි. එක්වෙන තැන පොල මේකයි කියලාය. ඒ කාලේ අහල පහල ගම් හත අටකම හැම සමාජ ස්ථරයකම අය පොලට පැමිනෙනවෝය. සමහරැ කරත්තෙන්. සමහරැ පයින්, සමහරැ අත් ට්‍රක්ටරයෙන්ද, බයිසිකලයෙන්ද, තැපැල් නයින්ටියෙන්ද පොලට එති. ගෑනු කට්ටියගේ වැඩිපුර කැමeත්ත පයින් යන්නටය. ඒ ඕපේට බරවීමටය.  ඒ වෙලාවට ගෑණු කට්ටිය කථා වෙන්නේ ගෙවල් අහල පහල අලුත් ඕපාදූප ගැනය. හුඟක් වෙලාවට මිනිස්සුන්ගේ බේබදුකම, කොටු පැනීම, මගුල්, අවමගුල්, කොටහලු ගෙවල්, රණ්ඩු සරැවල් මේ කථාබහට මාතෘකා සපයනවාය.

පොලේ බඩු ගන්න අතර පොඩි පොඩි සතුටු සාමීචි පැවැත්වෙනවාය. ඒ අහල පහල ගම්වල අයත් එක්කය. පෙරකී විස්තරම එම කථාවලටද මාතෘකාය.  ආපහු එන අතර තමන් දැනගත් සියලු ඕපාදූප  කට්ටිය අතර හුවමාරැ වේ.  කට්ටියම බඩුමලු ඔලුවෙ තියාගෙන හෙමින් එන නිසා මහන්සියක් නැතිව ගෙදරට ඒමට මේ ඕපාදූප හරිම වැදගත්ය. කථාව ගමනට ඉනි මගයි කියලා ගම්වල මිනිස්සු කිව්වෙ නිකන් නොවන වග වැටහෙන්නේ එවිටය.

පොලේ වෙළඳාම් කරන අය සමහර කපටි වැඩත් කරනවා දැකිය හැකිය. හුඟක් වෙලාවට හොරට කිරීම මෙහි කූඨ ප්‍රාප්තියයි. යටින් තාර හෝ කොහොල්ලෑ අලවා හොරකමටම  හදාගත්ත තරාදි හොර වෙළෙඳුන් අත පැවතියද  කිරැම් මිණුම් සම්බන්ධ රජයේ නිළධාරීන් පොලට ආව දවසට කට්ටිය තරාදි විතරක් නෙමෙයි තමන්ගේ බඩු ටිකත් අතහැර හැංගෙන්න දුවන්නේ ඒ නිලධාරීන්ට ඇති බිය නිසා නම් නොව හුදෙක්ම ගෞරවය නිසා විය යුතුය. හොඳ බඩු අස්සට නරක් වෙච්ච ඒවා දැමීමද වෙ‍ලෙඳුන්ගේ තවත් කපටිකමකි. ඒ කාලයේ නම් මේවා ගැන කථා කලොත් වාග් ප්‍රහාර, කුණු තක්කාලි, කුණු බිත්තර ප්‍රහාර වලට ලක්වීමට සිදුවිය. මධ්‍යම පන්තිය පොලෙන් ඉවත් වෙන්න මේවත් හේතුය.  දැන් නම් පාරිභෝගිකයා රජෙකි යන වාක්‍ය පොලේ වෙළෙඳුන්ද ටිකාක් විතර අවබෝධකරගෙන ඇති නිසා පොලට යන අයට සැළකිල්ල හොඳය.



පොල ගැන කියද්දි හැමදාම එන වෙළෙන්ඳන්ට අමතරව පොලට එන තව කොටසකුත් සිටියාහ.  සාත්තරකාර කියන අය මේ අතරින් එක් කොටසක්ය. ගම්වල අය මේවා හුඟක් විශ්වාස කරනා බව දන්නා සාත්තරකාරයින් පොලට ගේන මුදලින් කීයක් හරි කඩාවඩා ගැනීමට මාන බලන්නේ ඇඟ කිලිපොලා යන සාත්තර  කීමෙනි.  මේ අය ඉන්නේ පොලට ඇතුල් වෙන ගේට්ටුව ලඟ සහ ලොතරැයි වෑන් එක ලඟය. ගෑණු අයට ගෙදර කරදර ගැනත්, පිරිමි අයට තියෙන ධන ලාභ ගැන මේ අය කියනවාය. ගෑණු මේවා අහල  පහුවෙනිදාම ගෙදර මිනිහාටත් හොරෙන් දේවාලයකට යනවා වගේම පිරිමි අය එදා ලොතරැයියක් අරගෙන දිනුමක් ලැබේදැයි කියලා බලනවෝය.

ඒ වගේම හිඟාකන මිනිස්සු පොලෙන් පිටවෙන ගේට්ටුව ලඟත් පොලේ ඇතුලෙත් ඉන්නවා. ලෙඩට දුකට,  පන්සලේ විහාර ගේ, බෝධි ප්‍රාකාරය හදාගන්න වැනි එක එක වැඩවලට සම්මාදන් එකතු කරන අයත් මේ විදිහට ඉන්නවාය.

තෙල් වෙදා  පොලේ අනිවාර්යෙන්ම ඉන්නා කෙනෙක්ය. ජාතික ඇඳුම ඇඳගෙන සූට්කේස් එකක තෙල් බෝතල්, බෙහෙත් ජාති ටික අඩුක්කරගෙන තෙල් වෙදා පොල එන්නේය. තමන්ගේ තෙල් බෝතල් ටික පේලියට තියලා වෙදා ඉස්සරවෙලාම කරන්නෙ අනිත් අයගේ අවධානය ගන්න මොකක් හරි කියලා කෑගහන එකය. එක්කෝ ඩක ඩකයක් ගහයි. සමහරවිට තෙලක නමක්, නයෙක්, පොළඟෙක්, නැත්නම් එන්න එපා එන්න එපා කියලා මහ හයියෙන් කෑගහන එකය. ඉතින් මිනිස්සු දුවගෙන එන්නේ ඇයි එන්න එපා කියලා කියන්නේ කියා බලන්නටය. එතකොට මිහිහගේ තෙල්වල වරැණාව පටන් ගන්නවාය. තෙල් කිව්වට තෙල් විතරක් නෙමෙයි දත් බේත්, පණු බේත් වගේ දේවලුත් වෙද්දු ලඟ තියෙනවාය. තමන්ට උවමනා නැතත් තෙල් වෙදාගේ මුඛරි කමට ඒ වෙලාවේ වශී වෙන නිසා සමහර මේවායින් මොනවා හරි මිලදී ගන්නවෝය. තෙල් වෙදාගේ කථා මේ වගේය.

දැන් බලන්න මේ අපේ අලුත් පරම්පරාවෙ කොල්ලන්ට කෙල්ලන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි කට ගඳ ගහන එක. ඇයි මේ පාවිච්චි කරන දන්තාලේප හොඳ නැතිකම. මම ලඟ තියෙනවා මේවටම හදපු දේශීය ඖෂධ. මේ තියෙන්නෙ. දත් බෙහෙත් කුඩු පැකට් එකක් පෙන්වයි. මම කියන්නම් මේකෙන් මදින පිලිවෙල. ඇඟිල්ල හොඳට තෙමා ගන්න. වතුර නැත්නම් කෙල වලින් උනත් කමක් නෑ. දැන් ඇඟිල්ලෙ හොඳට දත් බෙහෙත් ටික ගාගන්න. දත් තිස් දෙක, උගුර, දිව මෙකී නොකී සියලුම මුඛයේ ඇතුලේ තියෙන දේවල් හොඳට මදින්න. බලන්න දැන් කටේ සුවඳ. දැන් ඉතින්  ගිහිල්ලා ගෑණිට හොඳට තොල් සුදියක් දාලා බුදියගන්නවලකෝ. අපි එනවද නවත්තන්න.

