Tuesday, July 12, 2016

සුන්දර සහ අසුන්දර මතක

ගැමි දරැවෙකු විඳිනා සුන්දර සහ අසුන්දර අත්දැකීම් සමුදායක් මගේ ළමා කාලය තුළ විඳීමට මට හැකියාව ලැබුනි. දැන්  කුරහන් හේන නමින් බ්ලොග් එකක් කලද මා හට විඳගැනීමට නොහැකි වූයේ හේන් ගොවිතැන පිළිබඳ අත්දැකීම් පමණක් කීවොත් නිවැරදිය. ගම්මානයක, කෘෂිකාර්මික වටපිටාවක විඳිනා සෑම අත්දැකීමක්ම පාහේ විඳගැනීමට මට හැකියාව ලැබුණි. සමහර අත්දැකීම් ඒ කාලයේ හැටියට තරමක රලු  කර්කෂ ලෙසකින් දැනුනද අද අතීතය ස්මරණය කරමින් සිනාසීමට හේතු සාධක සපයා දෙන්නේ එම අත්දැකීම්ය.


 ගිනි තැපීම
සීතකරයි උඳුවප් මහ දුරැත්තේ .... යනුවෙන් මා කුඩා කල ඇසූ කවියක මුල් පදය මට මතක ඇත. මේ කවියේ සඳහන් ආකාරයටම දෙසැම්බර් සහ ජනවාරි මාස අධික ශීත කාලගුණයක් සහිත කාලයක් විය. අපේ නිවස  පැවතියේ තුන් පැත්තකින් වෙල් යායකට මායිමවය. වෙලත් අපේ ඉඩමත් අතරින් ගලා බැස්සේ ඇල පාරවල් දෙකකි. දෙසැම්බර් ජනවාරි කාලයේ උදයට මේ ඇලවල්වලට බැසීම අයිස් ඇලකට බසිනවා වැනි වැඩකි. ගමේ අවසන් කෙලවර වූයේ අපේ වත්තයි. ඉන් පසුව පැවතියේ කිලෝ මීටර් ගණනාවක් ඈතට දිවෙන වෙල් යායකි. වෙල් යාය දෙපැත්තේ අක්කර සිය ගනනක පොල් වතුය.

දෙසැම්බර් - ජනවාරි කාලයේදී වෙල් යාය පුරා උදේ පාන්දරට මීදුම සේ පැතිර පවතින පින්නත්, දවාලට නත්තල් කුණාටු වශයෙන් හඳුන්වන හිම වැස්සක් වැනි පොද වැස්සත් ඇති කරනුයේ නිදාගැනීමට උනන්දු කරවන කම්මැලිකමකි. මෙම කාලය කුඩා අපට සුන්දර අත්දැකීම් එක්කල කාලයක් විය. පාසැල් නිවාඩු දෙන මේ කාලයේ කොස් ගස් සහ දෙල් ගස්වලින් වැටෙනා කොල සවසට අතුගා ගොඩවල් ගැසීම අපේ සිරිතයි. එම කාලයට උදේ පාන්දරට ඇතිවන අධික ශීතලෙන් බේරීමට පාන්දර 5.30 පමණ අවදි වී එම රොඩු ගොඩවල්වලට ගිනි තබා වටේට ඉඳගෙන සීතතැපීම අපේ පුරැද්ද විය.  සමහරවිට  වැඩිහිටි පිරිමි සහ වයසක උදවියද මෙයට එකතුවෙති. අම්මලා තේ ටිකද මෙතනටම ගෙනැවිත් දෙයි. සමහරවිට මේ ගිනි ගොඩට අපි අවටින් අහුලාගතහැකි කොස් ඇට හෝ කජු ඇට දමා පුලුස්සා කන අවස්ථාද ඇත. කථා කියමින් සිසෙමින් ගෙවූ එම අවස්ථාවන් අද මට සිහි ගන්වන්නේ ගොඩ් මස්ට් බී ක්‍රේසි චිත්‍රපටයේ එන අප්‍රිකානු ගෝත්‍රික ජීවිතයයි. අද කාලයේ නම් අපේ දරැවෙකුට වුවද අපි ගිනි ගොඩක් ලඟට තබා ගෑස් ලිප අසලටවත් යන්නට දෙන්නේ නැත. 


