Thursday, June 23, 2016

ඇන්දවීම සහ ඇඳගැනීම

ඇන්දවීම කාලය, දීපය, දේශය අනුව වෙනස් ස්වරෑප ගත්තද එහි මූලික සිද්ධාන්තයන්ගේ මහ ලොකු වෙනසක් දක්නට ලැබෙන්නේ නැත. ලණුදීම, රැවැට්ටවීම, ඇඹරීම, ගුලියක්දීම වැනි වදන් මේ සඳහා භාවිතා වේ. තවත් විටක නයි ඇරීම, නයි පිඹීම වැනි වචනද ඇන්දවීමට ආසන්න තේරැම් දෙන වචන වශයෙන් භාවිතා වේ. අද කාලයේ නම් ඇන්දවීමට සමර්ථකම්පාන දක්ෂයින් හඳුන්වන්නේ ටේලර්වරැන් වශයෙනි. තමන්ට අවශ්‍ය පුද්ගලයාට අවශ්‍ය මිම්මට රෙද්ද කපා, මසා ඇඟටම හරියන ආකාරයට ඇන්දවීමට මේ ටේලර්වරැන් ඉතා දක්ෂය.

අතීතයේ විසූ රාජ්‍ය පාලකයින් ඇන්දවීමද ඇඳගැනීමද විවිධාකාරයෙන් සිදුකර සහ සිදුකරගෙන ඇත. සීතාම්බර පට අන්දවා රජුව මුලා කල ඇමතිවරැන් ගැන ඉතිහාසයේ කියවේ. අන්තිමට රජතුමා ඒ ඇන්දිල්ලෙන් බේරැනේ පොඩි කොලුවෙක් අන්න රජතුමා හෙලුවෙන් යනවෝ කියා කෑ ගැසීම නිසාය. වරක් දේවදත්ත තෙරනුවෝ තමන්ගේ ලෞකික සෘද්ධ බලයෙන් සර්ප වෙස් මවා පෙන්වා අජාසත්ත රජුව අන්දවාගෙන ලාභ සත්කාර ලැබීය. ඒ ඇන්දිල්ල නතර වූයේ අජාසත්ත රජු තම පියා වූ බිම්බිසිර රජුව මරා පංචානන්තරීය පාප කර්මය සිදුකරගැනීමෙන් අනතුරැවය.


සිංහල රාජවංශයේද ඇන්ඳවීම් මෙන්ම ඇඳගැනීම්ද අඩු නැතිව පවතී. විජය ලංකාවට පැමිණ කුවේණියව අන්දවා ඇයගේ නෑදෑයින් මරා රජකම ලබාගත්තේය. ඇයට විජය තමා ඇන්ඳවූ බව වැටහුනේ අගබිසව ලෙස දඹදිවින් කුමරියක් ගෙන ආ විටය. පඬුවස්දෙව් රජුගේ දියණිය චිත්‍රා කුමරියට උපදින දරැවෙකු සියලු මාමාවරැන් මරා රජවන බැව් දෛවඥයින් අනාවැකි කී නිසා ඇයව එක්ටැම් ගෙයක සිරකර තැබීය. නමුත් දීඝ ගාමිණී කුමාරයාත්, චිත්තරාජත්, කාලවේලත් එක්ව චිත්‍රා කුමරියත් ඇයගේ නෑදෑ සනුහරයත් අන්දවා ඇයට දරැවෙකු ලබදීමට සමත් විය. අවසානයේ දෛවඥයින් කී ලෙසටම චිත්‍රා කුමරියගේ සහෝදරයින්ට ඝාතනයවීමට සිදුවූයේ පණ්ඩුකාභය කුමරැ අතිනි.

අනුලා බිසව වරින්වර වල්ලලභයින් තිස් දෙනෙකු පමණ අන්දවා සිය වසඟයට ගෙන ඝාතනය කරවීය. අවසානයේ ඇයද ඝාතනය විය. සුභ සහ යස කථාව නිර්මාණය වන්නේ රජුගේ ඇඳුම් දොරටුපාලයාට අන්දවා තමන්ගේ මැති ඇමතීන් ඇන්ඳවීමෙන් සිඟිති ආතල් එකක් ගැනීමට ගිය රජ කෙනෙකු නිසාය. අන්තිමේදී සිඟිති ආතල් ගොන් ආතල් වී රජාට රජකම පමණක් නොව තම හිසද අහිමිවිය. ඇන්දවීමේ හැටි එහෙමය. හරියට ඇන්දෙව්වොත් බෙල්ලට රත්තරන්ය. නැත්නම් බෙල්ලට කඩු පාරය.


