Monday, October 17, 2016

වදකහ සුදියේ සිට අකුණු සන්නායකය දක්වා දිගට හරහට ලණු කෑම



මීට මාස දෙක තුනකට පෙර මගේ මිතුරෙක් කථාකර “මචං ජීවිත කාලෙම ගොඩයන්න පුලුවන් බිස්නස් එකක් තියෙනවා. පුලුවන්නම් පරණ අකුණු තැටි තියෙන තැන් ටිකක් හොයලා දීපන්. ලක්ෂ ගාණක් හොයාගන්න පුලුවන්“ යැයි පැවසීය. දිනපතා මුගෙන් මේ සම්බන්ධයෙන් ලැබෙන දුරකථන ඇමතුම් මට ඇනයක් මට්ටමට පත්වූ නිසා අවසානයේ මා කලේ මුගේ ඇමතුම්වලට පිළිතුරැ නොදී සිටීමය. මම ප්‍රතිචාර නොදැක්වුවද මේකා උදයට හා සවසට මට අනිවාර්යෙන් කෝල් කිරීම පුරුද්දක් හැටියටම කරගෙන ගියේය.

මෙච්චර මේ උනන්දුවන අකුණු තැටිය කුමක්දැයි මටත් ගැටලුවක් වූ නිසා මමද මේ ගැන ටිකක් සොයන්නට පෙළඹුනි. පැරණි වලව්වල සහ පැරණි කර්මාන්තශාලාවල අකුණු ඇදගැනීමට සවිකර ඇති අකුණු සන්නායකයට සම්බන්ධකර වලලා ඇති තැටිය මේ ආකාරයට සොයනා බව මට දැනගැනීමට ලැබුනේ ඒ ආකාරයෙනි. එම තැටි සොයා රටපුරා විවිධ කණ්ඩායම් සැරිසරණ බවත් තැටිය සොයාගත්තොත් තැටියේ අඩංගු වී ඇති ශක්තිය වෙනත් උපකරණයකට ඇතුල්කරගන්නා බවත් මට එහිදී දැනගැනීමට ලැබුණි. මෙම ශක්තිය භාවිතා කරමින් මිසයිලයක වුවත් ගමන් මාර්ගය වෙනස්කල හැකි බවත් මේ නිසා රැපියල් කෝටි ගණනක් මෙවැනි තැටි සඳහා ගෙවන බවත් මට තොරතුරු ලබාදුන් පුද්ගලයින්ම පැවසීය. මේ සඳහා නාසා ආයතනයෙන් අවසර ලත් පුද්ගලයින්ද පැමිණ ඇති බවත් එම අය අත නාසා ආයතනය මගින් මෙම තැටි ලබාගැනීමට බලය ලබාදුන් සහතික පවා ඇති බවත් සමහර අවස්ථාවල කියවුනි. කෙසේ නමුත් අද දක්වාම මෙම තැටියක් මිලදී ගත් අයෙක් හෝ අළෙවි කළ අයෙක් නම් මට සොයාගත නොහැකි විය.

මෙවැනි කටකථා ලාංකික සමාජයට නුහුරු අත්දැකීම් නොවේ. 1955 ජූනි 20 දා පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවන මොහොතේ වද කහ පානය කලවිට රූමත්වන බව වෙද මහතෙකු පැවසීම නිසා වද කහ බිව් සෑහෙන පිරිසක් වමනය කරමින් රෝහල්ගත වූ කථාවක් අදටත් ප්‍රසිද්ධය. මේ වද කහ සිද්ධිය නිසා “බිව්වා නේද වද කහ සුදිය“ වැනි ගීතද නිර්මාණය විය.

