පහුගිය දින කිහිපය තුළම බ්ලොග්
ලියන්නන් විශාල පිරිසක් ඉයන්ගේ සින්දු 16 බ්ලොග් අභියෝගය බාර අරන් තිබුණ කියලා
තේරුනේ කට්ටියම හෝගාලා තමන් කැමති සින්දු ගැන කියන විටය. මෙය හරියට මම දැක්කේ තමන්
යාලු වෙච්ච කෙල්ලන් අතරින් තමන් කැමතිම කෙල්ලන් කවුදැයි කියා අනුපිලිවෙලට නම්
කරනවා වගේ වැඩක් හැටියටය. මට ඉස්කෝලේ යන කාලේ සිටම කෙල්ලෝ කීප දෙනෙක්ම සිටියෝය. ඒ වනචර කමකට නොවේය. හෝමෝන ක්‍රියාවලිය
උච්චතම කාලේ නිසා ඒ ගැන කරන්නට දෙයක් නැතිය. ඉතින් එකෙක් හොඳයි කිව්වොත් අනෙකාට සිදුවන්නේ
අසාධාරණයක්ය. ආදරයේ “අ, ආ“ කියාදුන් ප්‍රේමයේ, යෞවනේ ඇදුරුතුමියන්ට එහෙව්
අසාධාරණයක් කරන්නට මගේ හිත නැවෙන්නේ නැත. සින්දු වැඩෙත් ඒ වගේමය. ඒ නිසා මම මේ
වැඩේට සම්මාදන් වෙන්නට නොගියේ මට කැමතිම සින්දුත් 16 ට වඩා ඇති නිසාය. නමුත් වැඩේ
නැගලාම ගොස් තිබීම ගැන මම ඉයන්ටත් කැමති සින්දුදාපු හැමෝටමත් ස්තුතිවන්ත වෙනවාය.
ඒ සින්දු අතර මම කැමති සින්දුද තිබීම
නිසා ඒ සින්දු හොයාගෙන ඇහීමේ දොල දුකකුත් පහුගිය දවස් කීපය තිස්සේම මටද වැලඳී
තිබුණි. ඩොන්ගලේ තිබූ ෆ්‍රී ගිගා බයිට් 10 ත් ඉවරකරගෙන තවත් 8 කුත් අමතරව වැයකරගෙන
තිබුනේ මේ කාර්යටය. කෙසේ නමුත් මේ වැඩේ මාර ඉන්ටරස්ට් නිසා වැඩිපුර ඩේටා ගියාට
කමක් නැත. ඉඳහිට මෙවැනි රැල්ලක් ඇතිකර බ්ලොග් ලෝකය කැලැත්තීම අපි වැනි අලුත්
බ්ලොග් ලියන්නටත් හොඳ අත්දැකීමක්ය.
මේ සින්දු උන්මාදය නිසා සින්දු සී.ඩී.
කිහිපයක් මිලදී ගන්නටද මල් මලයා පහුගිය දින ටිකේ උනන්දුවිය. අපේ ගම් පළාතේ සංස්කුරැතියක්
වූ කණ්ඩායම් සංගීතය තවමත් ගඟේ මාලු ඇඟේ නටන්නා සේ නටනා නිසා සින්දු සී.ඩී. සොයනා
අතරතුර සංගීත සංදර්ශන කිහිපයක සී.ඩී. තැටිද මිලදී ගත්තේ වෙලාවක් ලැබුනු විට
අසන්නටය. කොහොම උනත් ඒවායේ ඇති ලයිව් ගතියට මම අදත් කැමතිය. සීදුවේ සකුරා සංගීත
කණ්ඩායමේ මම කැමති ගීත කිහිපයක්ම ඇති නිසා ඒ අයගේද සී.ඩී. තැටියක් මිලදී ගත් අතර එහි
තිබූ උපහාසාත්මක ගීතයකට නිමිත්ත වී තිබුණේ රාජ්‍ය සේවය හා රජයේ සේවකයාය. කොටින්ම
රාජ්‍ය සේවකයින් වැඩ නොකිරීම ගැනය. ගීතය නම් කර තිබුණේ “කිරා බුදිද බං“ කියාය. මේ
ගීතය අසනාවිට මම කලකට ඉහතදී දුටු ඊමේලයක්
මතක් විය. ඒ ඊමේලයේ තිබුනේ රජයේ සේවකයින්ට
වැළඳෙන රෝග කිහිපයක් ගැනය. එම ව්‍යාධීන් නම් මෙසේය.
ටෙලිපෝනියාව
රාජකාරී දුරකථනයක් පෙන්නන්ට බැරිවීම.
නිතරම දුරකථනයේ එල්ලී සිටීම. (උපහාර පැකේජයට පින්සිදුවන්නට දැන් මේ ලෙඩේ තරමක් සුව
අතට හැරිලාය)
ලීව්කේමියාව
නිතරම නිවාඩු (ලීව්) ගැනීමට ඇති
උනන්දුව (මේක නම් තාවමත් තියෙනවාය)
ජන භීතිකාව
කාර්යාලයට එන අහිංසක මිනිසුන් දකිනවිට
කේන්තියාම. (විශේෂයෙන් රජයේ රෝහල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලය, දුම්රිය වැනි රජයෙන්
යැපෙනා ආයතනවල අයට මේ ලෙඩේ තියෙනවාය. අත්දුටු දෙයකි)
රථ ගාය
පූල් වාහනයක නැගී නැති ගමනක් හෝ යාමට
ඇති කැමැත්ත. (බොහෝ දෙනෙකුට ඇත)
ගැස්ටරයිසීස්
කාර්යාලයට පැමිණෙන මිනිසුන්ට නිතරම
සැරදැමීම. (මේකත් අර කිව්වා වාගේ රජයේ රෝහල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලය, දුම්රිය වැනි
රජයෙන් යැපෙනා ආයතනවල අයට තියෙනවාය. අත්දුටු දෙයකි)
කට ගාය
හැමදේකටම කට දැමීම (කාන්තා පාර්ශවය සහ
චීත්ත අඳින පිරිමින අතර බහුලය)
හොල් ඉන්ද පර්ස්
අතේ නිතරම මුදල් නැතිකම (බෙබේලා,
බෙබේලාට වයිෆ් වී සිටිනා අය අතර බහුලය)
ඩියුටියා
වැඩට උනන්දු බව පෙන්වීම (සේවය අලුතින්
පැමිණි අය අතර උසස්වීම් බලාපොරොත්තු වන අය අතර බහුලය)
ස්ටේයිටීස්
වැඩක් නැතත් තත්ත්වය
ගැන උනන්දුවක් දැක්වීම (විධායක නිලධාරීන් අතර බහුලය)
දඩි බිඩියාව
වැඩක් නැතත් නිතරම කලබල ගතිය (මේ වගේ
ඩයල් සෑම කන්තෝරුවකම ඇත. මුනුත් එක්ක වැඩ කරන්න ගියාම පිස්සු හැදිලා ආයෙ හැදෙනවාය)
රතිගාය
නියමිත කාලයට විවාහ කටයුතු සිදු
නොවිමෙන් හෝ ගැහැනුන් දකින විට ඇතිවන කුලප්පුව (මැදිවියේ පිරිමින් සතුව මෙම රෝගය
පවතී. කාන්තා පාර්ශවය අතරද නැතිවාම නොවේ)
හොම්බයිටීස්
වැරැද්දක් පෙන්වා දුන්විට මුහුණ
එල්ලාගෙන සිටීම (හපෝයි කාන්තා පාර්ශවයට ආවේනික වූ රෝගයකි)
හොම්බයිටීස් කොන්ටැප්යෝසා
ඉහත රෝගය අන් අය වෙතද සීඝ්‍රෙයන්
පැතිර යාම (මෙයත් පෙර පරිදිමය)
සැලරියා
වැටුප් ගෙවූ දිනට පසුදින සේවයට යාමට
අදිමදි කරනා ගතිය (තරුණවියේ පිරිමින් අතර බහුලය. හන්දියේ බාර් කාරයා මෙයට වගකිව
යුතුය)
ඩයරියා
අවුරැද්ද මුලදී දින පොත් ඉල්ලා කරදර
කිරීම (රියදුරන් සහ පියන්ලා අතර වැඩිපුර)
කැලැන්ඩරයිටීස්
අවුරැද්ද මුලදී කැලැන්ඩර් ඉල්ලා කරදර
කිරීම (රියදුරන් සහ පියන්ලා අතර වැඩිපුර)
වාතරයිටීස්
වැඩකටයුතුවලදී අන්අයට කරදර වනසේ
කටයුතු කිරීම (ටියුබ් ලයිට් කෙල්ලන් අතර බහුලය)
අද වනවිට මේ කියන ලෙඩ රෝග එතරම් දරුණුවට නැතද රාජ්‍ය සේවය තරමක මන්දගාමී
ගතියකින් කටයුතු කරනා බව නම් මමද පිලිගනිමි.
අපේ රටේ සමස්ථ රාජ්‍ය සේවකයින් ප්‍රමාණය
ලක්ෂ 15 ක් පමණ වෙනවාය. රැකියා
අපේක්ෂකයින්ගේ වැඩි කැමැත්ත රාජ්‍ය සේවයටය. ඒකට දේශපාලඥයින් පස්සේ යනවාය. විභාග ලියනවාය. රස්සාවක්
අරන් දෙනවානම් සල්ලිත් දෙනවාය. සමහර විට වෙනත් දේවලුත් දෙන්නට සූජානම්ය. හැබැයි ප්‍රයිවෙට්
සෙක්ටර් එකට මේ මොකුත් නැතද යන්නට වැඩි මනාපයක් නැත. ප්‍රයිවෙට් සෙක්ටර් එකට ගියාම
මහන්සියෙන් වැඩකරන්න ඕනෑය. වැඩ වැඩිය. පීඩනය වැඩිය. හැබැයි වැටුපත් වැඩිය. පහසුකම්
වරප්‍රසාද වැඩිය. අපේ රටේ වැඩ කිරීමට කැමති නිර්මාණශීලී කොල්ලන් කෙල්ලන් ඇඟේ ගාය
ඇති තරුණ කාලයේ ප්‍රයිවෙට් සෙක්ටර් එකට
යාමට බොහෝ මනාපය. නමුත් කසාද බැඳ ළමයෙක් දෙන්නෙක් ඉන්නාවිට ප්‍රයිවෙට් සෙක්ටර් එකේ
ඉන්නා උන්ද විශේෂයෙන් කෙල්ලන් හොයන්නේ රජයේ රස්සාවක්ය. ඒකෙත් ටීචින් වගේ නම් වැඩියෙනුත්
මනාපය. ප්‍රයිවෙට් සෙක්ටර් එකේ අච්චර ලොකු පඩියක්ද, බෝනස්ද, මෙඩිකල්ද, ෆොරින්
ටුවර්ද, අරව මේවද පැත්තක දමා අපේ එකාලා, එකීලා ආණ්ඩුවේ ජොබ් කට්ටක්ම හොයන්නේ කරුණු
කිහිපයක් නිසාය.
එකක්
පැන්ෂන් එකය. දෙවැන්න රස්සාවේ ස්ථිරත්වයයි. තෙවැන්න තමන්ගේ දරුවන් ගැන බැලීමට ඇති
උවමනාවය. සිව්වැන්න පුද්ගලික අංශයට වඩා වැඩි නිදහසක් බුක්ති විඳීමටය. පස්වැන්න
භාෂාව ගැන දැනුමය.
ප්‍රයිවෙට්
සෙක්ටර් එකට ගැලපෙන විශ්‍රාම වැටුපක් ලැබෙන විදිහක් හදාගන්න තවමත් අපේ රටට බැරිය. යන්තම්
පී.බී. ජයසුන්දර මහතා පුද්ගලික අංශයට ගෙනා පෙන්ෂන් ස්කීම් එක ආණ්ඩුවේ හදිස්සිය සහ
උද්ධච්චකම නිසාද, දේශපාලඥයින්ගේ අවස්ථාවාදී බව නිසාද ලත් තැනම ලොප් විය. දැන් ප්‍රයිවෙට්
සෙක්ටර් එකේ පෙන්ෂන් යන එකාට ඉන්ෂුවරන්ස් කොම්පැනිකාරයින් හඳුන්වාදෙන පෙන්ෂන්
පැකේජ්වලට අමතරව රජයෙන් ලැබෙන සමාජ ආරක්ෂණ ක්‍රමයක් නැති තරම්ය. ඉතින් පෙන්ෂන් එක
ඇති රාජ්‍ය සේවයට ඉල්ලුම වැඩිය. ඊ.පී.එෆ්./ ඊ.ටී.එෆ් තිබුණාට පැන්ෂන් ගිය දවසට
ගෙයි රෙපයාර් ටික කර, කෙල්ලගේ හෝ කොල්ලාගේ වෙඩිමට වියදම් කලවිට ඉතුරු වෙන ලබ්බක්
නැතිය. බැරිවෙලාවත් කෙල්ලට/ කොල්ලාට කැම්පස් යන්න බැරි උනොත් තවත් ජංජාලයකි.
පුද්ගලික විශ්වවිද්‍යාලයකට යවා හෝ උපාධියක් කරවිය යුතුය. මේවාට වියදම් කලපසු අතේ
ඉතිරිවන පිච්චියක් නැතිය. එවිට සිදුවන්නේ දරුවන්ගෙන් යැපීමටය. දැන් කාලේ ඒකත්
කරන්නට බැරිය. ඒ නිසා මිනිසුන් රජයේ සේවයට එක්වීමට මේ තරම් කැමැත්තට ප්‍රධාන හේතුවක්
වන්නේ මේ පෙන්ෂන් එකය. අනෙක් අතින් කිව්වොත් පුද්ගලික අංශයට පෙන්ෂන් එකක් නැතිකමය.
ප්‍රයිවෙට්
සෙක්ටර් එකේ ජොබ් ෂුවර් නැතිබව බවත් රජයේ රැකියාවකට ගියවිට මොනදේ උනත් රස්සාව
ඉතිරිවන බවත් සමාජයේ පවතින මතය රජයේ රැකියා සෙවීමට තවත් හේතුවකි. අපේ රටේ පුද්ගලික
අංශයේ ආයතන කිහිපයක් හැරෙන්නට අනෙක් ඒවා අද තිබෙන ආයතනය හෙට යනවිට වසා තිබෙන්නට
පුලුවන. එසේ වූ අවස්ථා පසුගිය කාලය පුරා පැවතිනි. අඩුම තරමින් දැඩිසේ අධීක්ෂණය වන
බැංකු පවා වසා දැමුණු හෝ කඩා වැටුනු අවස්ථා තිබුණි. එවිට සේවයෙන් ඉවත් වීමට, ඉවත්
කිරීමට, වැටුප් අඩුවීමට සේවකයන්ට සිදුවිය. රජයේ සේවයේ ස්ථිර වූ පසු මේ කිසිම
පුරස්නයක් නැතිය. මොනා උනත් මාසේ අන්තිමට පඩි ෂුවර්ය. හරියට නිකන් බඩේ බනිස් වගේය.
ළමයෙක්
බලාකියා ගන්න හරි හමන් ඩේ කෙයා එකක් නැතිය. තියෙනා එකට උනත් ළමයා දාලා ගියොත් හවස කීයට
ඩේ කෙයි එක ලඟට එන්නට පුලුවන් වේදැයි දන්නේ නැතිය. ඒ තරම් පාර ක්ලියර්ය. ගෙදරකට පුහුණුව
ලැබූ සේවකයන් ලබාගන්නට ක්‍රමයක් නැතිය. දරුවන් බලාකියා ගන්නා පුහුණුව ලැබූ
කාන්තාවන් ලබාගතහැකි ක්‍රමයක් නැතිය. ප්‍රයිවෙට් සෙක්ටර් එකේ වැඩකරනවිට යන එන
වෙලාවක් කියන්නටත් බැරිය. අද තියෙන වැඩේ හෙටට කල් දමා එන්නට ගියොත් පහුවෙනිදාට
ඔෆිස් යන්නේ නැතිව වෙන රස්සාවක් හොයාගැනීම හොඳය. ඉතින් මේ නිසා මිනිස්සු වැඩි නිදහසක්
ඇති රජයේ රස්සා හෙවීම අරුමයක් නොවේය.
රජයේ
සේවකයන් අයිස් ගහනවා කියන එක සමාජයේ කලක පටන් බ්‍රෑන්ඩ් වී පවතින සංකල්පයක්ය. මෙහි
ඉස්සර ඇත්තක් තිබුණද දැන්නම් ඔය කියනා තරම් ඇත්තක් නැත. ඉස්සර අයිස් ගහනවා
කිව්වේ පත්තර බලමින්, තේ බොමින්, ඕපාදූප
කියමින් වැඩකරන්නේ නැතිව කාලය ගතකිරීමය. නමුත්
දැන් ඒ කාලය අවසන් වී ඇත. මහජනතාව වෙනදාට වඩා බුද්ධිමත්ය. ලෝකයේ රටේ තොටේ වෙන දේ
ගැන අවබෝධයක් ඇත. තමන්ගේ රාජකාරිය හරිහැටි ඉටුඋනේ නැත්නම් ඒ ගැන පැමිණිලි කිරීමට
ජනතාව පැකිලෙන්නේ නැත. රාජකාරිය හරියට කෙරෙන්නේ නැත්නම්, පගා ඉල්ලනවානම් ඒ ගැන
හොරෙන්ගත් වීඩියෝව විනාඩි ගණනකින් යූ ටියුබ් එකේය. නැත්නම් රෑ නිව්ස්වලට යනවාය. එවිට
වැරැද්ද කළ එකාට දෙයියන්ගේ පිහිටය. මේ නිසා රජයේ සේවකයින්ද පුලු පුලුවන් විදිහට තමන්ගේ සේවය
ඉටුකිරීමට කැමැත්තෝය. මේ සියල්ලටම වඩා තාක්ෂණික දැනුම ඇති එකාට රජයේ කන්තෝරුවකට
යන්නට වෙන්නේ පොඩි පොඩි වැඩ කිහිපයකටය. බැංකු කටයුතු, බිල් ගෙවීම් වගේ දේවල් නම් දැන්
පෝලිමේ ලගින්නේ නැතිව ෆෝන් එකෙන් නැතිනම් කොම්පියුටර් එකෙන්ම කරගත හැක. දැනට
පුරස්න ඇත්තේ එක එක ජාතියේ අනුමත කිරීම්වලට කාලය ගත කිරිමය. ඒවායේත් නීති රීති
වෙනස් වෙනවානම් රාජ්‍ය සේවය තව කාර්යක්ෂම කළහැකිය.
කඩුව
වැනීමට හැකිවීම පුද්ගලික අංශයේ හොඳ රැකියාවකට යාමට ඇති ඉහළම සුදුසුකමය. අපේ රටේ ජනප්‍රිය
පාසැලකට ගොස් කඩුව එහේ මෙහේ වැනිය හැකිනම් පුද්ගලික බැංකුවක, ලොකු ආයතනයක රැකියාව
ෂුවර්ය. පුද්ගලික අංශයේ බහුතරයක් ආයතනවල රාජකාරිය කෙරෙන්නේ ඉංගිරිස් වලින්ය. පවුල්
පසුබිම ඇති එකාට ඉංග්‍රීසි ටොයිස් වුවද ගමෙන් ඇවිත් උපාධියත් ගත් එකාට ඉංග්‍රීසි
ග්‍රීක්ය. මේ නිසා මේ රටේ දැනුමක් තේරුමක් ඇති, වැඩක් කරන්නට හැකි නමුත් ඉංග්‍රීසි
නොදත් උන් හොයන්නේ රජයේ රස්සාය. මේ කෙහෙම්මල් ඉංග්‍රීසියට වැඳගෙන සිටීම නිසා අපේ
රටට සිදුවී ඇති හානිය නම් සුලුපටු නොවේය. (මේ ගැන හුඟක් දේ කිවයුතු නිසා පසුවට පෝස්ට්
එකක් ලියමි)
සමහරවිට
රජයේ කන්තෝරුවකින් කරගන්නට යන වැඩක් හිතූ තරම් ඉක්මනින් නොකෙරෙන අවස්ථා ඇත. රජයේ
සේවකයින්ද නීති රීතිවලින් බැඳිලාය. හරියට ගස් මෝවියා රජයේ සේවකයින් ගස් බැන්ඳා
වගේය. ඒවායින් පිට පැන්නොත් රස්සාවට කෙල වෙන්නේය. විනය පියවර ගැනෙන්නේය. වැඩ තහනම්
වෙන්නේය. සමහර විට ඊලඟ ආණ්ඩුවෙන් එෆ්.සී.අයි.ඩී. යන්නට සිදුවන්නේය. එහෙම උනොත් වැඩ
කරවා ගන්නට එන අය තනියටවත් එහේ යන්නට එන්නේ නැතිය. හිරේ යන්නට සිදුවන්නේත් රස්සාවට
කෙලවෙන්නේත් තමුන්ට තනිවමය. ඒ නිසා දැන් රජයේ සේවකයන් ඉස්සරවගේ නොවේය. හරි
පරිස්සම්ය. (මේ ආණ්ඩුව ආවාට පසු තවත් පරිස්සම්ය)
කරන්නට ඇති
වැඩක් වුවත් ඉස්සර නම් දින දෙකෙන් තුනෙන් අවසන් කල වැඩ දැන් කරන්නේ ටක්කