Thursday, July 14, 2016

වෑර්ලස් එක, රෑප පෙට්ටිය සහ ලයිසොම ගැනීම


අද නම් රැපියල් 1900 ට ඇති ජංගම දුරකථනයෙන්ද කනේ වයර් දෙක ගසාගෙන ගුවන් විදුලිය ශ්‍රවණය කළ හැකිය.  ඇවසි නම් රෑපවාහිනිය නැරඹිය හැකි ජංගම දුරකථනද චීනාට පින් සිද්ධ වෙන්නට ලබාගත හැකිය. නමුත් අපි කුඩා කාලයේ ගුවන් විදුලිය සහ රෑපවාහිනිය යනු ගමේ යමක්කමක් ඇති පවුල් වලට සීමාවූ සුඛෝපුභෝගී භාණ්ඩම විය. අපේ ගම්වල සිටි ඇවිදින ගුවන්විදුලි යන්ත්‍ර විදුලි වේගයෙන් ගම පුරා ප්‍රවෘත්ති බෙදා හැරීමේ කාර්යයේ නිරත වූ නිසා  ගුවන් විදුලිය නොතිබුණද ගමේ ඕපාදූප නම් දැනගත හැකිවිය. සමහරැ ජංගම ගුවන්විදුලි යන්ත්‍ර නොව පුවත් ඒජන්සි විය.



අප නිවසේ පැවතියේ ලා කොල පැහැති කොනිකා වර්ගයට අයත් රේඩියෝවකි. එයට බැටරි කෑලි 4 ක් දැමිය යුතුවිය. ඊටත් පෙර කාලයේ භාවිතා කරන ලද තරමක විශාල ප්‍රමාණයේ වෑර්ලස් රේඩියෝවක් අපේ අම්මලාගේ මහ ගෙදර පැවති බව මට මතකය. 


අද මෙන් හැට හුට හමාරක් එෆ්.එම්. චැනල් නොතිබූ එකල පැවති ප්‍රධාන නාලිකා වූයේ වෙළඳ සේවය, ස්වදේශී සේවය සහ රජරට සේවයයි.  මේ අතරින් වඩාත් ජනප්‍රිය වූයේ වෙළඳ සේවයයි. වෙළඳ සේවයෙන් දවල් 12.00 ට වේග රිද්ම ගීත ප්‍රචාරය වේ. ඉරිදා දිනවල පෙ.ව. 10.45 ට පමණ සාරභූම් ගීතවාහිනී වැඩසටහනද, 11.45 ට පමණ සිංග් ලංකා ආයතනයේ කැසට්පට පිළිබඳව ප්‍රචාරාත්මක වැඩසටහනකි. එහි ආරම්භයේදීම අනිල් භාරතී මහතා විසින් ගායනා කරනු ලබන අද වේ ඉරැ දින නැමති ගීතය විකාශය වේ. අපේ ජනප්‍රියම ගුවන් විදුලි නාටකය වූයේ මුවන් පැලැස්සයි. සතියකට වරක් විකාශය වන මුවන් පැලැස්ස ඇසීමට වැඩිහිටියන්ද, අපද කල්තියා සූදානම් වන්නෙමු. කදිරා, කෝරලේ මහත්තයා, මැණිකේ, ජන්තු, පිනා, ඩිංගි ගුරැන්නාන්සේ, නාමලී. ගබන් ලොක්කා  එහි ප්‍රධාන චරිතයන්ය. 

අද නම් පුවත් දැනගැනීමට මාධ්‍ය විශාල ප්‍රමාණයක් ඇති අතර පුවත් ප්‍රථමයෙන් විකාශය කිරීමට ගුවන් විදුලි, රෑපවාහිනී, පුවත් වෙබ්, ගොසිප් වෙබ් අතර ඇත්තේ තරඟයකි. මෙම තරඟය දැන් සමාජ ජාල වෙබ් අඩවි දක්වාද, නිව්ස් ඇලර්ට් දක්වාද පැතිරී පවතී. එකල නම් පුවත් දැනගැනීමේ ප්‍රධාන මාධ්‍ය වූයේ ගුවන් විදුලියේ ප්‍රවෘත්ති විකාශයයි. සෑම දිනකම උදේ 6.00, මධ්‍යාහන 12.45 සහ සවස 6.30ට  එය විකාශය කෙරැනි.