යුද්ධයේදී ඇන්ඳවීම්
අද මෙන්ම එදාද යුද්ධ උපක්‍රම භාවිතයෙන් සතුරා නොමග යැවීම් සිදුකර ඇත. ලංකා ඉතිහාසයේ සඳහන් ප්‍රධාන යුද්ධයක් වන්නේ එළාර දුටුගැමුණු යුද්ධයයි. මෙම යුද්ධය වසර තුනක් පැවතී ඇති අතර අවසන් කාලයවන විට යුද්ධය අනුරාධපුරයට ආසන්නව පැවතී ඇත. මෙහිදී එක් උපක්‍රමයක් වශයෙන් බලකොටු 31 ක් තුළ දුටුගැමුණු රජතුමාගේ දැවමය පිළිම තැන්පත් කර තිබී ඇත. දුටුගැමුණු රජතුමා ආරක්ෂකයින් සමග රැඳී සිට ඇත්තේ 32 වන බලකොටුවේය. එළාර රජුගේ දීඝ ඡන්තු නම් සෙනෙවියා දුටුගැමුණු රජතුමා මරා දමමි යැයි කියා බල කොටුවෙන් බල කොටුවට පනිමින් දැවමුවා පිළිම විනාශ කරමින් පැමිණ ඇත. අවසානයේ දැව පිළිම විනාශ කිරීමෙන් දැඩි වෙහෙසට පත්ව සිටි දීඝ ඡන්තු සෙනෙවියාව ඉතා පහසුවෙන් පරාජය කිරීමට දුටුගැමුණු රජතුමාගේ යෝධයෙකු වූ සුරණිමලට හැකිවී ඇත.

රාජා හෝ, ගංගා හෝ, මා හෝ
මායාදුන්නේ රජුගේ පුත් ටිකිරි කුමරැ මායාදුන්නේ රජු මරා පලවන සීතාවක රdජසිංහ නමින් රජවිය. පීතෘ ඝාතනය පංචානන්තරීය පාපකර්මයක් බවත් මෙයින් මිදිය නොහැකි බවත් භික්ෂූන්වහන්සේලා දේශනා කිරීම නිසා රාජසිංහ රජු භික්ෂූන් කෙරෙහිත් බුද්ධ ශාසනය කෙරෙහිත් වෛර බැඳගත්තේය. මේ බව දැනගත් අරිට්ඨකී වෙණ්ඩු නම් බමුණා පීතෘ ඝාතන අකුසලයෙන් මිදීමටත්, රජුට පවතින අපල දුරැ කිරීමටත් තමන්ට හැකි බව පවසා ඒ සඳහා සීතාවක ගඟ මැද කෝවිලක් කරවා මහා යාගයක් පැවැත්විය යුතු බව ප්‍රකාශ කලේය. රජු මෙයට කැමති වී කෝවිල ඉදිකිරීම ආරම්භ කරනු ලැබීය. මෙයින් සිදුවන හානිය නිසා භික්ෂූන් සහ සාමාන්‍ය ජනතාව මෙයට විරැද්ධවී ඇත. යාගය වැරදී ගියහොත් රජුගේ ජීවිතය අනතුරේය. එවිට අරිට්ඨකී වෙණ්ඩුගේ ජීවිතයද අනතුරේය. යාගය සිදුකලහොත් යාගයට ඝාතනය වන සතුන් නිසා ගඟ අපවිත්‍ර වේ. මේ නිසා යාගය ගැන විමසූ විට අරිට්ඨ කී වෙණ්ඩු ප්‍රකාශ කර ඇත්තේ රාජ හෝ, ගංගා හෝ, මා හෝ යනුවෙනි. එනම් එක්කෝ රජු, නැත්නම් ගඟ, නැත්නම් මම යනුවෙනි. කෙසේ වෙතත් සීතාවක බැරැන්ඩි කෝවිල සාදා නිමවෙන්නට පෙර රජු මියගිය නිසා යාගය නොපවැත්විනි.

පරංගියා ඇන්දවීම
පරංගීන් හෙවත් පෘතුගීසීන් ලංකාවට ගොඩබැස්සේ අහම්බෙනි. ඒ කුණාටුවකට හසුවීම නිසා ගාල්ලටය. දෙවනවර කොළඹ වරායට පැමිණි පෘතුගීසීන්ට කොළඹ වරායේ නවතා තිබූ අරාබි නැව් සමුහයක් දක්නට ලැබුණි. මෙයින් මෙරට පැවති විදේශ වෙළඳාම පිළිබඳව යම් අවබෝධයක් ලබාගත් පෘතුගීසීන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇතිකරගැනීමට රජතුමා හමුවීම යෙහෙකැයි සිතා එවකට කෝට්ටේ රජතුමා හමුවට තමන් කැඳවාගෙන යන ලෙස සිංහලයන්ගෙන් ඉල්ලා  ඇත. මෙහිදී සිංහලයන් කර ඇත්තේ කොළඹ සිට වරැවකින් යා හැකිව තිබූ කෝට්ටේට දින ගණනාවක් වටේ මාර්ග භාවිතා කරමින් පෘතුගීසීන් රැගෙන යාමයි. මේ සඳහා දින තුනක් ගතකර ඇති බව ජනප්‍රවාදයේ සඳහන්ය. මේ අතරතුර කෝට්ටෙ රජතුමා රාජධානියේ ආරක්ෂාව තහවුරැ කරගෙන ඇත. කොළඹ හා කෝට්ටෙ එකිනෙකට සමීපව පිහිටි නගර නොවන බව ඇඟවීමට මෙම උපක්‍රමය භාවිතා කර ඇත.