දැන් බලන්න අපේ ඉස්කෝලේ යන ළමයින්ට නිතරම තියෙන ප්‍රශ්නය මොකක්ද. ළමයින්ට විතරක් නෙමෙයි මහ අයටත්. නිතරම බඩ රිදෙනවා. ඇයි මේ. බඩේ ජරාව. බඩක් උනාම මාස දෙකකට සැරයක්වත් සර්විස් කරන්න ඕන. මම මෙන්න මේක හැදුවෙ ඒකට. දුඹුරැ පාට පොඩි පෙත්තක් පෙන්නයි. මේක උනු වතුර කෝප්පෙකට දාල හොඳට කලවම්  කරලා බීලා පැය භාගයක් ඉන්න. ඔන්න තේරෙයි සුනාමියක් එනවා වගේ. හැබැයි යන්න එපා කක්කුස්සියකට.පෝච්චියේ ඉඩ මදිවෙයි.  යන්න වෙලක් අයිනට. පාලු වත්තකට. කැලේකට. ගිහිල්ලා පස්සට හොඳට හුලං වදින්න සරම උස්සලා වාඩි වෙන්න. වාඩි වෙන්නත් කලින් යන්න පටන් ගනී. පොඩ්ඩක් පිටිපස්ස හැරිලා බැලුවොත් බටු පොතු, ලූනු පොතු,  මිරිස් පොතු, තක්කාලි පොතු මේ හැම ජාතියම ඇති. මේක සීමා සහිතයි. මුලින් ගන්න අයට විතරයි. අඩුම හත් අට දෙනෙක්වත් එක බේතක් මිලට ගනී. තෙල් වෙද්දු විකුනන්නේ තෙල් නෙමේය. කටේ හැකියාව.

ඒ කාලයේ කවි කොල කාරයාද පොලට එන යාවජීව සාමාජිකයෙක්ය. රටේ සිද්ධ වෙන මොකක් හරි අපරාධයක්, නැත්නම් වැදගත් සිද්ධියක් අහගෙන ඉන්නා අයට තමන්ට සිදුවූ දෙයක් ගානට මවා කීමට දක්ෂයින් සිටියේ දෙදෙනෙකි. ඒ පොලේ කවිකාරයා සහ බයිලා ගායන ශිල්පී ඇන්ටන් ජෝන් මහතාය. පොලට එන අය ගෙදර යන්නේ මේ කවි කොලයකුත් අරගෙනමය. ඒ කාලයේ රටම කම්පා කරපු සමන් කුමාර දරැවාගේ ඝාතනයත්, උපාලි විජේවර්ධන මහත්තයාගේ අතුරැදහන්වීමත් මේ කවිකොල කාරයෝ මිනිස්සුන්ට තනි ඇහැට ඇඬෙන්න කීවෝය. ගම්වල සිටි අකුරැ කියවන්නට බැරි වයසක අත්තම්මලා මුනුබුරැ මිනිබිරියක ලවා මේ කවි කොල කියවා ගන්නේ කඳුලු සලමිනි. කවි කොල පමණකක් නොව අවුරැදු කාලයට ඈපා ලිතයි පොතයි දෙකද කවිකාරයා  ගෙනත් පොලේ එන අයට ලබාදෙනවාය. අද නැති උනත් කවි කොල කියන්නේ ඒ කාලේ හරි ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක්ය.

