පුංචි දියණියත්, බිරිඳත් සුව නින්දේ. බාගෙට විවර කරලා තිබුනු ජනේලයෙන් සිහිල්
සුළං රැල්ලක් කාමරයට ඇදිලා ආවා. හුඟ කාලෙකින් ඇදහැලුනු වර්ෂාවත් එක්ක මෙතෙක් කල්
පැවති කර්කෂ රෂ්මිය මැකිලා ගිහින්. යන්තම් සිරිපොද වැස්සක් වැටෙන සිලි සිලි හඬ
ඇහෙනවා. සිගරැට්ටුවකුත් ලයිටරයත් අරන්
බැල්කනියට ආවේ මේ සුන්දරත්වය විඳින්න ඕන හුදකලාවත් එක්ක කියන හැඟීමත් එක්ක.
පාරේ සවිකරලා තියෙන විදුලි පහනට අවට ඒකාලෝක වෙලා. ඒ ලයිට් එලියට ලස්සනට
වැහිපොද වැටෙන විදිහ පේනවා. පුංචි මීදුමකුත් තියෙනවා. මතකයට එන්නේ නුවරඑළිය. සිගරුට්ටුව
පත්තුකරලා දුම් වලල්ලක් පිටකරලා මේ වගේ දර්ශනයක් බලාගෙන ඉන්න ලැබෙන්නේ කළාතුරකින්.
ලයිට් එලියට වත්තේ කොනකට වෙන්න හිටවලා තියෙන සමන් පිච්ච මල් වැලේ මල් පිපිලා තියෙන විදිහ
පේනවා. ලාවට සමන් මල් සුවඳක් පැතිරිලා ගිහින්. මේ සමන් මල් සුවඳ මගේ ජීවිතේට
ගොඩක් සමීපයි. ඒ අතරින් අසල නිවසක ක්‍රියාත්මක කර ඇති රේඩියෝවකින් නිකුත්වන භාතිය
සහ උමාරියා ගායනා කරන ගීතයක් හෙමිහිට වගේ ඇහෙනවා.
වලාකුල් වියන් තනාලා ...... ඉරේ රැස් නිවා
දමා
වසන්තේ අරන් ඇවිල්ලා ...... සිහිල් සේලයෙන්
වෙලා
මේ
ගීතයත් එක්කම ඇද හැලෙන වැස්සට තෙමෙන පුංචි සමන් පිච්ච මල දැක්ක මගේ හිතේ හැංගිලා
තිබුන ආදරණීය හීනයකට නැවතත් පණ ලැබුනා. ඒක හීනයක් විතරයි. ඒ හීනය විස්තර කරන
එක නම් තේරුමක් නෑ. ඒත් හීන, වැස්ස කවදාවත් ඉවර වෙන දේවල් නෙමෙයි. මාස ගාණක් පෑව්වත් කොයි මොහොතක
හෝ නැවතත් සුපුරුදු විදිහට වැස්ස ඇද හැලෙනවා. හීන කවදාවත් පෙනිලා ඉවර වෙන්නේ නෑ. අපේ
මතකයනුත් ඒ එක්කම නැවතත් අවදි වෙනවා.
ඒ මම සහභාගී වූ ප්‍රථම විදේශ පර්යේෂණ වැඩමුලුව. රටවල් පනහකට ආසන්න ප්‍රමාණයකින්
තරුණ උගතුන්, වෘත්තිකයින් මෙයට සහභාගීවෙලා හිටියා. අපි නවාතැන් ගත්තේ වැඩමුලුව
පැවැත්වෙන ආයතන භූමියේම තිබූ නේවාසිකාගාරයක. රාත්‍රී ආහාරයට අපි සියලු දෙනා එහි
තිබූ අවන්හලට ගියා. මම ඇයව මුලින්ම දැක්කේ එතනදී.