පුවත් විකාශයෙන් අනතුරැව අවමංගල්‍ය දැන්වීම් කියවීම ආරම්භවේ. අවමංගල්‍ය දැන්වීම්වල මියගිය තැනැත්තාට වඩා කියවීමට තිබුණේ එම පවුලේ අයගේ තත්ත්වයන්ය. අසවල් සංස්ථාවේ සේවය කරන අසවලාගේ පියානන් වූ, කැනඩාවේ අසවලාගේ මාමා වූද, ඕස්ට්‍රෙලියාවේ අසවලාගේ බාප්පා වූද, අභාවප්‍රාප්ත වූයෙන් දේහය  පිළිබඳ අවසන් කටයුතු අසවල් දින පවුලේ සුසාන භූමියේදී සිදුකෙරේ. සියලු ඥාති මිත්‍රාදීහු මෙම නිවේදනය පිලිගනිත්වා. ශෝකයට පත් භාර්යාව ඇතුලු දරැ පිරිස. මල් වඩම් අනවශ්‍යයි. සිනහවට කරැණ වූයේ රැකියාවක් නොකරමින් ගෙදරට වී කසිප්පු බිව් එකාගේ රැකියාව මෙහිදී ඉඩම් හිමි වැවිලිකරැ බවට පත්වීමය.

අද සෑම පුවත්පතම, රේඩියෝ චැනලයකම, රෑපවාහිනී චැනලයක්ම ක්‍රියාත්මක කළ සැනින් අසන්නට ලැබෙන්නේ මිනිමැරැම්, පැහැරගැනීම්, කෝලාහල වැනි සිද්ධීන්ය. අප කුඩාකල මෙවැනි සිද්ධීන් දුලබ වූවා පමණක් නොව අසන්නට දකින්නට තරම් මාධ්‍යයක්ද නොවීය. එකල මෙවැනි සිද්ධි දැනගතහැකි වූයේ ප්‍රවෘත්ති විකාශයෙන් පසුව ඉදිරිපත් කරන පොලිසියෙන් පුවත් මගිනි. බොහෝ විට පොලිසියෙන් පුවත් තුළින් දැනගතහැකිවන්නේ අතුරැදහන් වූ පුද්ගලයින් පිළිබඳවය. උස අඩි 5. අඟල් 3. රවුම් මුහුණක් ඇත. මුහුනේ ලපයක් ඇත. අවසන් වරට දකින විට ඇඳ සිටියේ ලා නිල් පැහැති කමිසයක් සහ කොටු වැටුනු සරමකි. මෙම වචන මාලාව අපට එකල කට පාඩම්ය.