තවත් මේ ආකාරයේ කථාවක් අප සාමාන්‍ය පෙල පන්තිවල සිටිනා කාලයේ පැතුරුනි. ඒ නිකවැරටිය- මීවැල්ලෑව පැත්තේ පන්සලක බෝ ගසේ බුදුරැවක් මතුවි තිබෙන බවකි. එවකට ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතාද මෙම අරුමය බැලීමට පැමිණ පන්සට සෑහෙන ආධාර උපකාර ද කර තිබුණි. අපේ පැත්තේ අයද රටපුරා අයද බස් රථ කුලියටගෙන නඩ පිටින් මෙම මහා ආශ්චර්යය නැරඹීමට පැමිණියහ. මමද අපේ ගමේ නඩයක් සමග මෙය නැරඹීමට සහභාගී වූ අතර මතු වී ඇතැයි කියන බුදු රුව බලන්නටද ගියෙමු. එය දුටුමනින්ම මට පසක් වූයේ එය කිසිදු රුවක් නොව ස්වභාවිකව බෝ ගසේ මුල් කිහිපයක් එකට ඇඹරීමෙන් සෑදුනු රැක් කලාවක් බවයි. කෙසේ වුවද අප සමග ගිය උපාසකම්මලා එයට දොහොත් මුදුන් තබා වඳිමින් තමන්ගේ ප්‍රාර්ථනාවන් ඉටුවීමට බාරහාරද වූහ.

කලකට පෙර බුදුපිළිමවලින් බුදුරැස්‌ විහිදෙන බවටආරංචියක්‌ පැතිර ගියේය. අවසානයේ  රටේම ජනතාව බුදුපිළිම අසළට රැස්වී පිරිත් කියමින්, පහන් පූජා පවත්වමින් මේ අසිරිය බලන්නට එක්‌රොක්‌ වූහ. මමද ඒ කාලයේ විශ්වවිද්‍යාලයේ සේවය කරමින් සිටි කාලයයි. රාජකාරී අවසන්කර බෝඩිමට යාමට පාරට එන විට ආචාර්යවරයෙක් හමුවී කීවේ බුදු පිලිමවලින් රැස් විහිදෙන බවත් තමාද එවනි බුදු පිලිමයක් බලන්නට යන බවත් අවශ්‍ය නම් ඔහුත් සමග එය නැරඹීමට යාහැකි බවත්ය. යන අතරතුර මග දිගට බුදු පිළිම අසළ ජනතාව එක් රොක්වී සාදුකාර දෙමින් සිටිනු දැකිය හැකිවිය. එක් තැනක රථය නවතා අපද මෙම ආශ්චර්යය නැරඹිමට ගියෙමු. “අන්න අන්න රැස් විහිදෙනවා“ අයෙක් කියද්දී උපාසකම්මලාද බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔකඳ වී සාදුකාර දෙති. එදා රට පුරාම මෙම තත්වය දැකිය හැකි වූ බව වාර්තා විය.

දොලුකන්ද පැත්තේ චීවරධාරියෙකු වැව් පිටින් පිරිත් කරමින් ඒවා සියලු ලෙඩට දුකට පිහිට වන මහාර්ඝ පිරිත් ජලයයැයි කියමින් ජනතාවට පෙව්වේද මීට ටික කලකට පෙරය. “ඔන්න මහත්තයෝ මම මේ වැවත් පිරිත් කලා. දැන් මේ වතුරත් පිරිත් වතුර“ යැයි කියද්දී අපේ උපාසකම්මලාද වැවේ වතුර බෝතල් පිටින් පුරවා ගනිති.

මෑතකදී කේන්දරකාරයෙක් අසවල් දින කතරගම දේවාල භුමියේදී කතරගම දෙවියන් දර්ශනය වනබව පැවසීම නිසා මිනිසුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කතරගම ගියහ. එදා කතරගම පූජාවට්ටි වෙළෙන්ඳන්ට නම් සරු දිනයක් වන්නට ඇත.

මීට ටික කලකට පෙර රාවණාගේ කඩුවද, දඬුමොණරයද, දුටුගැමුණු රජතුමාගේ ඔටුන්න සහ මගුල් කඩුව සොයනා පිරිසක් සිටිනා බවත් විවිධ ආරංචි පැතිර ගියේය.