කෑම බෙදාගෙන මම වටපිට බැලුවේ වාඩි වෙන්න තැනක් තියෙනවද බලන්න. ලෝකේ රටවල්
50 කින් විතර ආව තරුණ තරුණියෝ හැමතැනම වාඩිවෙලා සතුටු සාමීචියේ යෙදෙනවා. හැම මේසෙම
පිරිලා. මම දැක්කා එක තැනක පුටුවක් හිස්ව තියෙනවා. මම එතනට ගියා වාඩිවෙන්න. ඒත් එතනදී එකපාරටම දැක්ක රූපය නිසා මගෙ හිත
තිගැස්සුනේ ඇයිද කියල මට තේරැනේ නෑ. කාලයකට ඉස්සර මගේ හිතේ ඇඳිලා තිබුණ සිහින දෙව් දුව කථා කරන විදියට කථා කරන, හිනා වෙන විදියට හිනා වෙන
සොදුරු රුවැත්තියක් මම ඉදිරියේ. “මේ අයි සිට් හියර්“ මම ආචාරශීලීව ඇහුවා. “යර්ස්
ෂුවර්. ආ යූ ප්‍රොම් ශ්‍රී ලංකා“. ඒ එයාගේ
යාලුවගේ හඬ. “යර්ස්. මයි නේම් ඊස් ශ්‍රීණාත්. ඇන්ඩ් යූ“ දෙබස පටන් ගත්තේ ඒ විදිහට.
තවත් මොනමොනවදෝ ඒ රුවැත්තියගේ යාලුවා
මගෙන් ඇහුවා. මමත් ඒවට උත්තර දුන්න.
නමුත් ඒ රුවැත්තිය යාලුවා එක්ක කථා කලාට මාත් එක්ක කථා කලේ නෑ. ටික වෙලාවක් කථාකරද්දි එක පාරටම මට ඇගේ මුහුණ
දිහා කෙලින්ම බැලුනා. හරියටම ඒ රුවැත්තියගේ දෑසයි මගේ දෑසයි එකිනෙක පැටලුනේ ඒ
වෙලාවෙදි. ඒ බැල්ම මගේ ආත්මයේ ගැඹුරටම කිඳා බැස්සා කියලා මට දැනුනා. කෝල විදිහට
සිනාසුනත් බලාපොරොත්තු සහගත දීප්තිමත් බවක් ඒ දෑස තුළ මම දැක්කා. පලමු දිනයේදිම
හුගක් දේවල් කථා කලා. වැඩියෙන් කථාකලේ ඒ රුවැත්තියගේ යාලුවා. “ආ යූ මැරීඩ්". "නොට්
යෙට්“. “ඩූ යූ හෑව් බෝයි ෆ්‍රෙන්ඩ්“. නෝ නෝ“. ඒ යාලුවගේ විස්තර. “හව් අබවුට් හර්“
මම ඇහුවේ මගේ හිතට එබුණු රුවැත්තියගැන. “ඔහ් ෂී හෑස් බෝයි ෆ්‍රෙන්ඩ්“. මම එතනින්
එහා මොකුත් ඇහුවේ නෑ. ඇයත් බිම බලාගත්තා. මගේ
විස්තර අහපුවාම මම ෆෝන් එකේ තිබුණු වයිෆ්ගෙයි දුවගෙයි ෆොටෝ එයාලට පෙන්නුවා.
පහුවෙනිදා අපි වැඩමුලුවට සහභාගි වෙන්න ගියා. කලින් දින දුටු රුවැත්තියත්
මගේ සෙසන් එකටම ඇවිත්. පෙරදා කථාකල දැන ඇඳුනුම්කමට අපි වාඩි උනේ එකම පේලියක.
