Saturday, September 10, 2016

ඇයි බැල්ලියෝ විතරක්. එහෙනම් කෙල්ලියොත් පන්සලට ගෙනත් දාපල්ලා



බල්ලා ගැන පොඩි අදහසක් ලිවීමට සිතුනේ පසුගිය දිනක අපේ  පුංචි අම්මලා බල්ලන් නිසා නැටූ නාඩගමක් නිසාය. පුංචි අම්මලාගේ ගෙදර බල්ලන් තුන් දෙනෙකි. උන් සියලු දෙනා වල්ටේසන් පරම්පරාවේ කැහැටු උප කුලයට අයත්වූවන්ය. නිවසේ  සියලු සැප සම්පත් භුක්ති විඳීමේ  පූර්ණ බලතල මේ සුනඛ පෝතකයන් සතුවිය. එනිසාවෙන්ම ඇඳ, පුටු, සාලය, කොට්ට, මෙට්ට, කුස්සිය ආදී මෙකී නොකී සෑම ස්ථානයකම කිසිදු අවසරයකින් තොරව ලැගීමට මෙම බල්ලන්ට කිසිදු තහනමක් නොවීය. මේ නිසා මැක්කන්ද, කිනිතුල්ලන්ද ඉඳහිට බිත්තිදිගේ බඩගානු දැකිය හැකිවිය.


පුංචි අම්මාට දියණියන් දෙදෙනෙකි. දෙදෙනාම දීගතල ගොස් ඇති අතර අල්ලපු ගමේ වාසය කරන ලොකු දුවට දරැ සම්පතක්ද ඇත. පොඩිදුව දැන් පෙන්ඩින්ය. බල්ලන් ගේ හැම තැනම ලැගීම නිසා පොඩි එකාව හදිස්සියකටවත් ගෙදර රැගෙන ආ නොහැකි බව කියමින් ලොකු දුව නිතරම කරුකුරු ගානා බැවින්  බාප්පා කලේ කවුරැත් ගෙදර නැති අල්ල පනල්ලේ බල්ලන් ටික අල්ලාගෙන ඩිමෝ බට්ටෙකුගේ දමාගෙනගොස් පෙර කාලයේ පටන් පැවතෙන චාරිත්‍ර වාරිත්‍ර පරිදි අසළ ගමක ඇති පන්සලක් ලඟින් හලායාමය. පුංචි අම්මාත්, පොඩි නංගීත් නිවසට පැමිණ බලනවිට වෙනදා නකුට වනාගෙන එන බල්ලන් නැති බව දැනගෙන බල්ලන් සොයද්දී අහල පහල ගෙවල්වල අය බාප්පා කල වික්‍රමය ගැන පන්දම පත්තු කර ඇත. ඉන්පසු පුංචි අම්මාද පොඩි නංගීද පන්දමේ දෙකොනම පත්තුකරගෙන බාප්පාට බැණ වදිමින් දෙස් දෙවොල් තබමින් ත්‍රීවීලයක් කුලියට ගෙන බල්ලන් ගෙනගොස් දැමූ ගම අවට බල්ලන් සොයන්නට පටන් ගත්තේය. දින කිහිපයක් දිවා කාලය සම්පූර්ණයෙන් කැපකර  බල්ලන් සොයා  නැවත ගෙනඒමට ත්‍රීවීල්, ඩිමෝ බට්ටා ගාස්තුව, කෑම බීම යනාදී වශයෙන් වැයවූ මුදල රැපියල් 10000 ට ආසන්නය.