අප කුඩා කාලයේ ගම්වලද මෙවැනි සිදුවීම් කිහිපයක් වේදිකාස්ථම්භ වී පසුව ඇකී මැකී ගියේය. එසේ පැමිණි එක් ආරංචියක් වූයේ ලන්දේසීන් විසින් මෙරටට රැගෙන එන ලද වී.ඕ.සී. ලාංඡනය සහිත භාණ්ඩ එකතු කිරීමට වරායට නැවක් පැමිණ ඇති බවත් ගෙවල් ගානේ ගොස් වෙළෙඳුන් එම ලාංඡනය සහිත භාණ්ඩ මිලදී ගන්නා බවත්ය. එම නිසා වී.ඕ.සී. ලාංඡනය සහිත භාණ්ඩ එකල දැඩිලෙස පරිස්සම් කරනු ලැබුවේ කවුරැන් හෝ සොරකම් කර විකුණතැයි යන බිය නිසාය. මේ සිදුවීම අරභයා නිහාල් නෙල්සන් විසින් එකල ගීතයක්ද ගායනා කරනු ලැබීය. එහි පද දෙකක් වූයේ “වී.ඕ.සී  ගෙම්බා නැති වෙලා. මැෂිම අතුරැදන් වෙලා“ යනුවෙනි. “ඊයේ එහා ගම්වලට ඇවිල්ලලු. පෙරේදා අහවල් තැනට ආවා. මෙච්චර ගානකට මැෂිමක් ඉල්ලුවා. මෙච්චර ගාණකට පිඟන් ඉල්ලුවා“  වැනි ආරංචිද ඒවාට තටු ලැබී වඩාත් ඉහළින් පියඹා ගිය ආරංචිද එකල සුලභ විය. නමුත් වී.ඕ.සී. බඩු විකුණු කිසිවෙක් හෝ මිලදී ගත් කිසිවෙක් අපට එකලද හමුවූයේ නැත.


තවත් මේ ආකාරයට පැතිරී ගිය ආරංචියක් වූයේ කොළඹ වරායට නැවක් පැමිණ ඇති බවත් එම නැව පැමිණ ඇත්තේ කෙසෙල් කඳන් හා ගස්ලබු කඳන් මිලදී ගැනීමට බවත්ය. එම නිසා මේ දිනවල රටපුරා ගස්ලබු කඳන් හා කෙසෙල් කඳන් ඉතා ඉහළ මිල ගණන්වලට අළෙවි වන බව රාවයක් පැතිර ගියේය.  මෙම ආරංචිය පැමිණිමත් සමගම සමහර රාත්‍රීකාලවල ගෙවතුවල පැවති ගස්ලබු ගස් හා කෙසෙල් ගස් එක දෙක අතුරැදහන් වන්නට විය.

ඇන්ටනී මාමාගේ තාත්තා එකල ලක්ෂමන් වත්තේ මුරකරු විය. ඔහුටද මෙම ආරංචිය ලැබී තිබූ නිසා ඔහුද වත්තේ තිබූ ගස්ලබු ගස් හා කෙසෙල් ගස් ගැන විමසිල්ලෙන් පසුවිය. කොලොප්පමට බර අපේ ගමේ සිටි ගාණයියා මෙය හොඳ අවස්ථාවක් කරගත්තේය. හෙට හෝ අනිද්දා ගස් ලබු ගස් හා කෙසෙල් ගස් මිලදී ගැනීමට කණ්ඩායමක් පැමිණිය හැකි බැවින් වත්තේ ගස්ලබු හා කෙසෙල් ගස් පරිස්සම් කරගත යුතුබවට ගාණයියා ඇන්ටනී මාමාගේ තාත්තාට කියා තිබුණි.