ගෙරි හමින් ඇන්ඳවීම
සිංහලයන් පෘතුගීසීන් ඇන්ඳවූ ආකාරයෙන්ම පෘතුගීසීන් විසින්ද සිංහලයන්ව මදි නොකියන්න ඇන්ඳවූ බව පසක් වන්නේ කොළඹ කොටුව ඉදිකළ ආකාරය දෙස බලනවිටය. කොළඹ කොටුව ඉදිකිරීමට අවසර ඉල්ලන්නේ අමුතුම ක්‍රමයකටය. ඒ තමන්ට ගෙරි හමක හෙවත් හරක් හමක ප්‍රමාණයක ලබාදෙන ලෙසයි. හරක් හමක හතර පස් දෙනෙකුට හිටගෙන සිටීමටවත් නොහැකියැයි සිතනා රජ ඊට අවසර දෙයි. පෘතුගීසීන් කරන්නේ හරක් හම කුඩා තීරැවලට ඉරා එම තීරැ බිම දිගේ යාකර එම ප්‍රමාණයට විශාල ඉඩම් ප්‍රමාණයක් කොටුකරගැනීමයි. ඉන් අනතුරැව කාලතුවක්කු, මුර අට්ටාල, දිය අගල් හා තාප්ප වලින් සමන්විතව නැව් පවා නැවැත්විය ආකාරයෙන් ඉතා ශක්ති සම්පන්න බලකොටුවක් වශයෙන් කොළඹ කොටුව ඉදිකර ඇත. සිංහලයන්ට පසුව ඉඟුරැ දී මිරිස් ගන්නට සිදුවූයේ ගෙරි හමක් නිසා ඇඳගත් ඇඳ ගැනිල්ලට පින්සිදු වන්නටය.

යටත් විජිත කාලය පුරාම පෘතුගීසි ලන්දේසි සහ ඉංග්‍රීසීන් අප රටේ නායකයින්ද, මහජනතාවද මදි නොකියන්න ඇන්දවූහ. විවිධ නම්බුනාම, දේපොල සහ තනතුරැ ප්‍රදානය කරමින් මේ ඇන්දිල්ල ජයටම කරගෙන තරම් ඔවුහු සටකපට වූහ. උඩරට පහත රට වශයෙන්ද, සිංහල, දමිළ, මුස්ලිම් වශයෙන්ද භූගෝලීය සහ ජාතීන් අනුව බෙදා අපව ඇන්දවීමට ඔවුහු සමත්වූහ. ඒ අන්දපු ඇන්දිල්ල කොතරම්ද යත් අදටත් අප බොහෝ දෙනෙක් ඇඳගෙන සිටින්නුයේ එදා අපට ඇන්ඳවූ ඇඳුම්ය.

රජ ගෙදර සිටි ඇන්ඳවීමට සමත් විශේෂඥ ටේලර් වූයේ අන්දරේය. අන්දරේ මාලිගාවේ සේවකයින්, මැති ඇමතිවරැන් පමණක් නොව රජතුමා සහ රජ බිසවද විවිධාකාරයෙන් ඇන්දවීමට සමත්විය. නමුත් ඒ ඇන්ඳිලිවලට රජතුමා කේන්ති නොගත්තේ රජගෙදර කවටයාගේ ඇන්දිලි කවටකමින් එහාට නොගිය නිසාය. සුදු හකුරැ සාදන අයුරැ කියා අන්දරේ රජතුමා ඇන්දවූ ආකාරය ගැනද ජන කථාවහි සඳහන්ය. කියනකොට එහෙමයි. කරන කොට මෙහෙමයි එහිදී රජතුමාට ලැබුණු පිළිතුර විය.

කේට්ට අන්දරය
උම්මග්ග ජාතකයේ එන කේවට්ටයාගේ ඇන්දවීමට හසුවූ බ්‍රහ්මදත්ත රජු දඹදිව සියලු රාජ්‍ය යටත්කරගැනීමට යුද්ධ කළේය. අවසානයේ මහඖෂධ පඬිවරයාගේ උපායන්ට හසුවී උතුරැ සලුවද අතහැර පැරදී පලායාමට සිදුවිය. බ්‍රහ්මදත්ත රජු පළමුව කේවට්ටයාටද, අනතුරැව මහඖෂධ පණ්ඩිතයාගේ චරපුරැෂයෙකු වූ අනුකේවට්ටයාගේ ඇන්දවීමටද හසුවිය. අදද කේවට්ට, අනුකේවට්ට චරිත සියලු දේශපාලන නායකයින් අසල නිතර දැවටෙමින් නායකයින් විනාශ මුඛයට දක්කන අයුරැ පිටත සිට බලන්නෙකුට දක්නට ලැබේ.