මෙසේ වන්නේ ගෙදරක ඇතිදැඩි කරනා බල්ලෙක් හා නිවැසියන් අතර ඇති බැඳීම ඉතා සංවේදී බැඳීමක් නිසාවෙන්ය. එම බැඳීම ඉතිහාසගත බැඳීමකි. දඩයම් යුගයේදී සතුන් දඩයම් කිරීමට මිනිසාට උපකාරී වූ බල්ලා එඬේර යුගයේදී සතුන් රැකබලා ගැනීමට මිනිසාට උපකාරී විය. අපේ සංස්කෘතියේ ආරම්භක අවස්ථාවටද කොහේදෝ යන බල්ලෙකු සම්බන්ධ වී ඇත. ඒ විජය අපේ රටට ගොඩබැස්ස විට ජනාවාසයක් සොයාගැනීමට බල්ලෙක් උපකාර වීම හේතුවෙනි. සමහරවිට විජයගෙන් උරැම වූ ජරා, මජර වැඩවලට අමතරව ඉඳහිට කරනා බලුවැඩවලට දායකත්වය ලැබුනේ ජාතියේ ආරම්භයට බල්ලෙකුත් ගෑවීම නිසා වන්නට පුලුවන. එක් කලක නිවසේ මුරකරු වූ බල්ලා අද නිවසට අළංකාරය සපයන සහ නිවැසියන්ගේ තත්ත්වය පෙන්නුම් කිරීමට භාවිතා කරන සංකේතයක් බවට පත්ව ඇත.

කලකට පෙර අපේ ආර්ථිකයේද බල්ලාට ඉතා වැදගත් තැනක් හිමිවිය. ඒ ඉංග්‍රීසීන්ගේ කාලයේය. බල්ලාට එවැනි වැදගත්කමක් ආරෝපනය වූයේ බලු බද්දක් ගෙවන්නට සිදුවීමෙනි. එවකට ආණ්‌ඩුකාරවරයා වූ ටොරින්ටන් සාමිවරයා විසින් 1848 අලුතෙන් තුවක්‌කු බද්ද, පාර බද්ද හෙවත් ඇඟ බද්ද, සාප්පුබද්ද, බලු බද්ද, කරත්ත බද්ද, මාර්ග බද්ද, රේන්ද හෙවත් තොටුපළබද්ද වශයෙන් බදු වර්ග හතක්‌ හඳුන්වාදී ඇත. මේ බදුත් සමගම කාන්තාවන්ගේ පියයුරැවලටද තන බද්දක් ගැසීමට යතැයි රාවයක් පැතිරීම නිසා අපේ කාන්තාවන් සුද්දෙක් දුටුතැන සැඟවී සිට ඇත්තේ බදුගැසීමට තනේ ප්‍රමාණය මැනීමට එන සුද්දෙකැයි සිතාය. “ගමේ ගෙදරකට සෙනේ ඇතිව සිටි බලු කුක්කට මොන බදුද අනේ. තනේ තිබෙන කිරි ටිකටත් බද්දක් ගෙවන්න වේවිද ඉදිරි දිනේ“ කියා සින්දුවෙන් කීවේ එදා පැනවූ බලු බද්ද ප්‍රමුඛ බදු ගැනය.

බල්ලාට තරම් මංගල යෝජනා එන වෙනත් කිසිදු සතෙක් සිටින්නට නොහැකිය. ඒ සමහරැන් ගෙදරකට එනවිටම බල්ලා බැඳලද කියා අසාගෙන එන නිසාය.  නෝනලා එවිට කියන්නේ නෑ තවම හොඳ කෙනෙක් හම්බ උනේ නෑ කියාය. නමුත් බල්ලාට කෙනෙක් හොයාදීම නෝනලා කරන්නේ නැත. සමහරවිට ඒ ඉරිසියාවට වෙන්නට ඇතිය. ඒත් බල්ලාද ගේම අතඅරින්නේ නැත. ඒකාත් මරාගෙන මැරී හෝ ඒ වැඩේ කොහොමහරි කරගනී. අවශ්‍ය කාලෙට බල්ලෝ රැලේ යන්නේ ටෙම්පරියට හෝ නෝනා කෙනෙක් හොයාගැනීමටය. එසේ ගිය හොඳ පුෂ්ටිමත් බල්ලන් පවා ආපසු ගෙදර එන්නේ කන් ඉරාගෙන, ඇඟ හැමතැනම තුවාල සාදාගෙන නොන්ඩි ගසමිනි. බල්ලන් රැලේ යන කාලයට පාරේ යන කොල්ලන් විහිලුවට මෙන් බලු පූට්ටුවලට ගල් ගසනු මා දැක ඇත. මා නම් එසේ නොකලේ මේ ආත්මයේ පමණක් නොව ලබන ආත්මවලදීත් කෙල්ලක්, කසාදයක් තබා මාගමකගේ ස්පර්ෂයක්වත් නැතිවීමට බලු පූට්ටුවලට ගල්ගැසීම හේතුවන බව මා අසා තිබීම නිසාය.

අද කාලයේ අලි පැටවුන් පන්සලට හොරෙන් ගෙනැවිත් දැමුවද ඉස්සර නම්  පාන්දර ජාමේ පන්සලට හොරෙන් ගෙනැත් දැමුවේ බලු පැවුන්ය. බලු පැටවුන් කීවාට  විශේෂයෙන් බලු කික්කියන්ය. මේ ගැන නහුතෙට මල පැන්න අපේ ගමේ ලොකු හාමුදුරැවෝ වරක් කීවේ ඇයි බැල්ලියෝ විතරක් ගෙනත් දාන්නේ. එහෙනම් ගෙවල්වල ඉන්න කෙල්ලියොත් පන්සලට ගෙනත් දාපල්ලා කියාය. ඒ නිසා ටික කලක් යනතෙක් පන්සලට බලු පැටවුන් ගෙනත් දැමීම නතරවිය.

අපේ රටේ බල්ලා ගැන ජනප්‍රියම ගායනය වන්නේ “පුංදි බලු රාලේ“ නැමති කවියයි. බල්ලා ගැන ජනප්‍රිය වූ ලෝක ප්‍රසිද්ධ ගීතය “Who let the gods out” ය. මේක අපේ අයියලා සිංහලයට හදා ගත්තේ කවුද බල්ලා එලියට දැම්මේ කියාය.

අපේ රටේ බල්ලා තරම් උපමා උපමේය සෑදුනු වෙනත් සතෙක් නොසිටිය හැකි තරම්ය.
          "බල්ලට ඇති වැඩකුත් නෑ හිමින් ගමනකුත් නෑ "  
          " උන පුරුකේ දැම්මත් බලු වලිගෙ ඇද ඇරෙන්නේ නෑ"  
          " බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ"
           " බුරන බල්ලා හපා නොකයි "  
          " බල්ලොත් එක්ක නිදාගත්තහම නැගිටින්න වෙන්නේ බලු මැක්කොත් එක්ක" 
          "බුරන හැම බල්ලාම ගල් ගහන්න හිටියොත් කවදාවත් සිරීපාදේ යන්න වෙන්නේ නෑ" වගේ කියමන් බල්ලා සම්බන්ධයෙන් ගොඩනැගී ඇත්තේ බල්ලාගේ ගති පැවතුම් සඳහා මිනිසාගේ චරිත ස්වභාවය ආදේශ කිරීමෙනි. මෙහි ඇති අසමත්ජාතිම වැඩේ නම් මිනිසා කරනා අලුගුත්තේරු වැඩ වෙනුවෙන් නම හා හම යන්නේ බල්ලාගේ වීමය.

ඉස්සර බල්ලෙක් උඩු බුරලන විට අපේ වැඩිහිටියන් කලබල වන්නේ මලගෙයක් සිදුවෙතැයි අනුමාන කල නිසාය. මෙය විද්‍යාත්මකව ඔප්පු වී නැතද බල්ලන් උඩුබුරා ටික දවසකින් ගමේ අනිවාර්යෙන් මල ගෙයක් සිදුවන බව මා අත්දැකීමෙන් දැක ඇත. බල්ලා වගේම බල්ලාට නෑකම් කියන නරියාද හූ කියූ විට මේ ටිකම සිදුවන බව ගැමියන් අත්දැකීමෙන් දනී.

බලු වෑන් එකෙන් සයිනයිඩ් විදීම
එකල ජල භීතිකාව බෝවීම වැලැක්වීමට සහ බල්ලන්ගේ ගහණය අඩුකිරීමට අනුගමනය කළ එක් ක්‍රමයක් වූයේ සයිනයිඩ් විද මරා දැමීමය. දැන්නම් මේ ක්‍රමය අනුගමනය නොකරන්නේ මෙහි අති අමානුෂික බව නිසාය. ඉස්සර විශ්වවිද්‍යාල පාරේ බලු වෑන් එක පැමිණෙන විට ඉවෙන් මෙන් දැනගන්නා බල්ලන් දුවගෙන ඇවිදින් දේශන ශාලා අස්සේද, කාමරවලටද රිංගන්නේ සයිනයිඩ් පාරෙන් බේරීමටය. අපේ උන්ද සත්ව කරැණාව පෙරදැරිව කිසිවිටක බල්ලන්ට හානියක්වීමට ඉඩ නොදේ. බල්ලන් ඇල්ලීමේ අනිත් ක්‍රමය නම් බලුවෑන් එකේ දෙපැත්තේ සිටිනා දෙන්නෙක් මදු ගසා බල්ලන් අල්ලා බලු වෑන් එකට දමාගැනීමය. ඉන් පසුව උන්ට සිදුවන්නේ හිට්ලර්ගේ කාලයේ ගෑස් ආදාහනාගාරවලට යැවූ  අයට සිදුවූ දේය.

මම ද පොඩි කාලේ බල්ලන් කිහිප දෙනෙකුම සුරතලයට ඇති කෙරුවා මතකය. මගේ මුල්ම බල්ලාගේ නම වූයේ මැන්ටලේය. ඒකාගේ නැට්ට ඌරැ නැට්ටක් මෙන් වකුටු වී තිබුණි. මම කොහේ ගියත් මගේ පස්සෙන් කැරකීම උගේ සිරිතය. සුපර් ඊට පසු සිටි බල්ලාය. විස්කියා ඊටත් පසුව සිටි එකාය. ඒකා නම් බල්ලෙකුටත් වඩා මනුස්ස ගතිගුණ තිබූ බල්ලෙකි. අපි නිවසේ නැතිනම් කිසිවෙකුට නිවසට ඒමට ඉඩ දෙන්නේ නැත. බැරි වෙලාවත් තාත්තා බීගෙන පැමිණ අම්මාට සැර දැමුවහොත් විස්කියා ගොරවාගෙන තාත්තාගේ ඇඟට පනී. උගේ මනුස්සකම කොතරම්වීද යත් ඌ මැරුනු දින අම්මාත්, නංගීත් සෑහෙන වේලාවක් යනතුරැ සිටියේ අඬමිනි. ඌ වෙනුවෙන් හත් දවසට සහ තුන් මාසයට පන්සලට දානය ගෙනගොස් දීමටද අම්මා කටයුතු කළාය. ඌට කරන ගෞරවයක් වශයෙන් ඉන්පසු නිවසේ ඇතිකළ සියලුම බල්ලන්ට නම තැබුනේ විස්කි වශයෙනි. නමුත් එව්වෝ ලෝකල් විස්කි වලටත් අන්ත විය.