ලොතරැයි වෑන් එකත් පොලේ අනිවාර්ය අංගයක්ය. අද දිනපතා දිනුම් අදින ලොතරැයි තිබුණද ඒ කාලයේ ජනප්‍රිය ක්ෂණික සූරන ලොතරැයිය. ඔබට දිනුමක් රටට සෙවනක් කියා කියන සෙවන ලොතරැයිය හැමෝම ගන්නා එකක්ය. සෙවන හඳහනත් ඒ වගේය. බැරි වෙලාවත් කාටහරි රැපියල් දහයක, විස්සක, සීයක දිනුමක් ලැබුනොත් ලොතරැයි වෙලෙන්දා මේක ලවුඩ්ස් පීකරෙන් කෑගහලා කියන්නේය. එතකොට ඉතින් පොලේම කට්ටිය ලොතරැයි ගන්න එනවෝය. මමද ගැටයා වෙන්න ඔන්න මෙන්න කාලේ පොලේ ගියවිට රැපියල් හැටක් මේ සූරන ලොතරැයියකින් ඇදුනි.

බොම්බයි මොටයි, අයිස්ක්‍රීම්, සරැවත්, ප්ලේන්ටි විකුණන අයද පොලේ හිටිය තවත් කස්ටියකි.පොලේ සරැවත්කාරයාගේ සරැවත් එකට ගහන්නට අද තරැ පහේ හෝටලයක පෘට් ජූස්වලටද බැරිය. ප්ලේන්ටි වෙලෙන්දො නම් පොලේ වෙලෙන්දන්ට ප්ලේන්ටි දීලා සල්ලි එකතු කරන්නනේ පොල ඉවර උනාමය. මේ අයගේ ජංගම ලිපක් තිබුණා මට මතකය. ප්ලේන්ටි දුන්නේ පොඩි අසෝක වීදුරැවලය.

පොලට එන අයට විනෝදාස්වාදය සපයලා කීයක් හරි හොයාගන්න පිරිසකුත් පොලේ හිටියෝය. විරිදුකාරයෝ, වඳුරො, නයි නටවන අහිගුන්ඨිකයෝ, සර්කස් පෙන්නන අය මේ අතරින් විශේෂය.පොලද,  පොල දවසට පමණක් සමහර ගම්වලට යන්නට එන්නට ඇති බස් රථයද විරිදු කාරයාගේ ව්‍යාපාරික ස්ථානයන්ය. උදෙන්ම පොඩ්ඩක් සප්පායම් වී විරිදුව පටන් ගත්තද බුදුන්, දහම්, සඟුන් සිහිකර  විරැදුව ගායනා කිරීම නම් සිදුවෙයි. අහිගුණ්ඨිකයින් ගෙන එන නයා කලබල වී පැන යාමට උත්සාහ කිරීමත්, රිලවා කලබලවී අසල සිටිනා අයට හපන්නට යාමත් නිසා සමහර විට පොලේ සිටි අය සී සීකඩ දිව්ව අවස්ථාද නැතිවා නොවේ. තව පොලේ පොඩි පොඩි සෙල්ලම් එහෙමත් තිබුණාය. කාඩ් කුට්ටමෙන් කරන කොල තුනේ සෙල්ලම, තුන්ඩුවක් ගත්තාම නලා, මාල වගේ පොඩි පොඩි තෑගි ලැබෙන සෙල්ලම් බඩු කොලේ වගේ දේවල් ඒ අතරින් විශේෂය.

පොලට එන වෙලෙන්ඳියන්ගේ කට ටිකක් සැරය. ඒ වගේම ග්‍රාම්‍ය භාෂාව හැසිරවීමේ සමර්ථියෝය. දෙපිට කැපෙන වචන කීමෙහි අගතැන්පත් බවලතුන්ය.මේ අයගේ භාෂා හැකියාව පිළිබඳව පට බැඳී ඇති කථා බොහොමයකි.

පලා ජාති තියෙන තැනකින් ගෑනු කෙනෙක් යනකොට හයියෙන් ඇහෙන්නේ නෝනා පලා ගන්න නෝනා පලාගන්න කියලාය.යමක් කමක් තේරෙන නෝනලා හිතෙන් කියන්නේ අපි පලාගත්තේ මීට හත් අට අවුරැද්දකට කලින් කියාය. නමුත් නොදන්න අය හිතන්නේ මේ කියන්නේ කීර ජාති ගන්න කියලාය.