පොඩ්ඩක් රට තොට විස්තර කථා කරලා මම නිකමට වගේ ඇහුවෙ ඇගේ පෙම්වතා මොනවද කරන්නේ
කියලා. “ නෝ නෝ අයි හෑව් නෝ බෝයි ෆ්‍රෙන්ඩ්. හී ඊස් මයි එක්ස් බෝයි ෆ්‍රෙන්ඩ්“. එතනින් එහාට ඒ කථාව ඇදුනේ නෑ. එදා
දිවා ආහාරයට මමත් සමග ඇය සහ ඇගේ මිතුරිය පැමිණුනා. මේ හිතවත්කම දින කිහිපයක්ම
පැවතුනා. අපි දිනපතා හමුඋනා. මූණු පොතේ යාලුවෝ
උනා. දුරකථන අංක හුවමාරු උනා. සමහරවිට පුද්ගලික දේවල් පවා දෙදෙනා කථා උනා. එයාගේ මුණු
පොතේ චූටි බබෙක් එක්ක ඉන්න ෆෝටෝ එකක් තිබුණා. ඒත් මම ඇහුවේ නෑ බබා කාගෙද කියලා. දිනක්
මම ඇගෙන් ඇසුවා ඔයාගේ රටේ තියෙන ලස්සනම මල මොකක්ද කියලා. ඇය එකවිටම කිව්වේ
ජැස්මින් (සමන් පිච්ච)
මුලින් මේක ප්‍රකාශිත ආදරයක් උනේ නෑ. අප දෙන්න දැනගෙන හිටියා අපි අතර
බැදීමක් තියෙනවා කියලා. අනිත් අයට නොදැනෙන්න ආදරය කරනකොට තමයි ආදරේ නියම සුන්දරත්වය
විඳින්න පුලුවන් කියලා මම අදටත් විශ්වාස කරන්නේ. දෑසින් ඉඟි බිඟි පාද්දි, රොමෑන්ටික් දෙයක් ලියපු කඩදාසියක් හෙමිහිට අතට ගුලි කරලා ප්‍රතිචාරය බලන්
ඉන්නකොට,
වෙන කෙනෙක් එක්ක කථා කරනකොට මුහුණ ඉරිසියාවෙන් පිරෙද්දි,
හොරෙන් මුහුණ දිහා බලන් ඉඳිද්දි, දෑසට දෑස හමු වෙනකොට තියෙන චමත්කාරය හරිම
සොඳුරුයි. සමහර වෙලාවට රෑ කෑම කාලා අනිත් අය පොඩ්ඩක් එහාට මෙහාට වෙනකම් ඉඳලා
කිට්ටුව තියෙන සිමෙන්ති බැම්මේ වාඩිවෙලා දෙන්නා එක්ක කථා කරනවා. කථා කරනවා කියන්නේ
වැඩිපුරම පොඩි උන් දෙන්නෙක් වගේ පිස්සු කියෝනවා. එහෙම දවසක තමයි බලාපොරොත්තු උනේ නැති
වෙලාවක ඇය මගේ කම්මුලට පලවෙනි වරට පුංචි හාදුවක් දුන්නේ.
රැයේ සීතලෙන් මිදිලා … තුෂාරෙන් මුවා
වෙලා
හිඳින්නේ ඔබේ ළඟයි මා … සුසුම් උණුසුමක්
පතා …
උමාරියාගෙයි,
භාතියගෙයි හඬ ඇහෙනවා.
ඇය ඒ දවස් කීපය පුරාම මගේ ලඟින්ම සිටියා. ඒ සුමුදු ආදරයේ පහස මගේ ආත්මය සිසාරා දැනෙමින්
තිබුනා. මම ඇගේ සුන්දරත්වය දිහා වශීකෘතව බලා ගෙන හිටියා. සිරි පොද වැස්ස, ඇය පාවිච්චි කරපු ජැස්මින් විලවුන්
සුවද, ලස්සනට මල් පිපුනු රොබෙසියා ගස්, නේවාසිකාගාරය ඉදිරිපිට ලස්සනට පිපිලා
හිනැහෙන රෝස මල්, වැහිසීතලෙන් බේරෙන්න එකිනෙකාට තුරුල් වෙලා ඉන්නා හමින්බර්ඩ්
ජෝඩුව, ඇත්තට සොබා දහමේ රිද්මයත් එක්ක
ආදරේ දැනෙන හැටි කොයි තරම් අපුරුද? සුන්දරද? සිහින් වැහි පොදත් එක්ක එන සුළං රැලි අපිව තව
තවත් ලං කරද්දී ඇගෙන් දැණුනු උණුසුමට මම තවත් එයාට ලං උනා. ඒ උණුහුම තව තවත් විඳ
ගන්න මම ඇයව තවත් මා වෙත ලං කර ගත්තා. සුමුදු සුළං පොදක්
හෙමිහිට විත් ඇගේ සොඳුරු වත සිප ගෙන ගියේ ලස්සන කෙස් කළඹ හෙමිහිට නලවමින්. ඒ හැඟුම වචනයෙන් විස්තර කරන්න නම් මට කවදාවත් පුළුවන්
වෙන්නේ නෑ. ඇත්තටම ඇය සුරංගනාවියක්. ජීවිතේ වෙනකිසි කලෙක නොවිදි නොදුටු අමුතු
සුන්දරත්වයක් ඒ දින කිහිපය තුළ මම ඇය තුළින් වින්දා.
