Tuesday, February 7, 2017

රාමෝජි සිනමා නගරය නැරඹීමට ගියෙමි.

මා මේවනවිට ඉන්දියාවට පය ගසා ඇති බව කලින් පෝස්ටුවෙන් කීවෙමි. එද්දී නම් සිතුවේ දේශනවලට සහභාගී හොඳ දරුවෙකු වශයෙන් ගිය වැඩේ හරියට කරගැනීමටය. නමුත් සතියක් ගතවෙද්දී ලෙක්චර් කට් කිරීම පිලිබඳව විශේෂ ප්‍රාගුන්‍යක් හිමිවීම නිසා අපිත් එක්ක ආපු එවුන් හවස්වරුවේ ඉන්නේ කාමරවලය. එසේත් නැතිනම් ලංකාවෙන් පැමිණි  අහිංසක අසරණ ගෑණු දැරිවියන්ට සාරි කඩ, සෙරෙප්පු කඩවලට පාර කියාදීමෙනි. නැත්නම් මෙහෙ ස්ටාෆ් එකේ කවුරුන් හෝ සෙට් කරගෙන ක්‍රිකට් ගසමින්ය. අපේ එවුවන් කවුරුවත් තවම ටෙම්පරි ලව්වලට සෙට් වී නැති නිසා සියලු දෙනාටම සෑහෙන විවේකයක් හිමිවීම හේතුකොටගෙන විෂය කටයුතුවලට වඩා විෂය බාහිර කටයුතුවල නිරතවීමට ඉඩ හසරපෑදී ඇත. නැතිනම් ගොනා සහ කරත්තය සේ යන යන තැන ටෙම්පරි කෑල්ල එල්ලාගෙන යාමට සිදුවනු ඇත.

ආයතනයෙන් අපිට ඇති ආදරේ නිසා හෝ මෙහෙන් දෙන කීයක් හරි මේ රටේදීම වියදම්කරවීමට හෝ සති අන්තයේ අපට විවිධ චාරිකා සංවිධානය කරනු ලබන්නේය. අපිත් ඉතින් ලාම්පු කණගාටුව පෙරදැරිව මේ චාරිකාවලට සහභාගී වන්නේ තවම මෙහාට කිරි කෝඩු නිසාය.  පස්සෙන් පහු ඕවාටද අපිම විකල්ප සොයාගන්නවා ඇත.

පසුගිය සති අන්තය යොදාගෙන තිබුනේ ලෝකයේ විශාලතම සිනමා උද්‍යානය වශයෙන් සැළකෙන රාමෝජි ෆිල්ම් සිටි නැරඹීමට යාමටය. ට්‍රිප් යාම අතින්නම් ලංකාවේ ඉන්දියාවේ කියා වෙනසක් දැකිය නොහැකිය. එසේ කීවේ අපිට පෙ.ව. 9.00 ට පිටත්වන බව කීවද 10 වනතුරුත් අපට බස්රථ තුළම සිටීමට සිදුවූ නිසාය. ගමන යාමට පටන්ගත් විගසම ලංකාවේ පුරුද්දට පිටුපස ආසනවලසිටි අපේ කොලු කෙල්ලියෝ ගීත ගායනය පටන්ගත් අතර මෙයට අප්‍රිකන් සහ බංගලාදේශ සාමාජිකයන්ද විටින්විට පැමිණ එකතුවී නුහුරු හඬින් සිංහල ගීත ගායනයට හවුල්වීම අපට සිනහව දනවන කරුණක් විය. කොල්ලන් නම් එහෙට මෙහෙට ඇඹරෙමින් සිටියේ අනුමැතියට කිසිවක් නොතිබූ නිසාය.

ලංකාවේ අපිට නම් සිනමා නගර යනු කුමක්දැයි නමටවත් දැනගැනීමට ලැබුනේ රන්මිණිතැන්න සිනමා ගම්මානය නිසාය. 2008 වසරේ විවෘත කරන ලද රන්මිණිතැන්නේ භූමි ප්‍රමාණය අක්කර 235 කි. මහා ලොකු අරවා මේවා නැතුවද උන්නා හැටියට මලා මදැයි කියන්නා සේ මේකවත් නමට හරි අපිට ලැබුනු එකවත් ලොකු දෙයක්ය.

ලෝකයේ මේ ආකාරයේ සිනමා නගර කිහිපයකි. චීනයේ හ්වොලිං, ඉතාලියේ සිනෙසිටා, ජර්මනියේ බාබෙල්ස්බර්ග්, නවසීලන්තයේ කෙලී පාර්ක් ෆිල්ම් විලේජ්  මේවා අතර වේ.

රාමෝජි සිනමා සිටි ගැන කියන විට ඉන්දියානු සිනමාව ගැන වචනයක් නොකිව්වොත් නිකන් කුච් කුච් හෝතාහේ වගේය. ලෝකයේ විශාලතම සිනමා කර්මාන්තයට හිමිකම් කියන රට වන්නේ ඉන්දියාවය. චීනය හා ඇමරිකාව ඉන්නේ ඉන්දියාවට පිටුපසිනි. මුල්ම ඉන්දියානු චිත්‍රපටය වන්නේ  1913 මැයි තුන් වැනි දින බොම්බායේ කොරනේෂන් සිනමාහලේ තිර ගත වූ රාජා හරිශ්චන්ද්‍ර චිත්‍රපටයයි. මේවන විට ඉන්දියාවේ වසරකට චිත්‍රපට 1000 ට වඩා නිෂ්පාදනය වේ. හින්දු, තෙළිඟු, දෙමළ, කන්නඩ, බෙංගාලි, මරාති, මලයාලම්, බොජ්පූර්, ගුජරාටි, පන්ජාබ්, ඇසෑම්, රාජස්ථාන්, ඉංග්‍රීසි වැනි භාෂාවලින් මේවා නිපදවේ. 2013 වසරවනවිට ඉන්දීය සිනමාවට සියවසක්  සපිරුනි. අමෙරිකානු ප්‍රධාන සිනමා සමාගම් වන යුනිවර්සල්, ෆොක්ස්, කලම්බියා, පැරමවුන්ට් ඉන්දියානු සිනමාවේ ආයෝජනය කිරීමෙන් ඉන්දීය සිනමාවේ ශක්ති සම්පන්භාවය සිතාගතහැකිය.

අපි මෙහෙ පැමිණි මුල් කාලයේ ජොලියට මෙන් චිත්තරපටියක් බැලීමට සිනමා ශාලාවක් සොයා ගියෙමු. ඒවායේ ටිකට් ඔන් ලයින් ක්‍රමයටද, එතනම ඇති ටිකට් මැෂින්වලින්ද ලබාගත හැකිය. ටිකට් කවුන්ටර් හරියට එයාර්පෝට් ටිකට් කවුන්ටර් වාගේය. කලින් ඇවිත් ටිකට් අරන් යන්නට එන්නේ බෙන්ස්, වෝල්වෝ, අවුඩි වලිනි. අපි නැරඹු සිනමා ශාලාව පිහිටි ගොඩනැගිල්ලේ සිනමාශාලා 4-5 තිබුණා වියයුතුය. චිත්‍රපට කිහිපයක්ම එකවර ප්‍රදර්ශනය කරන බව එහි සඳහන්ව තිබුණි. සිනමා ශාලාවේ පහසුකම්ද ඒ වගේමය. ඉන්දියාවේ චිත්‍රපටයක් බලන එකා තමන් වියදම් කල මුදලට අය්යෝ සල්ලි කියා සිතන්නේ නැතිබව නම් විශ්වාසය.

රාමෝජි සිනමා නගරය ආරම්භවී ඇත්තේ 1996 වසරේදීය.  ඒ තෙළිඟු චිත්‍රපට නිෂ්පාදකයෙකුවන රාමෝජි රාවෝ මහතාගේ සිතේ මැවුනු සංකල්පයකට අනුවය. මෙහි භූමි ප්‍රමාණය අක්කර 2000 පමණ වන්නේය. මෙය අංග සම්පූර්ණ සිනමා නගරයකි. අපේ රටේ චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ අයෙක් මෙතනට ගියේ නම් සිහිනයක අතරමං වූවා සේ දැනෙනු ඇත. වචනයේ පරිසමාප්ථාර්තයෙන්ම සිනමා කර්මාන්තයට අවශ්‍ය සියලු දේ මෙතන පවතින්නේය.

මෙහි සෑම තැනකම පාහේ දක්නට ඇත්තේ විවිධ උද්‍යානයන්ය. අප චිත්‍රපටවල දකින වීරයා  පෙම්වතියගේ අතින් අල්ලාගෙන මල් පඳුරැ වටා නටන්නේ මෙවැනි උද්‍යානවලය.  ලෝකයේ බොහෝ රටවල ස්වරෑපය විදහා දැක්වෙන දර්ශණ තල මෙහි නිර්මාණය කර ඇත. ජපානයේ ස්වරෑපය අවශ්‍ය නම් ජපානයේ ගෘහ නිර්මාණ සහ උද්‍යාන ඇතුලත් කොටසකි. ලන්ඩනය තවත් තැනකය. අති විශාල මනරම් දර්ශන තල, ජල තටාක, අවන්හල්, වීදි, වෙළඳ සංකීර්ණ, ගොඩනැගිලි, මංමාවත්කඩමණ්ඩි, රෝහල්, පාසැල්, පල්ලි, කෝවිල්, ගොවිපල, කුඹුරු, සිර ගෙවල්, පොලිසි, උසාවි, දුම්රිය ස්ථාන, ගුවන් තොටුපල වැනි චිත්‍රපට නිෂ්පාදනයට අවශ්‍ය සෑම සියලු රෑපතලයක්ම මෙහි නිර්මාණය කර ඇත්තේය.

ජපන් උයන
දේව මන්දිරය

දුම්රිය එන්නේ නැති දුම්රිය ස්ථානය 

ලන්ඩන් වීදියක්

ගුවන්යානා ආකෘතියක් 

රාමෝජි සිනමා නගරයෙහි ජාත්‍යන්තර චිත්‍රපට 20 ක්‌ පමණ සහ ඉන්දියානු චිත්‍රපට 40 ක්‌ පමණ එකවර නිෂ්පාදනය කිරීමේ සෑම පහසුකමක්ම සහිතය. චිත්‍රපට නිෂ්පාදනයට අවශ්‍ය ඕනෑම දර්ශන තලයක් දින කිහිපයකින් මෙහි නිර්මාණය කිරීමට පහසුකම් ඇත්තේය. එසේම රෑගතකිරීම්වලට එන  එන නළු නිළියන්ට අවශ්‍ය සෑම පහසුකමක් මෙන්ම කැමරා ආම්පන්න උපකරණ ලබා දීමේ පහසුකම් ද, චිත්‍රපට සංස්කරණයේදී අවශ්‍ය ශබ්ධාගාර වැනි  එකී මෙකී නොකී සියලු පහසුකම් වලින් රාමෝජි සිනමා නගරය පරිපූර්ණ වන්නේය. ඇත්තෙන්ම තිර පිටපත සහිතව මෙතනට එන සිනමාකරුවෙකුට චිත්‍රපටයේ සැලෝලයිඩ් පිටපත සහිතව එයින් පිටවිය හැකි බව නම් විශ්වාසය.  

අපේ මග පෙන්වන්නා අපට චෙන්නායි එක්ස්ප්‍රස් රෑගතකළ ස්ථානයන්ද, රාවන් චිත්‍රපටය රෑගතකළ ස්ථානයන්ද විස්තර කරයි. මෙහි ඇති සුන්දරත්වයෙන් වශීවී සිටිනා අපට ඒ කථාව ඇසෙන්නේ ඉඳහිටය.

මෙහි සංචාරය කල අපට අපූරු අත්දැකීම් දෙකකට මුහුණදීමට හැකිවිය. ඒ අපිත් සමගම මේ චාරිකාවට සහභාගී වූ දෙදෙනෙක් තෝරාගෙන ඒ අයව ජවනිකාවක  නලුවා සහ නිලිය බවට පත් කර චිත්‍රපටයකට ශබ්ධය නිර්මාණය කිරීමගැන පොඩි පාඩමක් කියාදීමය. මේකට භාවිතා කලේ අපි හිතන්නෙවත් නැති පොල් කටු, වැලි, ලී කෑලි වගේ දේවල්.

රාමෝජි සිනමා නගරයේදී විඳි අපූර්වතම අත්දැකීම වූයේ ත්‍රිමාණ චිත්‍රපටයක් නැරඹීමට ලැබුනු අවස්ථාව. මෙය හඳුන්වන්නේ ස්පේස් යාත්‍රා යනුවෙනි. එය අභ්‍යාවකාශ දර්ශනයකි. එය අමුතුම අත්දැකීමක් වූයේ අපද ඒ චිත්‍රපටයේම කොටස් බවට පත් වූවා සේ හැඟීමක් ඇති වූ නිසාය. කොටින්ම අපද අභ්‍යාවකාශයට ගියා වැනිය. වැස්ස, හුලඟ, ලේසර් ප්‍රහාර වැනි දේවල්වලට ඇත්තටම වගේ මුහුණ දෙන්නට මෙහිදී සිදුවිය. මේ අත්දැකීමට මුහුණදුන් සියලු දෙනාම  කෑගහන්නේ, හිනාවෙන්නේ හූ කියන්නේ මෙම අත්දැකීම ඒ තරම්ම ප්‍රබල වූ නිසාය.  

සිනමා නගරයක් උනාට යන ඕනෑම කෙනෙකුට බලන්න හිතෙන දේවල් අඩුවක් නැතිව රාමෝජි සිනමා නගරය පුරාම පවතින්නේය. කුඩා දරුවන්ට විසිතුරැ ළමා උයනක්, සමනල උයන, මල් උයන්, කුරුලු උයන වගේම විනෝද ක්‍රීඩා, සාප්පු සංකීර්ණ, සනීපාරක්ෂක පහසුකම් මේ සියල්ලෙන් රාමෝජි සිනමා නගරය පරිපූර්ණය. එසේම බැංකු පහසුකම්, ඒ.ටී.එම් යන්ත්‍ර, තැපැල් කාර්යාල පහසුකම්, අවන්හල්, චේන්ජින් රූම්, බේබි ෆීඩින් රෑම්, ප්‍රථමාධාර පහසුකම්, ආබාධිතයන් සඳහා පහසුකම්, රෙස්ට් රූම් වැනි සියලු පහසුකම් මෙහා පවතී. අවශ්‍යනම් පාද සම්බාහනය කරගැනීමට පවා (ලෙග් මසාජ්) මෙහි පහසුකම් සලසා ඇත.  එසේම විනෝද ක්‍රීඩා, මැජික් සංදර්ශණ වැනිදේද මෙහි පවතින්නේය. දේශගුණය තරමක් කර්කෂ උවද බලන, දකින දේ නිසා කර්කෂභාවය ගැන වගේ වගක් නොදැනේ.




අපට පුද්ගලික වාහනවලින් රාමෝජි සිනමා නගරයේ සැරිසැරීමට නොහැකිය.  ඒ සඳහා විශේෂිත බස් රථ යොදවා ඇත. සිනමා නගරයට ඇතුලත් කරගන්නේ දැඩි පරීක්ෂාවකින් අනතුරුවය. වතුර බෝතල් ගෙනයාමට අවසර දුන්නද ආහාර නම් ඇතුළට ගෙනයාම තහනම්ය. ඇතුළත ඇති කඩ සාප්පුවල බඩු භාණ්ඩ තරමක් මිල අධික බව වැටහුනද අපට කිසිවක් මිලදී ගන්න අවශ්‍ය උනේ නැති නිසා එය අපට ප්‍රශ්නයක් උනේ නැතිය.
රාමෝජි බස්

මෙහි සමහර උද්‍යාන ප්‍රියසම්භාෂණ  සඳහා කුලියට ලබාදෙනමුත් ඒවායේ අයකිරිම් ඉහලය. අප එහි සංචාරය කරනවිටද සවස්වරුවේ පැවැත්වෙන එබඳු සාදයකට එක් උද්‍යානයක් සූදානම් කරමින් පැවතුනි.
සාදයකට සූදානම් කරමින් ඇති උද්‍යානයක්


වසරකට මෙය නැරඹිමට එන පිරිස දශ ලක්ෂයකට වැඩිය.  ඇතුලත්වීමේ ගාස්තුව ඉන්දියානු රැපියල් 1000 කි. අපේ ගණනින් නම් රැපියල් 2200 ක් පමණ වේ. අවුරුදු 3-12 අතර දරුවන්ට නම් රැපියල් 900 කි.

රාමෝජි සිනමා සිටි ගැන කියනවිට ඒ ගැන කියන කටකථාවක්ද නොකියා සිටියොත් හොඳ නැතිය. ඒ මෙහි පවතිනවායැයි කියන හොල්මන් අවතාර ගැනය. මෙම හොල්මන් අවතාර නිසා බියට පත් නලු නිලියන් බොහොමයක් සිටිනාබව කියවේ. මෙම අවතාර ආකර්ෂණය වන්නේ වැඩිපුර නිලියන්ටලු. මෙහි සත්‍ය අසත්‍යතාව මා හරිහැටි දන්නේ නැතද ඕපයක් හැටියට මේ බවත් කිව්වේ අන්තිමට මේක කිව්වේ නෑ කියන කථාව අසා නොගන්නටය.


රාමෝජි ෆිල්ම් සිටි සිනමා නගරයට අමතරව මුම්බායිඑම්. ජී. ආර්., හොයිඩා  වැනි දැවැන්ත ෆිල්ම් සිටි නොහොත් සිනමා නගර ඉන්දියාවේ ‌ ඉදිකර තිබේ. මේ සියල්ලෙන් කියවෙන්නේ ඉන්දීය සිනමාවේ ප්‍රතාපවත් බවත්, ශක්තිමත්භාවයත්ය. ඔබද යම් දිනක ඉන්දියාවේ හයිද්‍රාබාද් වෙත පැමිනියහොත් රාමෝජි සිනමා නගරය නැරඹිය යුත්තේ සමහරවිට මෙවැනි අත්දැකීමක් විඳීමට හැකිවන්නේ ජීවිතයටම එක්වරක් පමණක්වීමට ඉඩ ඇති නිසාය. 

39 comments:

  1. ඉන්දියාව දියුණු රටක් වගේ පේනවා

    ReplyDelete
    Replies
    1. සමහර පැතිවලින් අපිට වඩා ගොඩක් ඉදිරියෙන්.

      Delete
  2. දිව්‍යලෝකේ අපාය දෙකම එකම තැන තියෙන රට නේ...

    ReplyDelete
    Replies
    1. අපි ඉන්න පැත්ත මේ දෙකටම අතරමැද පලාතක්

      Delete
    2. කියලා වැඩක් නෑ නාඩියා. මගේ ඉන්දියානු සංචාරක සටහන් වලත් මම මේක කියලා තියෙනවා. අපේ ක්‍රෙස්කැට් වගේ තියෙන පයිනියර් කියන මෝල් එක එළිපත්තේ, රෙදිවල් බැඳගෙන, බාල්දි වලින් වතුර නාන, හිඟන්නෝ ඉන්න රටක්.

      Delete
  3. /* 2013 වසරේ ඉන්දීය සිනමාව සිය ස්වර්ණ ජයන්තිය සමරනු ලැබීය */

    ස්වර්ණ ජයන්තිය යනු වසර පනහේ සැමරුමයි. සීයේ සැමරුමට ශතක ජයන්තිය කිව හැක. ඉංග්ලිෂ් යෙදුම නම්, ප්ලැටිනම් ය.

    ReplyDelete
    Replies
    1. මේක කිව්වට ස්තුතියි. මම චෙක් කරන්නම්

      Delete
    2. රසික කිව්ව එක හැදුවා. වැරැද්ද පෙන්වා දුන්නාට බෙහෙවින් ස්තුතියි.

      Delete
  4. හිතුවට වඩා පිරිසිදු පාටයි නේ ඉන්දියාව හිටන්!

    ReplyDelete
    Replies
    1. රාමෝජි ෆිල්ම් සිටි එකනම් එකෙන්ම පිරිසිදුයි. කෙලින්ම ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩ්. අනිත් දේවල් ගැනනම් දැන්මම ලියන්න බෑ හිටන්. ඒවා ආපුහාම ලියමු.

      Delete
  5. කාලෙකින් ආවේ, තවත් විස්තර ලියන්න...

    ReplyDelete
    Replies
    1. දැන් ඊලඟ එක ලියන්න වෙන්නේ සෙණසුරාදා. විශේෂ හැමදේම ලියනවා ලලිත්.

      Delete
  6. මල් මලයා ආතල් එක උපරිමයෙන් ගැනීම අපගේ සතුටට ම හේතුවක් වන්නේ ඒ අත්දැකීම් අපත් සමඟම බෙදාගන්නා දයාභරිතබව නිසාම වේ..

    (දැං මුරුංග අත්තටම වෙලා තව පෝස්ට් එකක් ලියපං හොඳේ)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ආතල් එක උපරිමයෙන් ගැනීමත්, බෙදාගත යුතු දේ බෙදාගැනීමත්ම, බදාගත යුතු බදාගැනීමත් මලයාගේ සිරිතය. මුරුංගා අත්තට නැග්ගොත් වැටී කොන්ද කැඩෙන බව දන්නා නිසා බිම ඉඳගෙනම ඊලඟ පෝ්ස්ටුවද ලියන්නෙමි. උඹටත් ජයෙන් ජයම වේවා

      Delete
  7. කුරහන්ටත් චිතරපටියක පේමවන්තයා ගේ කැරැට්ටුවකට සැට් වෙන්න අවස්ථාව ලැබේවා.....
    ටිකට් එකේ ගාන අනුවනම් ඔකේ ෆිල්ම් නැතත් ෆුල් ලාභයක් තියෙන ප්ලේස් එකක් වගේ.

    ReplyDelete
    Replies
    1. මේක මේන්ටේන් කරන්නත් ස්වල්ප වියදමක් යනවා කියලා හිතන්න අමාරුයි. කොලිටියට පිරිසිදුවට තියෙනවා. අක්කර 2000 ක් ස්ටාෆ් එක, බිල්ඩින් මේන්ටේන් ලේසිද. ප්‍රේමවන්තයාගේ චරිතය නම් මෙහෙදි නැතුවට කමක් නෑ බං.

      Delete
  8. මේක වටිනා ලිපියක් කුරහන්.

    ජයවේවා!!!

    ReplyDelete
  9. මේක කුරහන්ට ලැබුනු හොඳ අවස්තාවක්. මමත් හරිම උවමනාවෙන් ඉන්නේ සිනමා ගම්මානයක් බලන්න යන්න.

    ReplyDelete
    Replies
    1. බලනවානම් මේක හොඳයි අරුණ. හැබැයි එක දවසින් බලන්න නම් අමාරුයි

      Delete
  10. පින්තුරු හිටං වටිනවා.. ජය

    ReplyDelete
    Replies
    1. තව තිබුණා. පෝස්ටුව දිගවැඩි වෙයි කියලා හිතලා දැම්මේ නෑ

      Delete
  11. මට නම් මුන්ගේ 99% ක් චිත්‍රපටි දිරවන්නෙම නෑ බං මලේ ...

    චිත්‍රපටි කියන්නේ ඕනෑම ගොබ්බ අදහසක් සුපිරි විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් මාධ්‍යයක් ...

    නමුත් අල්ලපු රටේ හාදයො ඒක පාවිච්චි කරන්නේ හොලිවුඩ් වලින් කොපි කරලා අරගන්න ගොබ්බ අදහස් තවත් ගොබ්බ විදිහට ඉදිරිපත් කරන්නයි ... මල් ගස් වටේ දුවන්නයි.

    නෙදකින් !!!

    ReplyDelete
    Replies
    1. මටත් හින්දි චිත්‍රපටි දිරවන්නේ නෑ. අපිට කොච්චර දිරෙව්වෙ නැතත් මෙහෙ උන් ෆිල්ම් බලන්නේ බඩගින්නට බත් කනවා වගේ.

      Delete
  12. උඹ තව ගොඩක් කල් හයිද්‍රාබාද් වල ඉන්නවද.

    ReplyDelete
  13. කුරහන් මල්ලි - බොහොම සාරගර්භ ලිපියක්. එහේ ගීයොත් අපේ සමහර මවාගත් 'නළු නිලියන්ට' නම් හොල්මන් අවතාර හොඳට පෙනේවි.

    ReplyDelete
    Replies
    1. අපේ අය ගියොත් නම් මේවා දැකලා හොල්මන් වෙයි තමයි. ඒ තරම් ලස්සනයි.

      Delete
  14. ඇත්තටම පත්තර වාර්තාවක මට්ටමේ ලිපියක්. මගේත් එක විනෝදාංශයක් තමයි සංචාරය සහ සටහන් තැබීම. සම්පූර්ණ විස්තරය කියවන්න බලාගෙන ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. මම තවත් විස්තර ලියන්නම් දිල්රුක්. අපිට සති 2 ක ට්‍රිප් එකක් තියෙනවා. ඒකෙන් හුඟක් දේවල් ලියන්න පුලුවන්

      Delete
  15. අපිට දඹදිව බලාගන්න ඉඩ සැලැස්සුවට මල්මල්ලි අයියට පිං.. (මෙන්න මල් මාලේ)

    ReplyDelete
    Replies
    1. මල් කියන්නෙ තනමල්විල ඒව ද බං.

      Delete
    2. මල් මාලයක් තියා මලක් දැකපු කාලයක් මතක නෑ බං. තව ට්‍රිප් වගයක් යනවා. එතකොට තව විස්තරයක් දාන්නම්

      Delete
  16. හැක්.. හැක්.. ඔන්න දඹදිව යනවනං බලන්න වටින තැං. මේ විස්තරේ අපට පෙන්නුවට බොලාට बहुत बहुत धन्यवाद

    ReplyDelete
    Replies
    1. අදත් අපේ උන් කොහෙද ගියා. මම කාමරේට වෙලා බ්ලොග් එකට ඇඩ් කොරන්ඩ මොනා මොනා හරි ටයිප් කරනවා.

      Delete