කොහිල වෙලෙන්ඳො ලඟින් යද්දි හයියෙන් ඇහනේනේ නෝනා කෝ හිල කෝ හිල කියලා. එවිට නෝනාට ප්‍රශ්නය වන්නේ මේ කියන්නේ කොහිලද, නැත්නම් තමන්ගේ හිලක් ගැන අහනවාද කියලාය. ඒ මොකක් උනත් නෝනා බිම බලාගෙන යන්නේ කොහිල ගන්න ගියොත් වෙනත් හිල්ද චෙක්කර බලාවියැයි සැකයට වන්නටද පුලුවන. ඒ නිසා පොලේ කොහිල සම්බන්ධයෙන් නෝනලාගේ ඇති ඉල්ලුම අල්පය.

එලබටු, තිබ්බටු ගන්න ගියාම ඇහෙන්නේ නෝනා එල ඇටේ එල ඇටේ තලන ඇටේ තලන ඇටේ කියලාය. නෝනා හෙමිට මහත්තයාගේ කලිසමේ සිප් එක තියෙන පැත්ත හොරෙන් බලන්නේ මේ පොලේ ගෑනි ඒකත් දන්නවාදැයි හිතමිනි. කොහොම නමුත් නෝනාට ලැජ්ජා හිතෙන කථා නිසා නෝනලා වැටිපුර එලබටු ගන්න උනන්දුක් නැතිය. 

කොස් පොලොස් විකුණන අය ලඟට ගියාම ඇහෙන්නේ  නෝනා කොස් ගන්න. කොස් කිරලා දෙන්නේ කියාය. තේරෙන නෝනලා ලැජ්ජාවෙන් බිම බලාගන්නා විට මහත්තයා හිනාවෙමින් හිතන්නේ පොලට එන්න කලිනුත් කොස් කිරලයි ආවේ කියාය.

පොලේ අන්තිම ගේට්ටුව ලඟ හිඟන්නෝ වරදින්නේ නැතිය. පොලේ එන අයත් බඩු අරන් ඉතුරැ වෙන මාරැ කාසි කීය හරි මේ අයට දීලා දෙව් ලෝ සැපද, මාර්ග ඵලද, නිවන් සැපද ප්‍රාර්ථනා කරගන්නවෝය. බැරි වෙලාවත් නෝනයි මහත්තයයි දෙන්නම පොලට ගියවිට හිඟන්නියක් හිටියොත් කියන්නේ නෝනා මහත්තයා දීලා යන්න කියාය. නැත්නම් හිඟන්නෙක් හිටියොත් කියන්නේ මහත්තයා නෝනා දීලා යන්න කියාය. ඒ ඉල්ලන්නේ සල්ලිද නැත්නම් වෙන කෙන් ගෙඩියක්ද කියා  දන්නේ හිඟන්නෝ සහ  හිඟන්නියෝ විතරය.

උක් විකුණන්න ඇති තැනකින් නෝනයි මහත්තයයි යනකොට වෙළෙන්ඳියෝ කෑගහන්නේ මහත්තයා උක්කන්න, උක්කන්න කියාය. නෝනා කලබලෙන් වටපිට බලන්නේ පොලට එන්න කලින් කොරාපුවා මෙතන මේ ගෑනු කියන්නේ මොන කෙන්ගෙඩියකටදැයි සිතමිනි. මේ වෙලාවට මහත්තයාගේ මූනේ ඇති හිනාවේ තේරැම දන්නා නිසා නෝනලා වැඩිපුර උක් තියෙන පැත්තට මහත්තයලාව එක්කගෙන යන්නේ නැතිය. ඒ සමහරවිට බැරිවෙලාවත් මහත්තයාට ගෙදර ගියවිට මේ කියන ඒවා කන්න හිතුනොත් පොඩි උන්ටික ඉස්කෝලේ ගිහින් එනකොට බත්ටික උයලා තියන්න පරක්කු වෙයි කියලා වියහැකිය. නැතිනම්  මහත්තයලා  වෙලෙන්දියන්ගේ උක් කෑමට ගියහොත් තමන්ට පවුලත් නැති වෙන්නට ඉඩ ඇති නිසාවෙනි.

දැන් ගම නැගලාය. මගත් නැගලාය. දිවිත් නැගලාය. ඒ නිසා රටත් නැගලාය. නගින්න ඕනා එක්කොම එක්ක බඩු මිලත් නැගලාය. මේ සියලු ආකාරයේ නැගීම් බැහීම් තිබුනද සතිපොලට අදටත් වැජඹෙන්නේ එයින් සමාජයට වන සේවය නිසාය.


23 comments:

  1. උකනවනේ ඉතින් දාල

    ReplyDelete
    Replies
    1. ඇයි අටමෝ මොකක් හරි වැරැද්දක් වෙලැයි

      Delete
  2. Replies
    1. ස්තුතියි සජ්ජො

      Delete
  3. මාත් කලිං පොල ගැන ලිව්වා. හැබැයි මේක ඊට වඩා ජාති.

    කෝහිල..... හකූරු මුල....

    ReplyDelete
    Replies
    1. මම සුරංගගේ ආර්ටිකල් කිහිපයක් කියෙව්වා. හුගක් දේවල් මගේ ජීවිතේ වගේම තමයි. මටත් මුලින් ඕන උනේ උසස් පෙල විද්‍යා කරන්න. ඒත් ඒ කාලේ හිටපු අපාය සහාය (හිත හොද) වල සෙට් එක නිසා ඒක වැලකුනා. මම ඒ කථාව වෙනම ලියන්නම්. පොල ගැන ලියපු ආර්ටිකල් එකේ ලින්ක් එක පුලුවන්නම් මට එවන්න. ඒක හොයා ගන්න බැරි උනා.

      Delete
  4. මෑතක මම කියවපු සුන්දරම බ්ලොග් ළිපිය... ජයවේවා...

    මෙච්චර දිග එකක් කියලා තේරුනේ අන්තීමට... කෙන්ජි කියන එකක් මතක් උනා

    ඔබේ දෑතට සම්මා සම්බුදු සරණයි...!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාගේ බ්ලොග් ගුරැතුමනි. බුදු සරණයි. දෙවි පිහිටයි.

      Delete
    2. මචං කියහන් බං.... මෙහෙම කියන කොට මගේ ඔළුව ඉදිමෙනවා...

      Delete
  5. කලින් පෝස්ට් වගේම හොද එකක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පැණිකු

      Delete
  6. අර සුරංගයගෙයි මුගෙයි පෝස්ට් දෙක එකතු කරානම් හොඳ පොලක් දාගතහැකි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් පොල දෙපොල කරන්න පුලුවන්. කඩ දෙකඩ කරන්න පුලුවන්.

      Delete
  7. //ඒ ගමෙන් ගේන කෙසෙල් ගෙඩියට අඹ ගෙඩියට කාබයිට් දාලා ඉදවන්නේ නැතැයි මිනිස්සු විස්වාස කොරන නිසාය. //

    අපි දේශපාලකයින් හා තිස් තුන් කෝටියක් දෙයියංවත් විස්වාස කරන ජාතියක්නෙ

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ගේ දියුනුවටත් නොදියුණුවටත් බලපාන්නේ හුඟක් වෙලාවට තමන් විශ්වාස කරන දේ.

      Delete
    2. මෙහෙමත් එකක් තියෙනවා නේද ප්‍රා කෙලින්ම මූණ බලලාත් ඔය බෙහෙත් නොගහපු පළතුරු දෙන ගමේ වෙළෙන්දෝ ඉන්නවා නේද?
      මට නම් එහෙම අනන්තවත් හම්බ වෙලා තියෙනවා. ඒ මිනිස්සු දන්නවා බොරු කියලා ඕක විකුණන්න ගියාට ඊට වැඩි ගාණක් ඇත්ත කියලා හොඳ බඩුවක් දීලා ගන්න පුළුවන් කියලත්.