වෙන කාගෙද ඉතින්
අද මෙන් තමන්ගේ සහකරැ හඳුනාගැනීමට අවස්ථාවක් නොතිබූ අතීතයේ දෙදෙ‍නෙක් මුණගැස්සවූ ප්‍රධාන මෙහෙයම්කරැ වූයේ මගුල් කපුවාය. මේ සඳහා මගුල් කපුවාට යම් ගතමනාවක් ලැබෙන අතර මෙම ගතමනාව ලබාගැනීමට මගුල කෙසේ හෝ ජෝඩු කිරීමට උත්සාහ කරනුයේ පිටකොටුවේ පේමන්ට් වෙළෙන්ඳෙකුට ගණුදෙනුකරැවෙක් ලැබුනු විලසිනි. මේ නිසා ජෝඩුව කූඩු කිරීමට කපුවන් නොකියනා බොරැවක් නැත. සමාජ තත්ත්වය, තත්ත්වය, නම්බුව, දේපල, රැකියා, පවුල් පසුබිම වැනි දේ පිළිබඳව මුචලින්ද නා රජු පරාජය කරමින් චේතිය පච කෙලීමට කපුවන් සමර්ථයෝය. අඳේට කොපමණ කුඹුරැ වැඩ කලද මගුල තීන්දු වෙද්දී කපුවාට අනුව ඒවා පරාම්පරාවෙන් උරැම වූ කුඹුරැය. සමහර කුඹුරැ අඳේට දී ඇත්තේ වැඩ කිරීමට කවුරැත් නැති නිසාය. අවට ඇති හිස් ඉඩම් සියල්ල මේ අයගේය. සල්ලි බාගේ ඇති පදම්ය. මේ ඉඩකඩම් ඔක්කොම මේ ඉළන්දාරියාට. කපුවා පම්පෝරි ගසයි. එතකොට අර පේන ඉඩම කාගෙද. මනමාලියගේ පාර්ෂවයෙන් පැමිණි කෙනෙක් අසයි. වෙන කාගෙද මහත්තයෝ. අර පේන කුඹුර. වෙන කාගෙද ඉතින් මහත්තයෝ වෙන කාගෙද, වෙන කාගෙද. කථාව ඇත්තය. ඒවා වෙන කාගෙවත් බව අවබෝධ වන්නේ විවාහයෙන් පසුවය. කපුවා තමන්ව අම්බානකට අන්දවා ඇති බව වැටහෙද්දී අශ්වයා පැන ගොසිනි. 


නංගී පෙන්නා අක්කා දීම
නංගී පෙන්නා අක්කා දීමද කපු පන්නයේ ඇන්දවීමකි. රෑප ලාවන්‍ය, සැලූන් දියුණුවට පත් නොවූ එකල රෑප සම්පත්තියෙන් අඩු තරැණියක් විවාහ කරදීම තරමක ගැටලු සහගත කරැණක් විය. මෙයට පිළිතුරැ ලබාදෙන්නේ කපුවාගේ කපටි නුවණත්, මනාලියගේ පවුලේ බාල රෑමත් සහෝදරියකුත්ය. මනාලිය බැලීමට එන මනාලයාට පෙන්වන්නේ රෑමත් බාල සහෝදරියයි. මගුල තීන්දු වීමෙන් පසුව නැවත මුණගැසීම සිදුවන්නේ විවාහ උත්සව දිනයේය. යන්තම් නැකතට ඔන්න මෙන්න කියා මනාලිය කැඳවාගෙන එන අතර කළබලයෙන් සහ ලැජ්‍ජාවෙන් නොසන්සුන්ව සිටිනා මනමාලයාට මනාලියගේ මුහුණ බැලීමටද අමතක වී දාඩිය පෙරාගෙන මගුල් පෝරැවට නැග බිම බලාගෙන සිටී. මනාලයා යන්තම් ඔලුව උස්සන්නේ කරට මාලය දැමීමටය. එවිට මනාලිය බිම බලාගෙනය. චාරිත්‍රද නිමවී ටික වේලාවක් ගියපසු මනාලියගේ මුහුණ බැලූවිට මේ එදා මම දැක්ක කෙනා නෙමෙයි නේද යැයි මතක්වන විට සියලු කටයුතු සිදුවී අවසානය.

සුහද කොකා 
ඇන්දවීම කියූ සැනින් දේශපාලඥයින් සහ දේශපාලනය මතක්වන තරමට ඇන්දවීම සහ දේශපාලනය එකට බැඳී පවතී. මෙයිනුත් බොහෝ විට සිහියට නැගෙන්නේ දේශපාලඥයින් විසින් ඡන්දදායකයින්ට සුහද කොකා පෙන්වීමය.

දේශපාලනයේ ඇන්දවීමත්, ඇදගැනීමත් එක හා සමානව සිදුවේ. සමහරවිට දැනගෙනම ඇදගන්නා අතර තවත් විටක නොදැන ඇදගෙන කඩේ යාම සsදුවේ. දේශපාලකයින් ඡන්දදායකයින් ඇන්දවීම සිදුකරන්නේ කප්පරක් පොරොන්දු දීමෙනි. මේ පොරොන්දුවලට රැවටී දේශපාලකයාගේ ඡන්ද ව්‍යාපාරයට වැඩකිරීම, අවසානයේ ඡන්දය දීමද සිදුකරනු ලබනුයේ ඡන්දදායකයා විසිනි. තමන් උදව් කළ දේශපාලඥයා ජයග්‍රහණය කලද ටික කලකින්ම ඔහු සොයාගැනීමටවත් නොහැක. මේ නිසා ඡන්දයට වැඩකළ අය අමනාප වන අතර දේශපාලකයා ඊලඟ වතාවේ ඡන්දය කිරීමට වෙනත් පිරිසක් සොයා ගනී. ඒ අයටද ඒ සන්තෑසියමය.

කලින් දේශපාලකයින්ට අහුවුනු ඡන්ද දායකයින් දැන් දැන් දේශපාලකයින් අන්දන අය බවට පත්ව තිබෙනු දැකගත හැකිය. ඡන්දදායකයින්ද දේශපාලඥයින් අන්දන ක්‍රම කිහිපයකි. හරි සර් මම උදව් කරන්නම් කියා මුදල් හා වෙනත් උපකාර ලබා ගන්නා අතර අවසානයේ උදව් කරනුයේ වෙනත් දේශපාලඥයෙකුටය. සමහරවිට සෑම පක්ෂයකම රැස්වීම්වලට යන ඡන්දදායකයින් ඒවායින් ලැබෙන යමක් වේ නම් ඒ සියල්ල ලබාගනී.