එකළ ජල භීතිකා රෝගය වැලැක්වීම සඳහා ගෙවල්වල ඇතිකරනු ලබන බල්ලන් එන්නත් කිරීමට නිලධාරීන් ගමට පැමිණේ. ගමේ පොදු ස්ථානයකට බල්ලන් ගෙන එන ලෙස දන්වා දින කිහිපයකට කලින් පොස්ටර් අලවන අතර නිලධාරීන් පැමිණිවිට ලවුස් පීකරයක් බැඳගත් ජීප් එකකින් අහල ගම්මාන වෙත ගොස් බල්ලන් එන්නත් කරන බව නිවේදනය කරනු ලබයි. එවිට අමාරැවෙන් අල්ලාගෙන දම්වැලකින් ගැටගසාගෙන සමහරවිට කකුල් හතරද බැඳගෙන බල්ලන් එන්නත් කිරීමට අදාළ ස්ථානයට ගෙන ඒමට ගම්වැසියන් පුරැදුවී සිටියහ. බල්ලන් කිහිප දෙනෙකු එකතුවන ස්ථානයක ඇතිවන සංදර්ශනය අමුතුවෙන් මතක්කරදිය යුතු නැත. සමහරවිට බේත් විදීමට එන නිලධාරීන්ට සිදුවන්නේ බේත්විදීම පැත්තක තබා බල්ලන් පොරකන හැටි බලාසිටීමටය. අපේ ගමේ සිටි කරෝසිංඥෝ තරමක පණ්ඩිතයෙකි. ඔහුද සුරතලයට ඇතිකළ බැල්ලියක විය. බැල්ලීගේ නම ලයිකාය. කරෝසිංඥෝද ලයිකාව දම්වැලකින් ගැටගසාගෙන බේත් විදින්නට ගියේය. දැන් පොරකන බල්ලන් ටික ලයිකා පිටුපස්සේය. බොහෝ අමාරැවෙන් ලයිකාව බේරාගෙන බෙහෙත් විදින තැනට ගියේය. “නම මොකක්ද“. පී.එච්.අයි මහත්තයා අසයි. “ලයිකා මහත්තයෝ“. “බැල්ලිගේ නම නෙමෙයි ඕයි තමුසෙගේ නම“. පී.එච්.අයි කෑ ගසයි. නම ගම ලියාගත් පසු බෙහෙත් විදින වාරය පැමිණියේය. බල්ලන් කෑ ගසනා ශබ්ධය නිසාද, බල්ලන් පොරකන නිසාද තරමක් කලබලවී සිටි ලයිකාගේ පස්සට බෙහෙත ඇන්නා පමණි. බෙහෙත විදි වේදනාවට මහ හඬින් කෑ ගැසූ ලයිකා කරෝ සිංඥෝටද හපා කා පැන දිව්වේය. බොහෝ වෙහෙස මහන්සිවී බැල්ලිය නැවත අල්ලාගෙන පැමිණ බෙහෙත් විද්දද බැල්ලී සපාකෑ නිසා කරෝ සිංඥෝටද රෝහලෙන් බෙහෙත් විදීමට සිදුවිය.

ඒ කාලයේ පිස්සු බල්ලෙකු සපාකෑ විට ඉංග්‍රී බෙහෙත් කිරීමට වඩා ගැමියන් විශ්වාසය තැබුවේ සිංහල වෙදකම කෙරෙහිය. ගමකට පිස්සු බල්ලෙකු පැමිණි විට කිහිප දෙනෙකුවත් සපාකෑම ඒ කාලයේ සාමාන්‍ය සිද්ධියකි. පිස්සු හැදුනු බල්ලෙකු සිටි නිවසක සපා කෑ කෙනාට අමතරව නිවසේ සිටි අනෙක් අයටද පිස්සු බලු විෂ ඇතුල්වී ඇත්දැයි පරීක්ෂා කරන ක්‍රමයක් සිංහල වෙද මහතුන් අතර පැවතුනි. එම පරීක්ෂාවෙන් විෂ තිබේයැයි සනාථ උවහොත් ඒ සියලු දෙනාට බෙහෙත් කිරීමට එක් දිනයක් යොදාගනී. මුලින්ම විෂ ඇති සියලු දෙනාට පිස්සු වැඩිවීමට බෙහෙත් දෙයි. එසේ කරන්නේ පිස්සු බලු විෂ සමග අමනුෂ්‍ය බලවේගයක් සිරුරට ඇතුල්වී ඇතැයි යන විශ්වාසය නිසා බව මා අසා ඇත. ඒ වෙලාවට තමන්ගේ සිතේ ඇති සියලු දේ පිස්සුවෙන් මෙන් කියවීම සාමාන්‍ය දෙයකි. බොහෝ විට අනියම් සබඳතා එලියට එන්නේ මේ වෙලාවටය. තව සමහරු රැකියාවට යාමට සැරසෙති. තවත් අය ගස් නගිති. මෙවැනි වූ සිදුවීම් නිසා පිස්සු බලු බෙහෙත් දෙන ස්ථානය එකම රස ගුලාවක් බවට පත්වේ. බෙහෙත්දීම අවසන්වන්නේ පිස්සු බල්ලා සපාකෑ සියලු දෙනා නාවා ඌරැමස්, පුහුල් සමග බත් කන්නට දීමෙනි. මේ ආකාරයට පිස්සු බලු බෙහෙත්දීමේ රහස් පරම්පරාවෙන් පරම්පරාවට පැවත ආ අතර මීගහපැලැස්සේ කොරනෙල් වෙද පරම්පරාව, බිබිලදෙණියේ අඹවල වෙද පරම්පරාවේ බණ්ඩාර වෙද මහත්තයා   වැනි අය පිස්සු බලු විෂට බෙහෙත් කල අය වූහ.  