එකල ගම්වලට රෑපවාහිනිය පැමිණි මුල්ම කාලය විය. රෑපවාහිනී පැවතියේ ගමටම නිවසකට හෝ දෙකකටය. රාත්‍රිය වනවිට හුලු අතු බැඳගෙන පවුල් පිටින් රෑපවාහිනිය ඇති නිවස වෙත පැමිණීම එකල සුලභ දසුනකි. අද මෙන් වර්ණ. එල්.සී.ඩී. එල්.ඊ.ඩී, කර්ව් ටීවී, පියෝ ටීවී යනු මොනවාදවත් අසා නැති ඒ කාලයේ රෑපවාහිනිය යනු කාර් බැටරියක බලයෙන් නැරඹිය හැකි අඟල් කලු සුදු 12,14  රෑපවාහිනියකි. රෑපවාහිනී ඇති ගෙවල්වල සාලයේ ඉඩ මදි වූවිට ජනේල්වලින් එල්ලී රෑපවාහිනී බලනා සෑහෙන පිරිසක්ද වූහ. සමහර ගම්වල රෑපවාහිනී නැරඹීමට මුදල් අය කලායැයි මා අසා තිබුණද අපේ ගමේ නම් එවැනි දේ සිදුවූයේ නැත. 
සිකුරාදා දිනවල චිත්‍රපටයක් පෙන්වන නිසා එදිනට රෑපවාහිනී ඇති නිවෙස් කාර්ය බහුල වේ. රාත්‍රී 9 ට පමණ ආරම්භවන චිත්‍රපටය අවසන් වන්නේ පාන්දරය. විදුලි පන්දම් පවා සීමිතව පැවති එකල චිත්‍රපට නැරඹීමට පැමිණෙන අය එන්නේ ආපසු යාමට හුලු අත්තක්ද සකස්කරගෙනය. බොහෝ විට වයසක අත්තම්මලා පැමිනෙනුයේ තමන්ගේ මුණුබුරැ මිණිබිරියන්ද සමගය. තරමක ඇහැට කනට පේනා කෙල්ලක සමග පැමිනෙන අත්තම්මා කෙනෙකු නිවසටම  ඇරලවීමට තරම් ගම්වල සිටිනා ඉලන්දාරි ගැටවුන් සත්ව කරැණාවෙන් යුක්ත වෙති. රෑට අත්තම්මලාගේ ඇස් පෙනීම දුර්වල නිසා අත්තම්මලා සමග යන කෙල්ලන්ගේ හුලුඅත්ත ඇල්ලීමටද කොල්ලන්ට හැකිවූ අවස්ථා තිබුණි. මේ අතරතුර වරත්තු කොල්ලන් විසින් සිදුකරනා තවත් අලුගුත්තේරැ වැඩක් වන්නේ එලියේ තබා ඇති හුලුඅතු ඇතුලට රතිඤ්ඥා කරල් එබීමයි. හුලුඅත්ත දල්වාගෙන ටික දුරක් යනවිට රතිඤ්ඥා කරල පුපුරා ගොස් හුලුඅත්ත පැත්තකට විසිවී සමහරවිට හුලුඅත්ත ගෙන ගිය තැනැත්තා බිමවැටී ඇත. නැතිනම් හුලුඅත්ත අතහැර කලුවරේම ගෙදර දුවයි. මේ නිසා සිත් අමනාපකම්ද රන්ඩු සරැවල්ද ඇති නොවුනා නොවේ. නමුත් ඒ ටික දවසකටය.

දිනක් පන්සල් ගොස් එන අතරවාරයේ අපේ අම්මා අපිව විජේරත්න මාමලාගේ නිවසට එක්කරගෙන යනලදී. අපි එහෙ යන්නේ කුමකටදැයි ඇසූවිට අම්මා කීවේ ටී.වී. බැලීමට යන බවයි. ටී.වී. එක කුමක්දැයි ඒ දිනවල අප දැනසිටියේ නැත. විජේරත්න මාමලාගේ නිවසේ දොර වසා තිබු අතර කථාකර දොර ඇරගත්පසු සාලයේ මහ සෙනඟකි. අපද ඉදිරියෙන්ම වාඩිවී කට ඇරගෙන බලා සිටියෙමු. මහ පුදුමයකි. මෙතරම් කුඩා පෙට්ටියක් ඇතුලේ මිනිසුන් නටති. කථාකරති. වාහන යති. ජීවිතේටම දැක නැති මේ පුදුමය දෙස බලා සිටි අපට තිබු ප්‍රධානතම ගැටලුව මෙතරම් කුඩා පෙට්ටියක් ඇතුලට මිනිසුන්, වාහන ඇතුල් කල හැක්කේ කෙසේද යන්නයි. එසේම අපේ ගෙදරට මේ වගේ පෙට්ටියක් නැත්තේ ඇයිද යන්නයි. ප්‍රථමයෙන්ම නැරඹු වැඩසටහන කුමක්දැයි මට අදනම් මතක නැත. කෙසේ වෙතත් පැය එකහමාරක පමණ කාලයක් අප එහි සිටින්නට ඇති අතර ඉන්පසු දින කිහිපය අම්මාගේ කන් දෙකට නිවනක් නැති ආකාරයේ ප්‍රශ්න වැලකි. 

දෙවන වරට අප රෑපවාහිනී නැරඹුවේ ජයතිස්ස අයියලාගේ ගෙදරිනි. ඒ ගෙදර සෙක්කුවක්  තිබු අතර තෙල් සිඳින්නට ගිය විට මේ අවස්ථාව උදාවිය. එදින නැරඹු ගීතය වූයේ ටී.එම්. ජයරත්න මහතාගේ පුංචි පුතේ පුංචි දුවේ නුඹ හින්දයි වෙහෙසෙන්නේ යන ගීතයයි. මට අදද එම ගීතයේ රෑපරාමු මතක ඇත. ඉන්පසුව ක්‍රමයෙන් ගමේ යමක්කමක් ඇති සෑම නිවසකම සාලයේ රෑප පෙට්ටිය තැන්පත් වන්නට විය. විදුලි බලය සීමා සහිතව පැවති ඒ කාලයේ වැඩිදෙනෙකුගේ රෑපවාහිනි යන්ත්‍ර සඳහා බලය ලබාදුන්නේ සුපර් එක්සයිඩ් බැටරිය මගිනි.