නමුත් අපිට තිබුනේ මාස දෙකක් වගේ කෙටි කාලයක්. අපේ වැඩමුලුව අවසන් උනා.
නේවාසිකාගාරයේ හිටිය එක්කෙනා දෙන්නා ආපහු තමුන්ගේ රටවලට යන්න පටන් ගත්තා. අන්තිම
දවසට කලින් දවසේ ඉතුරු උනේ අපි කිහිප දෙනෙක් විතරයි. මෙච්චරකල් සතුටෙන් සිනාවෙන්
පිරිලා තිබුණු පරිසරය පාලුවට ගිහින් වගේ දැනුනා. එයා මම ලඟට වෙලා හුරතල් දඟකාරකම්
කරමින් හිටියත් දෑස්වල මොකක්දෝ අසරණකමක් ඇඳිලා තිබුණා. එදා දවසත් ගෙවිලා ගිහින් අප වෙන් වෙන දිනය උදා උනා. එදා උදෙන්ම
කොහෙන්දෝ සොයාගෙන ආ ජැස්මින් මල් දෝතක් මගේ කමිසයේ වම්පස සාක්කුවේ ඇය තැම්පත්කලා. එදා
දවස පුරාම ඇය මා අසලින් සෙලවුනේවත් නෑ කිව්වොත් නිවැරදියි. අපිට ගුවන්තොටුපලට
යන්නට තිබුනේ එකට. එකම ගුවන්යානයේ ගමන්කරල වෙනත් ගුවන් තොටුපලකදී අපේ රටවලට යන
ගුවන්යානාවලට ගොඩවීමට තිබුණා. මොකක්දෝ හේතුවකට ඇයටත් මටත් හිමිවී තිබුනේ එක ලඟ
අසුන්. ගුවන් ගමන අවසාන වනතෙක් මගේ උරහිසේ ඇගේ හිස තබාගෙන සිටියා. සමහරවිට ඇගේ කඳුලුවල
තෙතමනය මගේ උරහිසට දැනුනා.
ට්‍රාන්සිස්ට් තිබුණු ගුවන්තොටුපලේ අපට පැය 5 ක පමණ කාලයක් ගෙවන්න තිබුණා. ඒ
පැය 5 ම ඇගේ අත මගේ අත මෘදුව වෙලාගෙන තිබුනේ. ඩියුටි ෆ්‍රී ෂොප් එකට ඇවිදින්න
ගියාම ලස්සන පුංචි මුදුවක් ඇය මගේ අතේ පැලැන්ඳුවා. මම ඇයට ලස්සන හිම කබායක් තෑගි
කලා. අන්තිමට අපි වෙන්වෙන මොහොත උදා උනා. ඇය කඳුලු පිරුනු දෙනෙතින් මගේ දෑස් දිහාම
බලාගෙන හිටියා. ඇය මගෙන් කලින් අසාගෙන තිබුනා අපේ රටේ අය උපරිම ගෞරවයක් ලැබෙන
විදිහට සමුදෙන ආකාරය. බොහෝ වේලාවක් මගේ පපුතුරේ මුහුණ සගවාගෙන සිටි ඇය මට
සමුදුන්නේ අපේ සම්ප්‍රදායට අනුව දෙපා අල්ලා වැඳ ආචාර කරමින්. ඈතට යනකම්ම බොඳවුනු
දෙනෙතින් මම ඇය දිහා බලාගෙන හිටියා. ගුවන් යානයට ඇතුල් වෙන්න පෙර ඇය යලිත් මම දිහා
බැලුවා. මට ඔයාව දාලා යන්න බෑ කියන අසරණ හැඟීම ඒ මූනේ තිබුණේ. අවසාන වතාවටත්
අතවනලා ඇය නොපෙනී ගියා.
දසන්තේ පියා සලාලා … සඳේ රැස් හෙමින් උනා …
සොයන්නේ ඔබේ රුවයි මා … කොහේ හැංගුණේ
කියා …
අයෙත් භාතිය, උමාරියා ශෝක භරිත හඬින් ගායනා කරනවා. මට හිතෙනවා මේ කියන්නේ
මටමද කියලා.