බැරි වෙලාවත් මේ කාලයේ උදේ පාන්දරට වැස්සොත් කට්ටියම කුස්සියේ ලිප වටේට ඉඳගෙන සීත තැපීම සිදුවිය. සමහර විට වෙල් වපුරා ඇති කාලයක නම් අවටින් සොයාගතහැකි වියලි පොල් අතු, කොල අතු, පිදුරැ ආදිය උපයෝගී කරගෙන වෙලේ තරමක ඉඩ ඇති නියරක මේ ගිනිගොඩ ගැසෙන අවස්ථාද තිබුණි.

අපේ ක්‍රීඩා
අප කුඩා කල සෙල්ලම් කිරීමට අද මෙන් විසිතුරැ සෙල්ලම් බඩු හෝ වීඩියෝ ගේම් නොවීය. බට කොල තුවක්කුව, කුරැම්බැට්ට මැෂිම, ගොක් කොල නයි, ගොක්කොල ගිරව්, කොස් කොළ ඔටුන්න, පොල් කොට කරත්තය, පොල් පිති හරක්, කැටපෝලය, එල්ලේ පිත්ත වැනි අප විසින්ම නිර්මාණය කරගත් සරළ සෙල්ලම් බඩු කිහිපයක් අපට තිබූ ප්‍රධානතම විනෝද උපකරණ විය. 



මීට අමතරව බිං කුන්ඩන් ඇල්ලීම, ජිල් ගැසීම, චක්ගුඩු පැනීම, බට්ටා පැනීම, ගල් හත ගැසීම, ටකර ගැසීම, හැංගිමුත්තං, අල්ලන් සෙල්ලන්, වලකජු ගැසීම, කල්ලි ගැසීම, එලුවන් කෑම, සෙල්ලන් කඩ දැමීම, සෙල්ලන් ගෙවල් දැමීම, සෙල්ලම් බත් ඉවීම අප පොඩි කාලයේ නිරත වූ ක්‍රීඩාවන්ය. මේ අතරින් ටකර ගැසීම, ගල් හත ගැසීම අම්බානකට ගුටි කෑමට සිදුවන ක්‍රීඩාවන්ය.


මීට අමතරව එකල ජනප්‍රියව තිබූ රොබින්හුඩ්, ටාසන් වැනි රෑපවාහිනී වැඩසටහන් අනුකරණය කරමින් රඟදැක්වීමටද පසුකාලීනව අප හුරැ උනෙමු. ඒ අපේ කරදඬු උස් මහත්වීගෙන එන කාලයේය. රොබින් හුඩ් කථාව අනුකරණය කරනවිට රොබින්හුඩ් කල්ලිය සහ රජුගේ කල්ලිය වශයෙන් දෙපිලක්වන අතර අප විසින් කැලෑ කෝටු වලින් සාදාගත් දුනු සහ ඊතල වලින්  සටන් කරන්නෙමු . දිනක් මා විසින් විදිනු ලැබූ ඊතල පහරකට උසපේමේ මාමාගේ පුතා වූ ජයන්තගේ ඇස අසල තුවාල වී ලේ ගැලීය. තව දශමයක් එහා මෙහා වී නම් ඇස තුවාල වන්නට ඉඩ තිබුණි.


ටාසන් කිරීම යනු කුඩා පිහියක් ගෙන ටාසන් ආකාරයෙන් රඟ දැක්වීමයි. ගසක ලණුවක් හෝ වැලක් එල්ලා ටාසන් වැල්වල එල්ලෙමින් ගමන් කරනා ආකාරයෙන් ගසකින් ගසකට මාරැවීමට යද්දී අනන්තවාරයක් ගස්වලින් බිමට වැටී ඇතත් කොන්ද නොකැඩී බේරැනේ පූරැවේ පිනකට විය යුතුය.



සයිකල් රිම් එකක් හෝ පාවිච්චියෙන් ඉවත දමන ලද ටයර් එකක් ලැබුනේ නම් එය අපට ලැබුනු හොඳම සෙල්ලම් බඩුව බවට පත්වේ. එවැනි විටක එහි හිමිකරැ රිම් එකට හෝ ටයරයට අතින් හෝ කෝටුවකින් ගසමින් දුවනා විට තවත් හතරපස් දෙනෙකුවත් ඒ පසුපස දිවයයි. එවිට අපද මනෝමයෙන් වාහන හිමිකරැවන් බවට පත්වන්නෙමු. එසේ දිවයන විට වැටී තුවාලවන අවස්ථාද තිබුණි. අපේ අත් බෙහෙත් වන්නේ කෝපි කොල ස්වල්පයක් හපා තුවාලයට තැබීම, කුරැම්බැට්ටියක් දැලි වලඳක අතුල්ලා තුවාලයේ ගෑම වැනි සරළ ප්‍රකිකර්‍මයන්ය. එල්ලේ පිති සඳහා අවශ්‍ය තරම් උන ගස් ගම්වල තිබුණි. ක්‍රිකට් පිත්තක් සාදාගත්තේ පිටපලු  (ලී ඉරීමෙන් ඉවත දමන කොටස) පිහියෙන් ගානට කපා ගැනීමෙනි. නැතිනම් නුග ගසක තරමක මහත මුලක් කපාගෙන එයින් පිත්තක් සාදාගැනීමෙනි.


අපට අවුරැදු 8-9 වනවිට අපේගම්වලටද ක්‍රිකට් උන දැනෙමින් තිබුණි. ශ්‍රී ලංකා කණ්ඩායමද ජාත්‍යන්තර තරඟවලට සහභාගී වුවද වැඩියෙන්ම සිදුවූයේ පරාජයන්ය. එකල ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරැවේ දුලිප් මෙන්ඩිස් විසිනි. උප නායකයා වූයේ රෝයි ඩයස්ය. හොඳම පන්දු යවන්නා වූයේ රොමේෂ් රත්නායකය. ඔහු ඔලුව වටා හෙඩ් බෑන්ඩ් එකක් බැඳ පන්දු යවන ආකාරය අදද මට මතකය. දුලිප් මෙන්ඩිස් සහ රෝයි ඩයස් දැවී ගියපසු කණ්ඩායමක් නැති තරම්ය. බොහෝ විට සිදුවන්නේ ඉනිමකින් ද පරාජයවී ටෙස්ට් තරඟ නියමිත දිනට පෙර අවසන්වීම හේතුවෙන් කණ්ඩායම් දෙකට අමතර විවේක දිනයක් හෝ විවේක දින දෙකක් ලැබීමත්ය.

මේ කාලයේ ජනප්‍රියම ක්‍රිකට් හා සම්බන්ධ ගීතය වූයේ සමන් ද සිල්වා විසින් ගායනා කල තණ නිල්ල දිගේ ඇදිලා යනවා යන ගීතයයි. මෙවැනි වූ වටපිටාවක පාසැල් ඇරී නිවසට ආපසුද, පාසැල් නිවාඩු දිනවලද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උන්ඩුකපුච්චයෙන්ම සපෝට් කරමින් ඔවුන්ගේ දෑත් සවිමත් කිරීමට  ගමේ සිට අපද ක්‍රිකට් ගැසුවෙමු. පාසැල් නිවාඩු කාලයට හෝ නිවාඩු දිනවලට බැට් එක සහ බෝලය ගෙන නිවසින් පිටවන අප ආපසු එන වෙලාවක් කීමට බැරිය. ක්‍රිකට් ගැසීමට මම, මල්ලී. නංගී, රෝහිත, බට්ටා, බයියා, කලු මහත්තයා, කුමාර, ශාන්ත අය්යා, පප්පා, අනුරැද්ධ, දේවිකා, ජයන්ත, උපාලි,  වැනි අය සහභාගී වූහ. ඉඳහිට සරත් අය්යා, ගානයියා, සාමි අය්යා වැනි අයද මෙයට සම්මාදන් වූහ. අප ක්‍රීඩා කරනවිට ඒ සඳහා ස්ත්‍රී පුරැෂ, විවාහක අවිවාහක හෝ වයස් බේධයක් බලපෑවේ නැත. ක්‍රිකට් ගැසීමට කැමති කවුද ඒ සඳහා සහභාගී වියහැකිය. ක්‍රිකට් ක්‍රීඩා කරනුයේ අපේ නිවස අසල හෝ පප්පලාගේ නිවස ඉදිරිපිට පාරේය.

ජාත්‍යන්තර නීති රීති මොනවා වුවත් ක්‍රිකට්වලට අපට අපේම නීති රීති සමුදායක් තිබුණි. කට්ටිය අඩු පිලට හුංගෙක් හෙවත් අමතර අවස්ථාවක් හිමිවේ. ක්‍රීඩා කරන ප්‍රදේශයේ ගස්වැඩි බැවින් ගස්කැච් අවුට් නැත. ක්‍රිකට් ගැසීමට අනුපිලිවෙල තෝරාගන්නේ ඉරි ඇල්ලීම හෙවත් අංක ලියා ක්‍රිකට් පිත්කින් වසා සියලු දෙනාට තෝරාගැනීමට ඉඩ ලබාදීමෙනි. නැතිනම් වයස පිලිවෙලට ක්‍රීඩා කිරීමෙනි. වැඩිම ලකුණු ලබාගත් කෙනා ඊලඟ වාරයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදෙයි. බෝලය පැලුනු විට පලපු කෙනා බෝලයක් ගෙන ආ යුතු නමුත් බොහෝ විට පොල් ගෙඩි කිහිපයක් කඩයකට ලබාදී බෝලයක් ගැනීමට අපට හැකිවිය. දෙපිල බෙදී ක්‍රිකට් ගසනාවිට ලාස්ට් මෑන්ට චාන්ස් එක හෙවත් අවසානයට  ඉතිරිවන කෙනාට තනිව පන්දුවට පහරදිය  හැකිය. ක්‍රීඩාව අවසන් වන්නේ බෝලය පෙනෙන්නේ නැති තරම රෑ වූවිට, හොර ලකුණු හෝ හොර අවුට් එකක් නිසා වලියක් ගිය විට හෝ ගෙදරින් පැමිණ කනෙන් ඇදගෙන යාම නිසාය. නමුත් පහුවදාටද මේ ආකාරයෙන්ම ක්‍රිකට් පිටියට පැමිණීම සිදුවේ. 





11 comments:

  1. කිරිල්ල බට තුවක්කුවක් මටත් තිබුනා. මතක විදියට ඒකට බට ගන්න උණ ගස් පිටින් කපලා දානවා මම පොඩි කාලේ. ඒක ඒ කාලේ එහෙම වරදක් වුනෙත් නෑ. ඇති වෙන්න උණ බට ගස් තිබ්බ හින්දා. දැන් නම් හිතාගන්නත් බෑ.
    සෙල්ලම් බත් ගෙවල් වල පොඩි ටින් වලින් කෑමත් හදලා තියෙනවා.

    ReplyDelete
  2. අපේ වත්තේ බට පඳුරක්ම තිබුනා. හැබැයි උණ බට වලින් නෙමෙයි අපි තුවක්කු හැදුවෙ. අපි ඒවට කිව්වෙ කොල බට කියලා. උණ බට වලින් උණ වෙඩි නම් දැම්මා. මම මුලින්ම කෑම උයන්න ඉගෙන ගත්තේ සෙල්ලම් ගෙවල්වල කෑම උයලා.

    ReplyDelete
  3. /ක්‍රිකට් ගැසීමට අනුපිලිවෙල තෝරාගන්නේ ඉරි ඇල්ලීම හෙවත් අංක ලියා ක්‍රිකට් පිත්කින් වසා සියලු දෙනාට තෝරාගැනීමට ඉඩ ලබාදීමෙනි/ තව ක්‍රමයක් තමයි ඇල්බීසියා ඉති ටිකක් අරං කොළ එක එක ගානට ඉතිරි වෙන්න කඩල එකක් තෝරගන්න දෙන එක,බට තුවක්කුට උන්ඩ විදිහට අපි හිඟුරු ගෙඩි ගත්තා (මිනී ඔලු). තව මඩු ගෙඩි බඹර, ගොඩක් දේවල් මතක් වුනා වැල් පැදලා අපෙ එකෙක්ව තට්ටමේ ඇනිච්ච උලකුත් එක්ක ඉස්පිරිතාලෙ අරං ගියෙ :)

    ReplyDelete
    Replies
    1. සද්දෙ වැඩි වෙන්න අපි වතුරේ පොඟවපු කඩදාසි තුවක්කුවට දැම්මා. අද කාලේ අපේ පොඩි එවුන් මේවා කරනවා දැක්කොත් අපි කීයටවත් කරන්න දෙන එකක් නෑ.

      Delete
  4. ඉතිං ක්‍රිකට් දැනුත් එහෙමනෙ.ඉනින්ස් පරාද වෙන්නෙ දවස් තුනෙන්.ෂොපින් යන්න දවස් දෙකකුත් ඉතුරුයි.

    ReplyDelete
    Replies
    1. දැන් ක්‍රිකටුත් දේශපාලනේ වගේ. අපේ බදු සල්ලි වලින් එයාලා හම්බ කරනවා. ආතල් ගන්නවා.

      Delete
  5. රුමේෂ් රත්නායක

    ReplyDelete
    Replies
    1. නම අහලා තිබුණ හැටියට දැම්මෙ. දැන් කොච්චර කාලෙකට කලින් අහපු දේවල්ද

      Delete
  6. ඔය ළමා කාලය මටත් ඔය ආකාරයටම ලැබිල තිබුණ එක සම්බන්ධයෙන් අප්‍රමාණ සන්තෝෂයි.. බට තුවක්කු හදන විදිය ගැන ටියුටෝරියල් එකක් කරන්න කියල කට්ටියගෙන ඉල්ලීමක් තිබ්බ උණ වෙඩි ගැන පොස්ට් එකක් කරපු වෙලාවෙ. කොහොමින් කොහොම හරි වැඩේ මගෑරුණ...

    ReplyDelete
    Replies
    1. බට තුවක්කු කලාවේ සමහර තාක්ෂණික දේවල් හදලාම තමයි ඉගෙන ගන්න වෙන්නේ. උදාහරණ හැටියට සද්දෙ වැඩි වෙන විදිහ, වැඩියෙ රිදෙන්න හදන විදිහ, සද්දෙත් එක්ක දුම් වගේ ජල වාෂ්ප පිටවෙන විදිහ වගේ දේවල්.

      Delete
  7. මට මාර ආසාවක් ඇති උනා බට තුවක්කුවකුයි, කැට පෝලෙකුයි, ජිල් බෝල පැකට් එකකුයි හොයා ගන්න.

    මේ ළඟදි ඩුබායි වල විශ්ව ගම්මානයේ - "Global Village", ඇති අප්‍රිකානු මණ්ඩපයේ කැටපොල විකුනන්න තිබුණත් එකක් ගත්තේ නැහැ හාමිනේ බර බරේ දැම්ම නිසා :(

    ජිල් බෝල නං දැන් ගමකට හොයා ගන්න ඇහැකි විසිතුරු බදු කඩේකට ගියොත්, එත් එස්සර වගේ පොඩි උන්ට ඒවා අගයක් නෑ.

    ඉස්සර අපි රුපියලක් දුන්නහම ඉස්කෝලේ ළඟ කඩේ කඩේ මුදලාලි ලොකු විදුරු බෝතලයක් අස්සේ දාල තියන ජිල් බෝල ගොඩෙන් 4 ක් අපිට හම්බ වෙනවා :)

    ReplyDelete