දිනක් අපේ තාත්තා ඇන්ටනි මාමා සමග කුමක්දෝ  පෙට්ටියක් ඔසවාගෙන එනුදුටු අපද ඒ පසපස දිවීමු. තාත්තා ගෙනවිත් තිබුන් අඟල් 12 පිලිප්ස් කලු සුදු රෑපවාහිනියකි. ඒ සමගම කාර් බැටරියක්ද ගෙනැවිත් තිබුණි. එදා අපට අවුරැදු මෙන්විය. ඉන්පසුව අපගේ ප්‍රධාන රාජකාරියවූයේ රෑපවාහිනිය නැරඹීමත්, එහි දුවිලි පිස දැමීමත්, බැටරිය චාර්ජ් කරගෙන පැමිණීමත්ය. බැටරිය අලුත්පිට චාර්ජ් කරගෙන පැමිණිවිට සති තුනත් මාසයත් අතර කාලයක් රෑපවාහිනිය නැරඹීමට හැකිවිය. මේ කාලයේ අප යන්තම් පොල්ල යටින් බයිසිකල් පදිනා කාලයයි. බැටරිය පිටිපස ලැකජ් එකේ බැඳගෙන කෙසේ හෝ චාර්ජ් කිරීමට ගෙනයන්නට අප සමත්වීමු. බැටරිය චාර්ජ් කිරීමට එකල වැය වූ මුදල රැපියල් 10 කි.

එකල තිබූ ප්‍රධාන වැඩසටහන් අතර පලිඟු මැණිකේ, රොබින්හුඩ්, ටාසන්, මැගයිවර්, බක්‍රෙජාස්, ස්ට්‍රීට්හොක්, නයිට් රයිඩර්, දොස්තර හොඳහිත, සින්දු බින්දු, හත්පන වැනි  වැනි වැඩසටහන් ඉදිරියෙන් සිටියේය. මසකට වරක් නන්දන වින්දන සංගීත ප්‍රසංගය පැවැත්වුනි. අපට එකල රෑපවාහිනියේ එපාමකළ වැඩසටහන වූයේ ප්‍රවෘත්ති විකාශයයි. වසරක් පමණ කාලයක් රෑපවාහිනිය තිබූ අතර දිනක් තාත්තා විසින් එය ගොවිරාල මාමලාට උකස් කිරීමට ගෙන ගියේය. ඉන්පසුව උකස බේරාගැනීමට නොහැකිව එය සින්නවිය.
පට් පට් ගාලා සම්තින් එක දෙන සූරසේන 

ලයිසොම ගැනීම
අද මෙන් නොව එකල රෑපවාහිනියක්  හෝ රේඩියෝවක් නිවසක පැවතියේනම් එයට වාර්ෂිකව බලපත්‍රයක් හෙවත් ලයිසොමක් ලබාගත යුතුය. තැපැල් කන්තෝරැවෙන් ලයිසොම ලබාගත හැකිය. ග්‍රාම සේවක මහතා වසරකට වරක් නිවාස වෙත පැමිණ ලයිසම පරීක්ෂා කරයි. ග්‍රාම සේවක එනවිට අප කරන්නේ රෑපවාහිනිය පේන්නට තබා ගුවන් විදුලිය සැඟවීමයි.

රෑපවාහිනිය, රේඩියෝව පමණක් නොව එකල පැවති නීති රීති අනුව පාපැදියද ලයිසන් කළ යුතුය. පාපැදි ලයිසම යනු පාපැදියේ රෝදවලට සවිකරනු ලබන කුඩා තහඩු කැබැල්ලකි. ඉඳ හිට පාපැදි නවත්වන පොලිසියේ නිල දරැවන් පාපැදි ලයිසන්කර ඇතිද, පාපැදියේ පැවතිය යුතු උපකරණ නිසිලෙස සවිකර ඇතිද කියා පරීක්ෂාකර බලයි. පාපැදියේ පැවතිය යුතු ප්‍රධාන උපකරණ වශයෙන් සැළකනු ලැබුවේ ඩයිනමෝව, ඉදිරි ලාම්පුව,  ටයර්වල කට්ටා පැවතීම, බ්රේක් පැවතීම වැනි ගුණාංගයන්ය. මේවා නැත්නම් නඩු මගට පිවිසීමට සිදුවූ අතර පොලිස් නිලදරැවන්ගේ කාරැණික බව, දුකට පිහිටවීමේ ගුණය සහ අපේ අයගේ ආගන්තුක සත්කාර නිසා සමහර අවස්ථාවලදී දඬුවම් ලිහිල් වූ අවස්ථාද තිබුණි. මේ පිළිබඳව පවතින ජනප්‍රිය කථාවක් ඇත. දිනක් රාත්‍රියේ පාපැදිකරැවෙකු නවත්වා පරීක්ෂා කිරීමේදී පා පැදියේ ආලෝක ලාම්පු, තිරිංග ආදී කිසිවක් තිබී නැත. කෝ බ්රේක්, ලයිට් මොකුත් නෑනේ. ඇයි සර් හඳ තියෙනවානේ. ඒක නිසා මොකටද ලයිට්. එවිට පොලිස් නිලධාරියාද එහෙනම් අද හොඳට හුලං තියෙනවානේ. මොකටද ටයර් වටල හුලං කියා සයිකලේ හුලං ඇර ඇත. 


13 comments:

  1. අපොයි බැටරිය බැහැල ඔය ටීවි එකේ උඩිනුයි යටිනුයි තිරේ ඇතුලට එබෙනකොට ටෝර්ච් එකේ බැටරි ටිකටත් අබසරනයි ඇයි ඒටික ගලවලා අර බැටරියේ කණුවට සෙට් කරලත් අපි ටික වෙලාවක් ටීවි බැලුවනෙ :)

    ReplyDelete
    Replies
    1. අපි ඒ කාලේ ඉස්කෝලෙ යන්නෙ නැතිව හරි බැටරිය චාර්ජ් කරන්න අරගෙන යනවා.

      Delete
  2. ඔයැයි හෙනං ටන..නන..නන..නන ගාල යකඩ නවන සික්ස්මිලියන් ඩොලර් මෑන්, ඊට නොදෙවෙනි බයිනික් වුමන්, නොපෙනී යන ඉන්විසිබල් මෑන්, බිග්ෆූට් ඇන්ඩ් වයිල් බෝයි බලල නෑ වගේ. තවත් ඒකාලේ චූ යන්න බයවෙලා බලපු එකක් තමයි ඩොක්ටර් හූ....

    ReplyDelete
    Replies
    1. නෑනේ. ඔයැතු බලලා තියනවැයි. සමහර විට ඒ කාලේ අපිට මග ඇරෙන්න ඇති. ඒ කාලේ ටී.වී. එකක් දකින එකත් හරියට අද කාලේ ඡන්දේ දීපු ඇමතියා දකිනවා වගේ වැඩක් නෙව.

      Delete
  3. ඉස්සර රේඩියෝ ටීවී බලන්න සල්ලි දෙන්න ඕන (ලයිසොම ගන්න) .දැන් එව්ව බලනවා අහනවට සල්ලි දෙනව.හිරු ඇහුවොත් සල්ලි තමයි, දෙරණ බැලුවොත් සල්ලි තමයි, අපි අහන්නෙ ශ්‍රී එෆ් එම්. බස් එකේ සිරස ඉස්ටිකරේ තිබ්බොත් දෙදාහක් දෙනව. ලබ්බ තමයි...

    ReplyDelete
    Replies
    1. හොද අදහසක් සජ්ජා. මට ඒ අදහස ඩිවලොප් කරලා වෙන වැඩක් ගන්න පුලුවන්. අදහස දුන්නට තෑන්ක්ස්. අද මිනිස්සුන්ට ටී.වී. බලන්න, රේඩියෝ අහන්න වෙලාවක් නෑ. අනිත් පැත්තෙන් ස්මාර්ට් දුරකථනය නිසා මිනිස්සු වෙලාව නාස්ති කරන්නේ නැතිව මීඩියාවලින් කරගන්න ඕන දේවල් කරගන්නවා. ප්‍රවෘත්ති බලන්න ඕන නෑ නිව්ස් ඇලර්ට් එනවා. සින්දු අහන්න යූ ටියුබ් තියෙනවා. යාලුවො හම්බ වෙන්න ඕන නෑ මුණු පොත තියෙනවා. ඉතින් මිනිස්සු වෙලාව නාස්ති කරලා මීඩියා පස්සේ දුවන්නේ නෑ. ඒක නිසා මීඩියා කට්ටිය ගම්වල මිනිස්සුන්ට සල්ලි දීලා තමන්ගේ චැනල් එකේ නම කියවා ගන්නවා.

