අප රටේ පවතින දුෂ්කර, අඩු පහසුකම් සහිත
ගම්මාන පිළිබඳව මම දැනුම් තේරැම් ඇති වියේදී ඇසුවෙමි. දුටුවෙමි. නමුත් මා කුඩා කල
ජීවත් වූ පරිසරය එකී දුෂ්කරතා, අඩු පහසුකම්වලින් පරිපූර්ණ වී තිබූ බව මට වැටහෙන්නේ
දැන්ය. එකල එම දුෂ්කරතා අප හට දුෂ්කරතා නොවීය. ඒවා සාමාන්‍ය ජීවිතයේ අංගයන් පමණක්
විය. තාර දැමූ මාර්ගයක් දැකීමට කිලෝ මීටර් 3.5 ක් පමණ පයින් යා යුතු, කරත්තය ප්‍රධාන
ප්‍රවාහන මාධ්‍ය වූ පන්සලක්, පාසැලක්, ක්‍රීඩා
පිටියක්, ප්‍රජා ශාලාවක් තබා අඩුම තරමින් ළදරැ පාසැලක්වත් නොතිබුණු, අමුඩ කෙටිය සහ
සරම ප්‍රධාන වස්ත්‍රය කරගත් පිරිමින්ද, රෙද්ද සහ හැට්ටය ඇඳි කාන්තාවන් සුලභ, නූගත්
ගැමියන්ගෙන් සමන්විත, මිත්‍යා විශ්වාසයන්ගෙන් පරිපූර්ණ මා කුඩාකළ ජීවත් වූ
දුම්මලදෙනිය ගමට අදටත් මා ආදරය කරමි.