එසේ කියා වැඩේ පත්තු කිරීමට තවත් කිහිප දෙනෙකු සමග රාත්‍රියේ කෙසෙල් හා ගස්ලබු ගස් කීපයක් හොරෙන් කැපීමට ගානයියා කටයුතු කලේය. දැන් නම් මේ ආකාරයට අනිත් ගස් ටිකත් හොරු කැපීම ෂුවර් නැත. ඒ නිසා මේ ගස් ටික කපා මුර මඩුව අවට තැනක ගොඩගැසිය යුතුයැයි සිතූ ඇනිටනී මාමාගේ තාත්තා ගස් ලබු හා කෙසෙල් ගස් විශාල ප්‍රමාණයක් කප්පවා මුර මඩුව අවට ගොඩගැස්සුවේ ගාණයියලාට සෑහෙන කුලියක්ද දීමෙන් අනතුරුවය.

පසුදින මෙයින් කොටසක් ගාණයියලාම වෙනත් තැනක සඟවා කවුරුන් හෝ මේවා සොරකම් කර ඇති බව ඇඟවීම නිසා එකම කාලගෝට්ටියකි. ඇන්ටනී මාමගේ තාත්තා පිස්සුවෙන් මෙන් ගස්ලබු ගස් ටික සොයයි. සෑහෙන වෙහෙසlska අනතුරුව ගාණයියා විසින්ම ඒවා සොයාගත් බැවින් තවත් කසිප්පු බෝතල් කිහිපයක් ලබාදී නැවතත් ඒවා පෙර තිබූ තැනම ගොඩගැස්සවීමට කටයුතු කරනු ලැබීය. දවස් දෙකක් පමණ ගතවිය. ඇන්ටනී මාමාගේ තාත්තා නිදිවරමින් ගස්ලබු හා කෙසෙල් කඳන් රකී. දිනක් ඇන්ටනී මාමා වත්තට පැමිණ බලනවිට ඉඩමේ තිබූ කෙසෙල් හා ගස්ලබු ගස් නැති බව දැනගෙන කුමක් සිදුවී දැයි අසනාවිට ඇන්ටනී මාමාට සියල්ල වැටහී ඇත. කරපු අසමජ්ජාති වැඩේට පාඩමක් ඉගැන්වීමට ඇන්ටනී මාමා ගානයියා සොයා දින ගණනාවක් නිවසට ගියද ඇන්ටනී මාමා එන සැමවිටකම මේකා මගඇර සිටීම නිසා අල්ලා ගත නොහැකිවිය. අවසානයේ ගස්ලබු ගස් හා කෙසෙල් කඳන් මිලදී ගන්නට පැමිණි කිසිවෙක් නොවූ අතර ඒවා කුණුවී ගොස් තිබුණි.

මෙවැනි ඔපාදූපවල සත්‍ය අසත්‍යතාව කුමක්වූවත් පසුකාලීනව දේශපාලන කටයුතු වල නියැලෙනවිට මට අවබෝධ වූ කරුණක් විය. එනම් සමාජයේ ගැටලුකාරී අවස්ථාවන් මතුවනවිට ඒවා පිළිබඳව එතරම් උනන්දුවක් ඇතිවීම වැලැක්වීම සඳහා සාමාන්‍ය ජනතාවට කුතුහලය දනවන මාතෘකා සැපයීමට රටකරවන ඇත්තන් නිතරම සූදානමින් සිටිනා බවයි. මේ සඳහා සමාජය හා මාධ්‍ය භාවිතය ගැන හසළ දැනුමක් ඇති උපදේශකයින් විසින් අවශ්‍ය මාතෘකා සම්පාදනය කර සිද්ධියක් දෙකක් නිර්මාණයවීමට ඉඩ හැර එය සමාජගත කරන බවයි. එවිට රටේ ජනතාවගේ අවධානය යොමුවන්නේ රටේ ප්‍රශ්න කෙරෙහි නොව මෙවැනි ගුජුප්සාජනක, ත්‍රාසජනක සිදුවීම් කෙරෙහිය. මෙවැනි සිදුවීම් නිර්මාණය මෙන්ම ආගමික නායකයින්, ආගමික වස්තූන් මෙරටට ගෙන්වා වන්දනාමානයට අවස්ථාව ලබාදීම මගින් සිදුකරන්නේද මෙයමය.