කෙසේ වුවද බල්ලා තරම් කෙලෙහි ගුණ දන්නා සතෙක් තවත් සිටිය නොහැක. තමන් කරනා සේවයට බල්ලන් පඩි හෝ වෙනත් පහසුකමක් ඉල්ලන්නේ නැත. උසස්වීම් ඉල්ලන්නේ නැත. ඉල්ලන්නේ ආදරය පමණි. ගමනක් ගොස් ගෙදර එනතෙක් මග බලාගෙන සිටිනා බල්ලා ඔබ දුටු සැනින් දුවගෙන ඇවිත් පිටේ හම යන ලෙසින් බිම පෙරලී ආදරය දක්වන අයුරින් වෙන කිසිවෙකු ආදරය දක්වයිදැයි සැක සිතය. බල්ලා එසේ කරන්නේ ලකුණු දමාගැනීමට හෝ වෙනත් ලාභ සත්කාර අපේක්ෂාවෙන් නොවේ. උගේ සිතේ පවතින සැබෑ ලෙන්ගතුගමටය.

මිනිසා සතුව බලු ගති ඇති තුරුද බල්ලා සතුව මිනිස් ගති ඇති තුරුද බලු මිනිස් සම්බන්ධය අඛන්ඩව පවතිනු ඇත.




35 comments:

  1. අපූරු ලියවිල්ලක්,කියවා ඉමහත් රසයක් වින්දෙමි

    ReplyDelete
  2. මිනිසා සතුව බලු ගති ඇති තුරුද බල්ලා සතුව මිනිස් ගති ඇති තුරුද බලු මිනිස් සම්බන්ධය අඛන්ඩව පවතිනු ඇත--- අම්මප ඇත්ත.
    මාත් බල්ලන්ට ආදරෙයි.

    ReplyDelete
    Replies
    1. අපි බල්ලාගේ මිනිස් ගතිවලට ආදරය කරනවා. බල්ලා අපේ බලු ගති නොසළකා අපට ආදරය කරනවා. එහෙම නේද?

      Delete
  3. ටොප් ක්ලාස් ලියවිල්ලක්!!!! අන්තිම වාක්‍යය සමස්ථය කැටිකර දක්වනවා. හොඳ අදහස් දැක්වීමක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. දිරි ගැන්වීම අගය කරමි.

      Delete
  4. මම තුන වසරේ ඉගෙනුම ලබමින් සිටි කාලයේ බම්බලපිටියේ ලේඛා ස්ටුඩියෝව අසල ගැවසුනු බැල්ලක වූවාය​. අපගේ පාසල් බස් රථය නවත්වන්නේ ලේඛා ස්ටුඩියෝව ඉදිරිපිටය​. මේ නිසා බොහෝ දින වල උදෑසන මේ බැල්ල කුඩා පාසල් ළමුන් අතර දැවටී සිටියාය​. ළමුන් සමහර විට ගෙදරින් ගෙන එන බනිසක් හෝ පාන් කෑල්ලක් ඇයට දෙති. පැටවු ගසා සිටි මේ බැල්ල සමහර විට අප දෙන පාන් කෑල්ල හෝ බනිස් ගෙඩිය කටින් ගෙන පැටවුන්ට කෑමට ගෙන ගියාය​.