තමන් වටා සිටිනා දේශපාලන උන ඇති සමහරක්ව දේශපාලකයින් අන්දන්නේ තනතුරැ පෙන්වීමෙනි. මම මන්ත්‍රී උනාම/ ඇමති උනාම අසවල් තනතුරට පත්කරන්නේ තමුන්ව යැයි පවසා ගොනාට අන්දවා සියලු වැඩ කරගැනීමට දේශපාඥයින් සමතුන්ය. මේ තනතුරැ පුද්ගලික කාර්යමණ්ඩලයේ කාර්යාල කාර්ය සහායක තනතුරේ සිට පුද්ගලික ලේකම්, සංස්ථා සභාපති, සමහරවිට අමාත්‍යාංශ ලේකම් දක්වා විය හැකිය. නමුත් ඡන්දයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසුව මෙම තනතුරැවලට පත්කරගන්නේ තමන්ගේ පවුලේ සනුහරේය. සමහරවිට පිට අය සඳහා නාමිකව සම්බන්ධීකරණ ලේකම් තනතුරක් දී තමන් යටතේ ඇති පදනමකින් වැටුප් ගෙවනු ලබයි. නැතිනම් තනතුරේ වැටුපද මන්ත්‍රීවරයාම ලබාගනී. සංස්ථා සභාපතිකම් හෝ ලේකම් තනතුරැ සඳහා වෙනත් අය පත්කර මේ ලොක්කා එක්ක බෑනේ ඕයි. එයා වෙන කෙනෙක් කරලානේ කියයි. දේශපාලනයේ මේ ඇන්දවිල්ල ඉහළම තැන සිට පහළම තැන දක්වා  විහිදී පවතී.

මැති ඇමතිවරැන්ට, රාජ්‍ය නායකයින්ට බලය ලැබුනුවිට ඇඟට එන අමුතු උෂ්ණය පිළිබඳව ඇන්දවීමට දක්ෂ නිලකාරයින්ට හොඳ අවබෝධයක් ඇත. ඒ අනුව නායකයාගේ දුර්වලතා හඳුනාගෙන ඒ ගානට ඇඳුම කපා මසා ඇන්ඳවීමට සමහර වන්දිභට්ටයින් දක්ෂය. සමහර මැති ඇමතිවරැ නායකයාගේ නැති ගුණ ඇති තැන කියා නායකයාගේ හොඳහිත දිනාගෙන තනතුරැ, වරදාන, පඬුරැ, පාඩුක්කම් ලබා ගනිති. සමහර විට සිය නායකයාගේ සෙරෙප්පු දෙක සුප් හදාබීමට වුවද මේ අය කැමතිය. සමහරැ පිරිස ඉදිරියේ ලකුණු දා ගැනීමට දෙකට නොව හතරට පහට නැමී වඳිති. නමුත් බලය ගිලිහී ගිය දා රටේ ඇති සියලු අසභ්‍ය වචන පාවිච්චි කරමින් බැනවැදීමද සියලු නුගුණ කීමද සිදුකරති. නායකයින් විනාශ වන්නේ මෙවැනි කඩුව අතට ගත් වඳුරන් නිසා බව උදාහරණ සහිතවම පෙන්වාදිය හැකිය. එසේම නායකයින් ඇන්දවියහැකි තවත් පහසු කරැණු කිහිපයකි වේ. සුරාව, ස්ත්‍රිය, මුදල් සහ මිත්‍යා විශ්වාසයන් ඒ අතර ප්‍රධාන වේ. සමහර ඇන්දිලිකාරයන් නායකයින් මේවාට ඇබ්බැහිකරවාගෙන තමන්ගේ වැඩ කරවාගැනීමට දක්ෂයින්ය.

මිනිසා ස්වභාවයනේම වර්ණාවට කැමතිය. විවේචනයට අකමැතිය. මේ බව වටහාගෙන සිටි පුරාණ කවියෝ රජවරැන්ගේ ගුණ ගායනා කෙරෙන සංදේශ කාව්‍ය ලියා රජුගේ හොඳ හිතද තෑගිද ලබාගත්හ. සන්දේශ තුළින් රජවරැන්ගේ වීරත්වය, තේජස, කීර්තිය, බලය වර්ණනා කර ඇති අතර සංදේශ ලියූ අයට ගම්වර, දහසින් බැඳි පියල් ලැබුණි. එසේ බලනවිට එදා හෝ අද කියා වෙනසක් නැත. වන්දිභට්ට සේවයට කැපවූ අයට රජවරැ සියලු කල්හි කැමැත්ත දක්වා ඇත.  

ඇන්දවීමට උපන් හපන්කම් ඇති තවත් කොටසකි කට්ටඬීන්. පුවත්පත්වල පලකරන දැන්විම්වලට නුව මෙම අයට කල නොහැකි දෙයක් නැත. වෙන්වූ අය ගෙන්වාදීම, එපා අය ඈත්කරවීම, කැමති අය වශීකරදීම, විභාග සමත්කරවීම,  වැනි දේ තැපෑලෙන් උවත් ඉටුකරදීමට කට්ටඬීන් සමත්ය. තඹ කොළ කෑල්ලක අකුරැ කිහිපයක් කොටාදීම වෙනුවෙන් රැපියල් 7000 ක් පමණ අය කරන මෙම කට්ටඬීන්ගේ හරිලිය ගුරැකමක් ගැනනම් මා අසා නැත.