35 comments:

  1. දොලුකන්දේ හාමුදුරුවෝ නේද ඇඹිලිපිටියේ චන්ද්‍රිකා වැවේ වතුර පිරිත් කලේ විනාඩි තුනයි තත්පර ගානකින්

    ReplyDelete
    Replies
    1. වැව නම් මොකක්ද කියලා මතක නෑ. සිද්ධිය නම් මතකයි.

      Delete
  2. ග්‍රීස් යකා කතාව අවසාන වුණේ කහවත්ත කොටකෙතන මළගමක් කරල

    ReplyDelete
    Replies
    1. තේ වත්තකට රෙදි වෙළඳාමේ ගිය අසරණ රෙදි වෙලෙන්ඳො දෙන්නෙක් හෝ තුන්දෙනෙක් වත්තෙ කම්කරුවෝ ග්‍රීස් යක්කු කියලා රැවටිලා ගහලා මැරැවා නේද

      Delete
  3. ඔය අකුණු තැටි හොයන්නෙ මට හිතෙන විදියට ඔය වගේ වැඩකට නෙමෙයි. ඕව හදල තියෙන්නෙ හොඳම තත්වයේ තඹ වලින් නිසා මේ දවස්වල තඹ වලට තියෙන වටිනාකම නිසා වෙන්න ඇති.

    දොළුකන්දෙනං අපිත් ගියා. ෆුල් ආතල් එකේ වෑන් එකේ සෙට් එකත් හයියෙන් දාගෙන යනකොට වටේ පිටේ ඉන්න එවුවො කන්න වගේ බලාගෙන හිටියෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. නෑ බං තඹ වලට ලක්ෂ ගානක් දෙයිද. මේවා හෙව්වෙ ලක්ෂ ගණන් වලට ගන්නවා කියලා.

      Delete
  4. දේශපාලනයේ තිත්ත ඇත්ත......

    ReplyDelete
    Replies
    1. පියාඹන පීරිසි, හොල්මන් අවතාර, මැණික් වැහි, පොළව යටින් මතුවන උමං මේ වගේ දේවලුත් මේවාට අයිති වෙන්න පුලුවන්

      Delete
  5. http://chandimagomes.blogspot.com.au/2016/08/blog-post.html

    See this link.One of the expert in this field explains.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුමාර. මම මේ ලින්ක් එක දැන් බැලුවා. පහුගිය දවස්වල මේක ලොකු ආන්දෝලනයක් ඇති කරපු දෙයක්

      Delete
  6. ඇයි පැරණි කාසි එකතු කිරිමේ ජාවාරම.

    ReplyDelete
    Replies
    1. ඒක ගැන මම දැනගෙන හිටියේ නෑ. පොඩි විස්තරයක් කියන්න.

      Delete
  7. ජේසු පිළිමවල ඇණ ගහපු තැන්වලින් ලේ ගලනවා කියලත් විටින් විට මිනිස්සු කඩන් බිඳන් දුවනවා බලන්න.

    ReplyDelete
    Replies
    1. මේ වගේ සිදුවීම් හැමදේකම ඇත්ත හොයලා බැලුවොත් තියෙන්නේ එක්කෝ මිනිස්සුන්ගේ නොදැනුවත්කම. නැත්නම් කපටිකම.

      Delete
  8. අලුත්ම මගඩිය ආසිරි සෑර් කියලත් කියන්නේ ඔය කට්ටිය. අනේ මටනං උන්දැ දෙවි කෙනෙක් හා සමානයි..

