බ්ලොග් එකක් කිරීමට මා ධෛර්යමත් කරමින් මහත්
උපකාර කළ අටමයියාටත්, බ්ලොග් එකට අවශ්‍ය තාක්ෂණික දැනුවත් කිරීම කළ මාතලන්ටත්, මේ
දෙදෙනාව මට හඳුන්වාදුන් හැලපයියාටත් මාගේ කෘතඥතාව මුලින්ම පිරිනමමි. එසේම පහන්
යායේ සයුරී විසින් ලබාදුන් දිරිමත්කිරීම් සහ උපදෙස් බැතියෙන් සිහිපත් කරමි.
මේ අය නොවන්නට මගේ බ්ලොග් සිහිනය දවල් සිහිනයක්ම
වන්නට ඉඩ තිබුණි. මට බ්ලොග් එකක් නිර්මාණය කිරීමට අවශ්‍ය බැව් කී විට අටමයියා ඔහුම
ස්වේච්ඡාවෙන් එය නිර්මාණය කරදීමට තරම් නිහතමානී විය. නමුත් අවසානයේ මා තීරණය කළේ
හරියන්න හෝ වරදින්න මා විසින්ම බ්ලොග් එකක් සෑදිය යුතු බවයි. එහාට මෙහාට දඟලා කෙසේ
හෝ ඉඩමේ වල්කොටා, කැපූ කැලේ ගිනි දමා, බිම පෙරලා, කුරහන්හේනේ පැල අටවා ගැනීමට
හැකිවිය. දඬුවැටේ සිට පැල ඇටවීම දක්වා කියා දුන්නේ මාතලන් ගුරැන්නාන්සේය.
කුරහන්හේන තවමත් කෝඩුකාරයෙකුගේ නවදැලි හේනක් නිසා වරදක් ඇතොත් ගුරැන්නාන්සේ විසින්
පෙන්වා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි. නැවතත් අටමයියා, හැලපයියා, මාතලන් සහ සයුරීට
ආයුබෝවේවායි ආවඩා හාපුරා කියා හේනට කුරහන් ඉසින්නට පටන් ගනිමි.