තවත් සමහරැ ස්වේචාවෙන්ම තමන්වම ඇඳගැනීමට ලක්වෙති. අසවල් තනතුරට සුදුසුම කෙනා මාය. මා හැර කෙනෙක් ඒ සඳහා සුදුසු නැත. එබැවින් එය මටම හිමිවිය යුතුය යනුවෙන් ඇඳගෙන සිටිනි අය සමාජයේ දැකගතහැකිය. මෙය උගතුන් බුද්ධිමතුන්, ලේඛකයන්, නලු නිලියන් වෙතින් බහුලව දක්නට ලැබේ. අසවල් සම්මානයට සුදුසු මාය. නැතිනම් මාගේ පොතය. මා රඟපෑ චරිතයයි.  සමහරවිට මෙම තත්ත්වය මානසික රෝගී තත්ත්වයක් දක්වා වර්ධනය වේ. එවිට මම අසවල් රජය. අසවල් රටේ ජනාධිපතිය. අසවල් සංවිධානයේ සභාපතිය වැනි දේ සිතින් මවා ගෙන ඒ අනුව හැසිරෙති. මෑතකදී පරාක්‍රමබාහු රජුගේ පුනරැත්පත්තිය තමන්යැයි කියාගන්නා අයෙක් කොළඹට පැමිණ කළ කලබැගෑනියක් වාර්තාවිය.

මනකල්පිත චරිතයක් වූ ඇම්ඩා ඇන්ඳවීමට උපන් හපනෙකි. ඇම්ඩාගේ සියලු කථාවන්ගේ කියවෙන්නේ අන් අයව ඇන්දවූ ආකාරයයි. ඇම්ඩාට අම්මාද, තාත්තාද, ටීචර්ද, අක්කාද, නංගීද, හාමුදුරැවෝද කියා වෙනසක් නැත. තමන්ගේ අවශ්‍යතාවය අනුව ඇන්දවීමට අවශ්‍ය ඕනෑම අයෙක් ඇන්දවීම ඇම්ඩාගේ සිරිතයි.  

සුරංගනා කථාවෙන් නොදරැවන් ඇන්දවීමට සමත් කොට්ඨාශයක් නම් ටියුෂන් ගුරැවරැන්ය. මා උසස් පෙළ කරනා සමයේ පුද්ගලික පන්තියකට සහභාගී වෙමින් සිටිනාවිට එහා ගොඩනැගිල්ලේ පැවතියේ අලුතින් ආරම්භ කල සාමාන්‍ය පෙල සිසුන්ගේ උපකාරක පන්තියකි. ගුරැවරයා මෙම නොදරැවන් හීන සාගරයක පතුලටම ගිල්වා ඇත. ළමයි දැන් ඔයාලා ඕ ලෙවල් කරපු ගමන් ඒ ලෙවල් කරනවනේ. ඒක නිසා ක්ලාස් එද්දි කවුරැහරි ඇහුවොත් කියන්න ඒ ලෙවල් වලට ක්ලාස් යනවා කියලා. ඒ ගුරැවරයා ලබාදුන් උපදෙස් පිලිපැද්ද එකාට සිදුවන්නේ ටික දිනකින් වසකෑමටය. ටියුෂන් ගුරැවරැන්ගේ ඇන්දවීම බුදුන්ගේ කාලයටම දිවෙයි. අහිංසක නම් සිසුවාගේ දක්ෂතාවය දැක සතුරැ සිත් උපදවාගන්නා දිසාපාමොක් ආචාර්යවරයා ඇඟිලි දහසක මාලයකින් ගුරැන් පුදනලෙස අහිංසකට පවසයි. මේ උපදෙසින් ඇඳගන්නා අහිංක අවසානයේ අංගුලිමාල බවට පත්වේ.

සත්ත්ව ලෝකයේ ඇන්දවීමට නම් දරා සිටින්නේ නරියාය. නරියා කපුටා අන්දවා කේජු කෑල්ල කෑ නමුත් අද කොළඹ කපුටන් නරියාවද ඇන්දවිය හැකි මට්ටමට දියුණුවී ඇත. කෙවිලිය කපුටිය අන්දවා අදද තමන්ගේ බිත්තර කපුටිය ලවා රක්කවා පැටවුන්ට පියෑඹීමට හැකිවනතුරැ කොහා පැටවුන් ආරක්ෂා කරවාගනී. දඬුලේනාද තමන්ගේ පැටවුන් ආරක්ෂාකරගැනීමට අන් සතුන් සහ මිනිසුන් අන්දන්නේ එක ලඟ ඇති ගස් කිහිපයකම කූඩු සෑදීමෙනි.


කොළඹ කාක්කන් ගැන කියනාවිට පිටකොටුවේ පේමන්ට් එකේ ඇන්දවිලි ගැනද නොකියාම බැරිවන්නේ කලක් ඇන්දවීමට උපන් හපනුන් සිටිනා ස්ථානයක් වශයෙන් ප්‍රසිද්ධ වූයේ පිටකොටුවේ පේමන්ට් එක බැවිනි. තමන්ගේ ලෑල්ලේ ඇති ඇඳුමක් දෙස කෙනෙකුගේ බැල්ම පමණක් යොමුවීම ප්‍රමාණවත් වන පේමන්ට් වෙලෙන්ඳන් චාටු දමා, කනපින්දම් කියා, නැතහොත් අවසානයේ තර්ජනය කර  හෝ එම ඇඳුම කරේ ගැසීමට සමත්ය. වරායෙන් පැන්නූ බඩු කියා විකුණන ඔරලෝසුද එසේමය. රැපියල් සීයක් දෙසීයක් වටිනා ඔරලෝසුව අඩුම තරමේ රැපියල් තුන් හාරදහසකටවත් විකිණිමට මේ ඇන්ඳිලිකාරයාන් සමත් වෙති. පිට නෑ පිට නෑ කියා විකුණන සමහර ඇඳුම් ගෙදර ගොස් බැලූ විට  ඇත්තෙන්ම පිට නැති අවස්ථා අනන්තවත් තිබී ඇත.




මාලු මාර්කට් එකද මේ ආකාරයට ඇන්දවීමෙහිලා සමත් ටේලර්ලා ගැවසෙන ස්ථානයකි. ටිකක් රත්වී ගෙදරට ගෙනයාමට මාලු ටිකක් ගැනීමට පැමිණෙන අයට අය්යා, මල්ලී, මාමේ, බාප්පේ, මචං, බොසා යනුවෙන් දන්නා අඳුනන ආකාරයෙන් කථාකර යමු මම දන්න තැනක් තියෙනවා. ටොප් මාලු ටිකක් අඩුවට අරන් දෙන්නම් කියා රැගෙනගොස් කුණු මාලු ගොඩක් කරේ ගැසීමට මේ අය දක්ෂය.

තමන්ගේ අතේ සතේ නැතිව සිටිද්දී දන්නා සමහරවිට නොදන්නා තවත් අයෙක් අන්දවා පිනා ෂොට් එකක් දා ගැනීමට උත්සාහ කරනා පිනා බෙබාලා බාර් අසල රැඳෙමින් කාගේ හෝ දතක් ගලවාගැනීමට සමත්වෙති.

පිටකොටුවේ අන්දන තවත් ක්‍රමයක් වන්නේ වීදුරැ කෑලි පුරවාගත් පෙට්ටියක් හිසේ තබාගෙනවිත් කවුරැ හෝ අසරණයෙකුගේ ඇඟේ හැපීමයි. ඉන්පසු කොළම කාක්කා රටේ ඇති සියලුම පරැෂ වචනයෙන් අර අසරණයාට බැණවදින අතර ඔහුගේ සහායට තවත් කොළඹ කාක්කන් කිහිපදෙනෙක් සෙට් වෙති. අන්තිමට අර අසරණයාට සිදුවන්නේ තමන් වරදක් කල විලසින් වීදුරැ කෑලි ටිකේ බාඩුවට නොවටිනා ගානක් ගෙවා ෂේප් වීමටය.

පිටකොටුවේ අන්දන තවත් ක්‍රමයක් වන්නේ වාහනයක හැප්පුනු ආකාරයෙන් බිම ඇද වැටීමටය. එවිට වටේ පිටේ සිටිනා කාක්කාගේ සපෝටරලාද වාහනයේ හිමිකරැට තර්ජනය කරන අතර වැඩේ ගොඩින් බේරාගැනීමට රැපියල් තුන්හාරදහසක් ඉල්ලා සිටි. මේ ආකාරයට දවසකට වාහන තුන හතරකට පැන්නොත් දවස ගොඩය.

දෙවරක් අයිෆල් කුලුන විකිණූ වික්ටර් ලුස්ටිග්
අන් අය ඇන්ඳවීමට සමත් වූ අති දක්ෂ පුද්ලයෙකු වශයෙන් ලෝක ඉතිහාසයේ සඳහන් වන්නේ ප්‍රංශයේ අයිෆල් කුලුන වරක් නොව දෙවරක් විකුණු වික්ටර් ලුස්ටිග්ය. ප්‍රංශයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පෙනී සිටි වික්ටර් පළමුව ප්‍රංශයේ ව්‍යාපාරිකයින් ගොන්නක් අතරින් පොයිසන් නම් අයෙකුට අයිෆල් කුලුණ විකිණීය. දෙවැනිවර විකුණන්ට යාමේදී ලිපි ලේඛන සම්බන්ධව ඇති වූ සැකයක් නිසා ගනු‍දෙනුව වැලකී ගියේ අනූ නවයෙනි. මොහුගේ ඇන්දවීමේ දක්ෂතාවය කොතෙක්ද යත් මොහුව අත් අඩංගුවට ගත් එෆ්.බී.අයි. නිලධාරියා වූ ජේම්ස් පී ජොන්සන් විසින් අයිෆල් කුලුණ විකුනූ මිනිසා යනුවෙන් වික්ටර් පිළිබඳව ග්‍රන්ථයක්ද රචනාකර ඇත. ස්වභාව ධර්මයේ නියමයට අනුව වික්ටර්ටද අවසානයේ සිටින්නට වූයේ සිපිරි ගෙදරය.

අද නම් ඇන්දවීම නවීකරණය වී ඇත.  ඇන්ඳවීම වෘත්තීයමය පදනමින් කරවීම සඳහා විෂයන් පවා වෙන්වී ඇත. පාරිභෝගිකයන් ඇන්ඳවීමට ඇඩ්වර්‍ටයිසින් ෆර්ම්, මාර්කටින් ඒජන්සි බිහිවී ඇත. මේවායින් ප්‍රමෝෂන් කැම්පේන් සිට රෑපවාහිනී වෙළඳ දැන්වීම දක්වා නිර්මාණය කරමින් පාරිභෝගිකයින් ඇන්දවීම ජයටම සිදුකරනු ලබයි.  ඇන්දවීමට ආයුෂ පවතිනුයේ ජනතාව බුද්ධිමත්වනතෙක් පමණි. අතීතයේ සිදුකළ ඇන්දවීම් අදට වලංගු නොවන්නේ සමාජය යම් ආකාරයකින් දියුණුවට පත්වී ඇති බැවිනි. කෙසේ වුවද කිසිම දෙයක ඇන්දවීම සදාකාලික නැත. ඒ දවල් වැටුනු වලේ රෑ වැටීමට තරම් බොහෝ දෙනෙකු මෝඩ නොවන නිසාය.








14 comments:

  1. Replies
    1. ස්තුතියි යාලු

      Delete
  2. අටම්ට පින් සිද්ද වෙන්ඩ මාත් මෙතෙන්ට ආවා මදෑ ඇන්දවිල්ලක තරම ඉතිහාසෙ පටංගත්තු තැන ඉඳලා මේ දැනුත් අපිත් දඟලන්නෙ අනුන්ට අන්දවන්ඩමද මන්දා කියල හිතෙනවා අපූරු ලියවිල්ලක් දිගටම ලියගන යන්ඩෝ

    ReplyDelete
    Replies
    1. අටමා එල කොල්ලෙක්. උගෙ හැකියාවේ හැටියට ඒකා ඉන්න ඕන තැන නෙමෙයි ඉන්නේ. ස්තුතියි. මම දිගටම ලියන්නම්. බලලා අඩුපාඩු කියන්න.

      Delete
  3. හොද ලිපියක්
    බ්ලොග් ලියන අපිත් කරන්නේ ඇන්ඳවිල්ලක් තමයි

    ReplyDelete
    Replies
    1. මුලින් අපි අන්දවනවා. පස්සේ අපිම ඇඳ ගන්නවා

      Delete
  4. //ඇන්දවීම සදාකාලික නැත
    පිස්සුද බං, හරියටම ඇන්දුවොත් බන් ඇඳගත්ත එකා මලාට විස්වාසකරන්නැ තමන් ඇඳගෙන කියලා වැඩේ හබක් වුනාට පස්සෙත්.
    අනෙක බං වෘත්තීය අන්දන එවුන්ට දැනගන්න ඕනි උඹට මොනාද ඕනි කියන එක විතරයි.
    අර උඩ තීන රජා හෝ මා හෝ ගංගා හෝ එකේ තව වර්ෂන් එකක් අහ තියේ.
    ඒ බුවා පැණිරස කොහොඹ ගහක් රජුට පොරොන්දු වෙලා වාර්ෂිකව ගං වතුරට යටවෙන පොට් එකක
    ගහ පැල කලා කියල.
    ආ අර අටං ගොයියා තමා පාර කීවේ,ලිවිල්ල එල දිගටම ලියමු ගොයියෝ

    ReplyDelete
    Replies
    1. මමත් ඒ වර්ෂන් එක අහලා තියෙනවා. මේකෙන් ගම්‍ය වෙන්නේ අපේ රට දුර්වල වෙච්ච අවස්ථාවල පිටින් ඇවිත් අපේ අය අන්දපු විදිහ. අටමා මට විතරක් නෙමෙයි හැමෝටම ෆුල් බකප් එකක් දෙනවා. ඒකා රියල් කොල්ලෙක්.

      Delete
  5. නියමයි ලිවිල්ල. ඇඳීම් ඇන්ඳීම් එදා ඉඳන් අද දක්වා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. හැමදාම අදහස් දක්වන්න

      Delete
  6. //ගෙරි හමින් ඇන්ඳවීම// රටවල් හා සංස්කෘතීන් කීපයකට පොදු කතාවක්

    http://www.bartleby.com/81/2700.html

    ReplyDelete
    Replies
    1. තවම මේක බැලුවෙ නැහ. මම හෙට බලන්නම්

      Delete
  7. වෘතියෙන් IT මෘදුකාංග උපදේශකයෙක් වන මමද මල් මලයා කියනා ආකාරයේම ටෙලර්වරයෙකි ... වෘතිය ඇන්දිල්ලය ... කොම්පැනි වල අටෝරාසියක් උවමනා එපාකම් පිරිමැසීම මෙන්ම කකුල් දෙකේ බුරුවන් පුහුණු කිරීමද ලෙහෙසි නැත ...

    නමුත් ඔය කියා තියනා ආකාරය අනුවම ඇන්දිල්ල උවත් නොදැන කිරීමට නොහැක්කේය ... එවැන්නන් හට ආයුෂ අඩුය :)

    ReplyDelete
    Replies
    1. කන්ඩො අපේ ගමේ වඩු බාස් කෙනෙක් හිටියා විජා බාස් කියලා . මිනිහ නිතරම කියන දෙයක් තමයි “මහත්තයෝ වහලේ ගහනවා කියන්නේ වහලා ගැහිල්ලක්“ කියලා. අන්තිමට හුඟ දෙනෙක් අපිව අන්දලා වහලා ගහලා තියෙන්නේ.

      Delete