    ඔය අකුණු තැටි කේස් එක මීට අවුරුදු එකහමාරකට විතර කලින් මටත් හොදටම වැදුන කේස් එකක්. මොකද අපේ ස්පොට් වල අවුරුදු තිහ හතලිහ පරණ අකුණු සන්නායක තියෙනවා. ඔතනදි මොකක්ද මන්දා සත්තියක් උපකරණයකට දාලා ඒකේ මෙගාබයිට් එකකට (හැක්) ලක්ෂ තිහක් දෙනවා කියලයි කිව්වේ.. අනේ මන්දා එහෙම හොරෙන් ගිහිල්ල බැලුවත් ඒවා අල්ලන්න හොද නෑලු. ඇල්ලුවත් සුරුස් ගාලා සත්තිය යනවලු.. අපේ යාලුවෙක් නං දවස් දෙකෙන් හයිබ්‍රිඩ් එකක් ගන්න හීනෙක මං මුලා වෙලා හිටියා කාලයක්.. පව් ඉතිං මොනා කරන්නද? උන්ට තේරුං කරන තරමක් අපතේ නේ..

    වීඕසී සීන් එකත් අපේ ආච්චිට උනා. ආච්චිගේ මැෂින් කෑල්ල රුපියල් දෙදහකට ඒ කාලේ කොල්ලෙක් ගත්තලු. අත් පිට ලාබයි නේ ආච්චිට. ඒ උනාට පස්සේ පස්සේ වීඕසී ආරංචි මාර්ග ඔස්සේ ඒක ලස්ස 2ක වික්ක කිව්ව දවසේ ඉදල ආච්චි දවසේ පැය විසි හතරම ඕකට හෙන ගහපං කියල කියලම ඇත්තටම ඌට හෙනයක් වැදිලා මලා.. හැක්..

    ඉස්සර මිනිස්සු ඉරට හදට ගහට කොලට ගලට වැන්දා නේ.. ඒවා මේ කාලේ තියෙන ආගම් වලට වදිනවාට වඩා හිතට සනීපයි කියල දැං හිතනෙවා.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. අපරාදෙ උඹට තිබුණෙ අර මැෂිම ගත්ත ඩෑල් එකට ලක්ෂ ගානකට අකුණු සන්නායකයක් විකුණන්න. හැක්..

      Delete
    2. ආසිරි කියන්නේ අර ෆෙන්ෂුයි වැඩසටහන් කරන කෙනාද? මම නම් ෆෙන්ෂුයි ගැන දන්නේ නෑ. හැබැයි ඕනම පුද්ගලයෙක්, ආයතනයක් එක ප්‍රතිපත්තියක, පිලිවෙලකට වැඩ කරනවානම් දියුණු වෙනවා. සමහරවිට විට ෆෙන්ෂුයිවල කරන්නෙත් ඒ ටිකම වෙන්න ඇති.

      Delete
  9. අපි තරම් ලණු ගිලින ජාතියක් නම් තවත් නැතුව ඇති :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ අර කවුද කිව්වෙ සිංහලයා මෝඩයා - කැවුම් කන්න යෝධයා කියලා

      Delete
  10. ඔය අකුණු සන්නායක නම් හොයන්නේ තඹ ටික ගන්න තමා!

    ReplyDelete
    Replies
    1. එච්චර තඹ ප්‍රමාණයක් ඒවායේ තියෙනවද?

      Delete
  11. කෞතුක භාණ්ඩ ගැන ටෙලිවිෂන් ෂෝ පවා තියෙනවා බීබීසී යේ.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ නම් තවම පෙන්නන්නේ පරණ කාර් ටිකක් විතරයි

      Delete
  12. උඹ ඔය දාල තියෙන්නේ voc ගෙම්බා මාර්ක් එක නෙමෙයි . ඔය සිංගර් ඇමරිකන් ස්ටැන්ඩ් එකක් හෝ එන්ගලන්තයේ හදපු එකක් . සම්පූර්න ස්ටැන්ඩ් එක පෙනුනනං කියන්න පුලුවන් ඇමරිකන්ද ඉන්ග්ලන්ඩ්ද කියල හරියට . දෙකම වටිනවා . ඩිසයින් කරල තියෙන්නේ සර් අයිසෙක් මෙරිට් සිංගර්මයි . ඔය ඉන්නේ ගෙම්බා නෙමෙයි . පරන රොකටි ෂටල් එකයි බොබින් එකයි ඉදිකටු දෙකයි . මා ලග තියනවා ඔය මෙෂින් එකක් ..ස්ටැන්ඩ් එක නං නැ . ඒක ඔය මොඩල් එකේ අත් මැසිමක්.ගොඩක් පොඩියි ඒවා සාමාන්‍ය කලුපාට ෂෙින් වලට වඩා