දැන් වැස්ස නතරවෙලා. පාන්දර 1 ට විතර ඇති. හිස් අහසේ පේන්න තියෙන්නේ නිල් තරුකැට විතරයි. හුඟක් ඈතින් දිලෙමින්
නිවෙමින් තියෙන තාරුකා මගේ හැඟීම්වලට ඔච්චම් කරනවදෝ කියලා මට හිතුනා. ජීවිතේ කෙටි
කාලයකට විඳින්න ලැබුනු ඒ චමත්කාරජනක ආදරය වචනවලට පෙරලන එක ලේසි වැඩක් නෙමෙයි. නව
යොවුන්විය පහුකරලා ජීවිතේ මැදිවියට ලංවෙලා හිටියත් යොවුන් ප්‍රේමයක පැවති මිහිරියාව
ඒ පරිණත ආදරය තුළින් ලැබුනේ කෙසේදැයි අදටත් මට හිතාගන්න බෑ.
භාතිය සහ උමාරියා ගැයූ ගීතය, සිහින් වැහි පොද, ජැස්මින් මල් සුවඳ ඒ සුන්දර යුවතිය මගේ මතකයට ගෙන ආවේ නිතැතින්ම. ඇයව
දුටු මුල්ම මොහොත, ඒ මුහුණට වශීවෙලා මම බලා සිටි ආකාරය, දෑසට දෑස හමුවූ අවස්ථාව, ආදරෙයි
නොකියා ආදරය කළහැටි, ටික කලකින් දෙදෙනාට වෙන්වී ආපසු සිය රටවලට යන්නට සිදුවූ හැටි
මේ සියලු දේ මුහුනේ සිහින්ව වැදී ඇදී ගිය සිනිඳු සේලයක් වගේ මතකයට නැගෙනවා. එදා විඳි සුන්දරත්වය
අද හීනයක් විතරයි. ආයෙත් ඒ සුන්දරත්වයට පාවෙලා යන්න ඇත්නම්. ඒ සොඳුරු සිත්තම් බොඳවූ
ඡායාවක් වගේ සිතේ මැවෙනවා.
පැතූ පෙම් පැතුම් මල් ඉගිලිලා
හැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
අනන්තේ සිසාරා රහසේමා
පියාඹන්න ආසයි ඔබ හා මා
ආයෙත් උමාරියා
ලයාන්විතව කියනවා.
මේ සුන්දරත්වයේ කිමිදී ඉන්න අතරතුරදී තමයි පහලින් ඇති ගීතයේ මුල්පද මටත්
නොදැනීම මිමිනුනේ. මගේ දෙවැනි විදේශ
ගමනෙදි දේශනයකට සහභාගී වෙන අතරතුර එය මා අතින් ගීත රචනාවක් බවට පත් උනා.
පමාවූ වසන්තය මල් පී පී සුන්දරයි
සිත දැවටෙනා සුවඳ හැඟුමකට අතවනයි
ජීවිතේ සුන්දරයි මල් සුවඳ හද ලඟයි
නමුත් මේ වසන්තය කෙටි කලයි එය නිමයි
සසර මග පැතු ලෙසේ ලංවෙන්න බැරිවෙලා
හද හැඟුම් අවදිකර අහම්බෙන් හමුවෙලා
පමාවූ වසන්තය පැමිණිවිට තටු සලා
නෙලනු බැරි මල් පිපේ පෙති අගින් පිනි සලා
වසන්තය නිමාවී සරත් කල පැමිණිලා
පිපුණු මල් පෙති සැලී විහඟ ගී ගොලු වෙලා
අහම්බෙන් නෙත ගැටුනු සමන් මල සිහි වෙලා
සුවඳ පමණක් විඳිමි දුරු රටක තනිවෙලා
දුරු රටකදී දැක දෙහදක බැඳි හාද
ReplyDeleteසිත් සන්තොසින් දුන් මුව මී බිව්වාද?
පෙම් සුව සොයා බැඳුනත් දෙහදක හාද
Deleteරොන්සුව ලැබුනු බව යලි කිවයුතු වේද
පෙම් සුව සොයා බැඳුනත් දෙහදක හාද
Deleteරොන්සුව ලැබුනු බව යලි කිවයුතු වේද
මරු
හම්මේ මේ පාර නෙවෙයි ද සීන් එක උනේ
ReplyDeleteපට්ට රොමෑන්ස්...