      Delete
    3. ගමේ දේවලුත් දැන් සිංහල අවුරැදු චාරිත්‍ර වගේ. හැමෝම කැමතියි නමුත් දැන දැන කරන්නේ බොරැව.

      Delete
  8. උක්කනවා දාලා...............

    ReplyDelete
  9. අතීතකාමයට කියාපු "රහ බ්ලොග්" එක මේක...
    (රවියාට ලොකු තරඟයක් දෙන්න වෙනවා )

    පොල හැමදාමත් මගේ ආසම භාන්ඩයක් ලංකාවෙදි. කොටින්ම ගමක් දැක්ක ගමන්ම පොලක් තියේද කියලා හොයලා බලලා ගිහින් බඩු ගන්න එක මගේ පුරුද්දක්.ඒක අතීතකාමය වෙන්න පුළුවන්. ඒත් පොලකින් බෙහෙත් නොගහපු, ෆ්‍රෙශ් පළතුරු එළවලු ගන්න පුළුවන්. රැවටීමට ලක්වුනත් ඒක ලොකු වෙළෙන්දෙකුට වඩා පොඩි මිනිහෙකුට යන හින්දා මම තවත් කැමතියි. කීයක් හරි වැඩිපුර දීලත් එනවා මම නම්. සුපර් මාකට් වල ඉල්ලන ගාන දීලා ඕන ජරාවක් ගනන් මිනිස්සු පොලේ ගිහින් අහිංසක මිනිස්සු කේවල් කරන එකට නම් මට දැනෙන්නේ අපි කොයිතරම් කුහකද කියලා.

    අපේ ගම අවට පොලවල් වල මිනිස්සු මාව දන්නවා. සමහරවිට මම ඔය අතීතකාමය හොයාගෙන යන ගස් ගෙඩි හින්දා වෙන්න ඇති. සමහර මුදලාලි මිනිස්සු මම ගෙදර ඉන්නවා කියලා දන්නවා නම් මට ගමේ ගස් ගෙඩි එවනවා ගෙදරට. ඒක හින්දාම වෙන්න ඇති මට ඒ මිනිස්සු හැමදාම පේන්නේ හරිම අහිංසක විදියට.
    ඉස්සර ඔය රෑ පාන්දර තොග පොලට බඩු අරන් යන ක්‍රමය මම හිතන්නේ දැන් වෙනස් වෙලා නේද?
    අපේ ගෙදර හා මා දන්න අයගේ නම් කෙලින්ම කොළඹ පිටකොටුවේ මුදලාලිගේ ලොරි ගෙදරටම එනවා.
    දිගටම ඔබේ අතීත සටහන් ලියන්න...
    අපි ඔය අතීතකාමය ඔඩු දුවල අඉහ වහා ගිහින් ඉන්න මිනිස්සු නෙව... ;)

    ReplyDelete
    Replies
    1. පහුගිය කාලේ ජීවිතේ ගොඩනගා ගන්න කරපු සටන නිසා අමතක වෙච්ච එක දෙයක් තමයි මගේ උපන්ගම. හැබැයි දැන් ඒ ගම නෑ. ඒක තියෙන්නේ මගේ හිතේ විතරයි.

      Delete
  10. Replies
    1. ස්තුතියි කසුන්

      Delete
  11. නියමයි... අරූගෙ පොල ගැන පෝස්ට් එකට පස්සෙ හිතට වැදෙන පොලක් උනේ මේක තමා.
    පොලක් කියන්නෙ දියුණුවෙන්න කැමති කෙනෙකුට හොඳ අවස්ථා සපයන තැනක්.
    ජයවේවා..!!

    ReplyDelete