    වරක් අප පාසල් බස් රථය එන තෙක් ලේඛා ස්ටුඩියෝව අසල සිටියෙමු. සමර පාට මෙම බැල්ලද අප අතර සිටියාය​. එක් වරම දැල් ගැසූ වාහනයක් පැමින අප ඉදිරියේ නැවැත්වීය​. එම වාහනයෙන් සරමක් ඇඳි මධ්‍යම වයසේ මිනිසෙකු බැස්සේය​. ඔහු අත ළණු වලින් සෑදූ තොන්ඩුවක් තිබුනේය​.යම් කිසි නරක දෙයක් සිදු වනු ඇතැයි මගේ සිත කීවේය​. ඔහු තොණ්ඩුව බැල්ලගේ ගෙලට දමා ඌව වාහනයට දමා ගත්තේය​.

    ළප​ටි මා කුමක් කරන්නද ? මම කුඩා අතින් මිට මොලවා වාහනයේ බඳට ගැසුවෙමි. " මේ ලේඛා එකේ බල්ලා " මම කෑගැසුවෙමි. එහෙත් වාහනය බැල්ල රැගෙන පිටත් විය​. එදින පාසලේ මට කිසිදු වැඩක් කිරීමට නොහැකි විය​. බැල්ලට සිදු වූයේ කුමක්ද ? ඔවුන් ගෑස් දමා බැල්ල මරා දමයිද ? ඇයගේ කුඩා පැටවුන්ට වන්නේ කුමක් ද ? ඔවුන් මව සොයා අඞයිද ? දහසකුත් එකක් ප්‍රශ්න වල මම ගිලී සිටියෙමි. අද වූවද මට තොණ්ඩුව ගෙලට සිරවී ජීවිතය බේරා ගැනීමට බැල්ල යෙදූ අසාර්ථක උත්සහය සිහිපත් වේ.

    ReplyDelete
    Replies
    1. මේ වගේ සංවේදී දේකට මුහුණ දුන්නාම ඒක මුලු ජීවිතේටම කම්පනයක්

      Delete
  5. අපේ රටේ බල්ලා ගැන ජනප්‍රියම ගායනය වන්නේ “පුංදි බලු රාලේ“ නැමති කවියයි. ;
    පුංචි බළු රාලේ
    මම ගෙදර නැති වේලේ
    කවුද මගේ බෝලේ
    පෙරල පෙරලා උන්නෙ මිදුලේ

    ReplyDelete
    Replies
    1. රුවන්..... මේක කොහොමද ....කාටත් අමතක ෆ්‍රෙඩි සිල්වාගේ බල්ලා..
      කාටත් අමතක ෆ්‍රෙඩි සිල්වාගේ බල්ලා

      Delete
    2. ප්‍රේමකීර්ති- ෆ්‍රෙඩි සිල්වා සුසංයෝජනයෙන් හැදුනු සමාජ උපහාසාත්මක ගීත ගැන අද කතා වෙනවා අඩුයි. බොරු කකුල් කාරයෝ...ගහපල්ලා බං පෙත්සම් , කරත්තයක හඬ ඇහුනම යන්න හිතෙනවා පාරට ..වගේ ගීත බොහොමයක් එදාට වඩා අදට හරියටම වලංගුයි. තව ගොඩාක් තියෙනවා.

      Delete
    3. ආරොන් මාමා ගීතය නම් වඩාත් වටිනවා.

      Delete
    4. මගේ දෝනියාගේ කැමතිම සින්දුවක් පුංචි බලුරාල

      Delete
  6. මල් මල්ලියාගේ ලියවිල්ල මල් හතයි....ජයවේවා..!

    ReplyDelete
  7. බල්ලො කියන්නෙ ගස්ලබ්බ දැක්ක උසස්ම ගති තියන සතෙක්.හරිම හිතවත් වෙලා පවුලේ කෙනෙක් බවට ස්වෙච්ඡාවෙන්ම පත්වෙනවා.ඇස් වලින් කතාකරන්න රුසියො..
    පුහුල් සහ ඌරුමස් වලින් හදන සුප් එකක් නම් බීල තියනවා ඒකත් මල් හතයි.හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔව්. පොඩි බලු පැටව් අවධානය ගන්න කරන සමහර වැඩ හරියට පොඩි දරුවො වගේ

      Delete
  8. මල් හතයි කතාව.
    පාතකඩ පැත්තෙත් ඔය පිස්සු බල්ලො කාපුවම වෙදකං කරන තැනක් තිබ්බ. තුවාලෙට කට තියල විස උරනවයි කියල තමයි අහල තිබ්බෙ.

    ReplyDelete
    Replies
    1. ඉස්සර අපේ පැත්තේ මේ වෙදකම් හරියට කෙරුනා. හැබැයි විෂ උරන්නේ නෑ. එහෙම කලේ සර්ප විෂට

      Delete
  9. /*.....බල්ලා ගැන ජනප්‍රිය වූ ලෝක ප්‍රසිද්ධ ගීතය “Who let the gods out” ය. මේක අපේ අයියලා සිංහලයට හදා ගත්තේ කවුද බල්ලා එලියට දැම්මේ කියාය ...*/

    දෙයියන්ට ඔප්පු වෙච්චාවේ.....!!!

    ReplyDelete
  10. විවාහ වීමට වඩා බල්ලෙකු ඇතිකිරීම හොඳයි කියා කියවෙන ෆේස්බුක් පෝස්ට් එකක් මතක් වුනා. බිරිඳ මෙන් නොව පරක්කුවී පැමිණෙන තරමට බල්ලාගේ ආදරය වැඩිය. වෙනත් බල්ලකු සුරතල් කලාට බල්ලා විරුද්ධ නොවේ. ආදී වශයෙන්.

    බල්ලාට දැමිය යුතු හොඳම නම 'කයි' යන්නය. අමුත්තන් පැමිණෙන විට බල්ල බුරාගෙන යනවිට ඔබ කයි-කයි යනුවෙන් බල්ලාට කථා කලවිට අමුත්තන් ආත බූත කඩාගෙන දුවනු ඇත.

    ReplyDelete
    Replies
    1. හැැබයි ඉයන් ගෙදරට පොඩි බලු පැටියෙක් ගෙනාවාම ගෙදර ඉන්න බල්ලා හුගක් වෙලාවට ගෙදරින් යනවා.

      Delete
  11. Replies
    1. බල්ලා කෙරෙහි ඇති වූ කරුණාවෙන් ලියන ලද බලු කථාවකි.

      Delete
  12. සෝක් බලුකතාව.

    blog එක මුල සිට අගටම කියෙව්වග දිගටම ලියන් යමු

    ReplyDelete
    Replies
    1. ඔව්...ඔව්. මල් මල්ලි දිගටම ලියන්න. අපි එනවා කියවන්න.

      Delete
    2. දෙදෙනාටම බොහොමත්ම ස්තුතියි

      Delete
  13. කැමතිම ජීවියා

    ReplyDelete
  14. බල්ලො හරි විහිළුකාරයෝය. ලකියා අපේ නැන්දම්මව විහිළුවට ගන්න රුසියෙකි.

    ReplyDelete
    Replies
    1. ඔව් උන් හදන්නේ අපිව අවුස්සලා සෙල්ලමට ඇදලා ගන්න. පොඩි එවුන් වගේ තමයි

      Delete
  15. මල්,

    නියමයි බං..ටොප් ක්ලාස්....:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රවී. මට මුල් කාලේ රවී ගැන කෙනෙක් කමෙන්ට් කරලා තිබුණා. අතීත කාමයට බොහොම කැමති කෙනෙක් කියලා.

      Delete