රස්තා මේක හීනයක් විතරයි
Deleteදැනෙන්න ලියලා පට්ට.. !
ReplyDeleteමේක ලියද්දි මම මගේ වයිෆ් එක්ක ලව් කරපු කාලේ මතක් උනා. ඒකෙන් තමයි මේකට රොමෑන්ස් ගතිය වැඩියෙම එකතු උනේ.
Deleteබොහොම ලස්සනයි !
ReplyDeleteස්තුතියි සා රසතුමා
Deleteබිඳෙන් බිඳ වැහි සිසිල හදවතට දැනෙද්දී
ReplyDeleteසමන් කැකුළිගෙ සුවඳ ගත පුරා දැනෙද්දී
තුටින් සිටි ඒ දිනය යළි යළිත් මැවෙද්දී
හිතින් නිති ඈ ළඟයි අතීතය රඟද්දී.....
රහ උතුරන ලිපියක් කුරහන්.
ජයවේවා!!!
දැනුනත් අදත් සිහිනෙන් විඳි පෙම් සුවඳ
Deleteඅද දෙතැනකය පෙම් රස විඳි ඒ දෙහද
සතුටින් සිටිය මුත් දෙදෙනා බැඳ හාද
සිහිනෙන් ගෑ සුවඳක්ය ජැස්මින් මල් සුවඳ
ස්තුතියි දුමින්ද
සනීපෙට කියවගෙන ගියා... නියමයි.
ReplyDeleteඒ හීනෙට මම කැමතියි.
ජයවේවා..!!
සතුතියි ගස් ලබ්බො. මමත් ඒ හීනෙට කැමතියි. හැබැයි ඒක දැන් හීනයක් විතරයි.
Deleteගුණදාස ලියනගේ මහත්මයාගෙ නවකථාවක් තියනව "සිත් සන්තොසින් ගුවනේදී බැඳි හාද" කියල.
ReplyDeleteබටහිර ජර්මනියෙ (හැත්තෑව දශකයෙ ජර්මනි දෙකක් තිබ්බ කාලෙ මේ කතාව ලියවුනේ) අධ්‍යයන චාරිකාවකට යන ලංකාවෙ පුවත්පත් කලාවේදියෙක් සහ ඒ චාරිකාවටම එක්වෙන ඉන්දීය පුවත්පත් කලාවේදිනියක් අතර ඇතිවන සෙනෙහසක් ගැන ලියවුනු කතාවක්. ඒ දෙන්නම විවාහකයි..
මල්.... අපූරුවට ලියල තියනව කතාව..නියමයි...:)
එහෙනම් ඒ කථාව ලියවෙනකොට මම ඉපදිලත් නැතිව ඇති රවි. කෝකටත් මම ලංකාවට ආවාම ඒකත් හොයලා කියවන්නම්. කොහොමත් මේ වගේ ගමන් ගියාම එහෙම දේවල් වෙනවා. හැබැයි මේක හීනයක් රවී. මොකද මම තාම මෙහෙ ඉන්නේ. ස්තුතියි. රවී නෙලුම් යායේ වැඩ එහෙම කොහොමද දන්නේ නෑ.
Deleteඒ කතාව මං කියෙව්වෙ හතර පහ වසර වලදී. තේරුං ගන්න බැරි උනා ඒ දවස්වල. දැං කියල්ලකො සුරංගයා චතුර සේනාරත්නගෙ මුත්ත කියල.
Deleteඋඹ ඔය කිව්වේ හීනයක් ගැනනේ...
ReplyDelete2014 අවුරුද්දේ.. හරියටම කිව්වොත් ජූලි මාසේ දවසක මේ වගේම වෙන්වීමක් හමාඩ් එයාර් පෝට් එකේදී වෙනවා....
ඒ කතාව තාමත් මගේ බ්ලොග් කට්ටේ draft එකේ තියනවා...
බොඳ වෙච්චි ඇස් තියෙන එකෙක් ඒක පබ්ලිෂ් කරම්දෝ නොකරම්දෝ කියලා හිත හිතා ඉන්නවා..