    ReplyDelete
    Replies
    1. ඕලන්ද මහන මෙෂින් එකේ ඇත්තටම ගේම්බෙක් ඉන්නවා විතරක් නෙමෙයි . මෙෂිමත් ගෙම්බා වාගේ . කොට කකුල් හතරක් උඩ ඉන්නවා වාගේ පෙනුම . ඒවාට ස්ටැන්ඩ් ආවේ නැ . එවා අත් මෙෂින්...........නැවට දුන්න එකෙකුත් නැ නැවට ගත්ත එකෙකුත් නැ ......නැවක් ආවාද කියලත් හරියට දන්නැ

      Delete
    2. මෙතනට ගිහිං බලහං මාලග තියන එක


      https://web.facebook.com/photo.php?fbid=1140747549345217&set=pcb.1140747606011878&type=3&theater

      Delete
    3. මෙන්න මේක නං හම්පඩ ගෙම්බෙක් . හැබැයි අර පට්ටම පරන මාකට් මොඩ්ල් එක නෙමෙයි . බේස් එකත් නැති දිරපු එකක්

      http://www.smartmarket.lk/colombo/electronics/cellphones-and-gadgets/voc-sewing-machine-for-sale-150239.html

      Delete
    4. අටමා කියන්නේ මැෂින් විශේෂඥයෙක් කියලා මට අමතක උනානේ. අපරාදේ ලියන්න කලින් පොඩ්ඩක් කතා කලා නම් මීට වඩා හොඳට ලියන්න තිබුණා. දැන් මොනා කරන්නනද

      Delete
    5. ඇත්ත තමයි ඕකා නොම්බර එකේ ගෙම්බෙක්.

      Delete
  13. පහුගිය කාලෙ ඔය වගේ ජාවාරම් ගොඩක් ආවා. හැබැයි ඒ අතරෙ වල්ලාපට්ට හොයන එක විතරක් ඇත්ත. අර 'පාර දිගේ' කියලා ආටිකල් එකක් මොකක්දෝ පත්තරේක තිබුනා. ඒක ඕවා ගැනම තමයි ලියවුණේ. අන්තිමට ජාවාරම් නැති වෙනකොට උං බොරුත් ලිව්වා.

    ReplyDelete
    Replies
    1. මේ වගේ දේවල් පිටිපස්සේ තව ජාවාරම් ගොඩක් සිද්ධ වෙනවා. මිනිස්සුන්ට සල්ලි තන්හාව ආවාම ඕනම දෙයක් කරලා ඉක්මනට සල්ලි හොයන්නනේ යන්නේ. ඒ වගේ මිනිස්සු මේවට ඉක්මනට අහු වෙනවා.

      Delete
  14. කොස් නම් මොනාද මල් මල්ලි මාත් මේ ආසිරි සෑර්ට මැසේජ් එකක් දාලා rp එනකම් ඉන්නේ.ආසිරි සෑර් මාව සල්ලි කාරයෙක් කරාම බොලාට ගොඩාක් රිදෙයි

    ReplyDelete
  15. කොස් නම් මොනාද මල් මල්ලි මාත් මේ ආසිරි සෑර්ට මැසේජ් එකක් දාලා rp එනකම් ඉන්නේ.ආසිරි සෑර් මාව සල්ලි කාරයෙක් කරාම බොලාට ගොඩාක් රිදෙයි

    ReplyDelete
    Replies
    1. අනේ වාසනාවන්. බොලා සල්ලිකාරයෙක් උනාම අපිටත් කීයක් හරි ඉල්ලගන්න පුලුවන්නේ. ආසිරි දෙයියාට ජයවේවා

      Delete