      Delete
    2. සජ්ජො ඔන්න මම පඩංගුව මගේ වෙබ් රෝලට දා ගත්තා.

      Delete
    3. එළ එළ ..අපි මෙව්ව දාගෙන තියෙන්නෙ

      Delete
  4. මෑත කාලෙත් ඒ කිව්වේ 2006 වගේ ඔය බයිසිකල් ලයිසන් සිද්ධිය තිබ්බා මට මතකයි! මෑත කිව්වට අවුරුදු 10කට විතර එහා!

    ReplyDelete
    Replies
    1. ඉස්සර මට මතකයි බයිසිකල් ලයිසන් කරන්න අදාල නිළධාරීන් එනවා ගමේ පොලට ජංගම සේවා තියලා බයිසිකල් ලයිසන් කරන්න.

      Delete
  5. "විදුලියේ ප්‍රවෘත්ති විකාශයයි. සෑම දිනකම උදේ 6.00, මධ්‍යාහන 12.45 සහ සවස 6.30ට එය විකාශය කෙරැනි."

    ඇයි රැ 9.00 ඊට පස්සෙ අමරදේව කියන ගාථාවක් තිබ්බ නේද ? වැඩ සටහන් නවත්තන්න කලින්. (සබ්බ පාපස්ස අකරණං ?)

    ඒකාලේ රැ 9 ට ප්‍රවෘත්ති අහල නිදාගන්නවා. ජාතික රූපවාහිනිය 9.55 / 10.25ට ඉවරයි, අයිටීඑන් 9.45ට ඉවරයි.


    "මිනිමැරැම්, පැහැරගැනීම්, කෝලාහල වැනි සිද්ධීන්ය. අප කුඩාකල මෙවැනි සිද්ධීන් දුලබ වූවා පමණක් නොව අසන්නට දකින්නට තරම් මාධ්‍යයක්ද නොවීය."

    මිණී මැරුම් මංකොල්ල කෑම් සාමාන්‍ය දේවල් උනේ 88/89 ජේවී පී කැරැල්ලෙන් පස්සෙ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කිව්වාම තමයි මට මතක් උනේ. අපි කවදාවත් 9 නිව්ස් අහන එකක්යැ. අපේ රටේ අපරාධ මනුෂ්‍ය ඝාතන සාමාන්‍යකරණය වෙන්න ජවිපෙ කැරළි හේතු උනා. එල්.ටී.ටී.ඊ සහ ජවිපෙ නිසා මේ රටේ මිනිස්සුන්ට මිනිස්සු මැරෙනවා කියන එක පොඩි දෙයක් උනා. අපි පොඩි කාලේ පාර දිගට මිනිස්සු මරලා පුච්චලා තිබුණා. ඒ කාලේ අපි පොඩි උන්. හැබැයි නිදාගත්තේ ඇඳ යට. ඒ තරම් බයකින් හිටියේ. රෑට ගෙදර කුප්පි ලාම්පුවක්වත් පත්තු කලේ නෑ. අපේ නංගි අඩනවා කලුවරේ ඉන්න බයයි කියලා. මතකද යුද්දෙ කාලේ අපි නිව්ස් අහනකොට ටිකක් ලොකු ගානක් මැරිලා නැත්නම් ඒක හිතට මදි වගේ. මැරැනේ එල්.ටී.ටී.ඊ අය උණත් දැන් තමයි හිතෙන්නේ මේ එක එකාගේ ලණු කාපු අපේ රටේ තරැණ තරැණියෝ නේද කියලා.

      Delete
  6. Wijerathna kiwwe Pulmude hitapu wijerathnada ? Rathnasiri lockage nayek wennawa neda

    ReplyDelete