ඒක ඇත්ත කතාවක්!
දැම්මොත් පවුල් අවුල් වෙන කථාවක්ද. එහෙම නැත්නම් දාපන්නෝ. අපටත් බලලා ආදර්ශයක් ගන්න.
Deleteහීනේ වගේම පද රචනාවත් මරු........
ReplyDeleteමේක මම ලෙක්චර් එකක ඉන්න ගමන් කම්මැලිකමට ලිව්වේ අරුණ.
Deleteහප්පේ මේක හීනයක් විතරමද ඈ? මොනවා උනත් මැවිලා පේන විදිහට ලියලා තියනවා.
ReplyDeleteඔව් සයුරී මේක හීනයක් විතරමයි.
ReplyDeleteඇත්තේද නැති නැත්තේ ද නැති මල් මල්ලිගේ අපුරූ කතාවක් :)
ReplyDeleteඇත්තේද නැති නැත්තේද නැති කිව්වේ. ඒක තේරුනේ නැති.
Deleteහීනයක් කියලා කිව්වේ :)
Deleteමම මෙහෙම හමුවීමක් සහ වෙන්වීමක් දැක්ක 2006 ස්විට්සර්ලන්තේදී...පිරිමි ළමයා ඊජිප්තුවේ, ගැහැණු ළමයා මෙක්සිකන්....හැබැයි ඒ දෙන්නගේ වැඩිපුරම තියෙන්න ඇත්තේ ලිංගිකත්වයට නැබුරු වුන සම්බන්ධයක්...පිට රටවල සමුළු වලදී ඔය වගේ දේවල් දකින එක සාමාන්‍ය දෙයක්...මොකද ලැබෙන නිදහස් අසීමාන්තික නිසා...අනිත් එක විදේශිකයෝ තමන්ගේ හැඟීම් ප්‍රකශ කරන්න දෙපාරක් නොහිතන නිසා...ඒ වගේම උන්ට එක රෑකට දෙකකට ආදර සම්බන්ධතා ඇති කරගෙන හොඳට හුරු නිසා...හරියට නිකම් ආස හිතෙන මෙනු එකක් කැමති රෙස්ටුරන්ට් එකින් කාල, හොඳට රස විඳලා, රෑ වෙලා ගෙදර ගියා වගේ තමයි...
ReplyDeleteකොහොම උනත් කතාව නම් හරිම රහට ලියල තියනවා මල් මල්ලි...
ඒක ඇත්ත. මෙහෙදි ආසියාතික අය ටිකක් පිලිවෙලට ඉන්නවා. ලංකාවේ අය නම් ඇත්තටම හොඳයි. අනිත් රටවල අය ඔය කියන විදිහට තමයි හුඟක්. ඒක උන්ට සාමාන්‍ය දෙයක්.
Deleteමං මේ අපේ එකාලට කියන්නෙත් පිටරටවලිං කෙල්ලො හොයං ලව් කොරපල්ල කියල. කඩ්ඩ ටිකක් පොලිස් කරගත්තනං මදෑ. බුකිය පුරා කෙල්ලො.
ReplyDeleteඅපොයි මෙහෙ ඇවිත් ඉන්න උන්ගෙන් කඩ්ඩ පොලිෂ් කරගන්න ගියොත් අපි දන්න කඩ්ඩටත් කෙලවෙනවා බං
Deleteඅරේ සුප්පර් ඩා ... අපි දැන ගත්ත ගොනා හැරෙනකොට පොල් පැලේ කන්න තමා කියල ... හික් ... හික් .....
ReplyDeleteකණ්ඩා පද හදන්න එපා බං. මම හතර පෝයට සිල් ගන්න මිනිහා.
ReplyDeleteලස්ස්නට ලියල තියෙනවා...
ReplyDeleteමේක කියවද්දි මට මතක් උනේ සිත් සතොසින් ගුවනේදි බැදි හාද...කියන පොත.ඒක අවසාන වෙන්නෙනම් වෙන්වීමකින් නෙමේ.
රවිත් මේ පොත ගැන කියලා තිබුනා ප්‍රසාද්. මමත් ඒක කියවන්න හෙව්වා කිව්වට පස්සේ. ඒත් තවම හොයාගන්න ලැබුනේ නෑ.
ReplyDelete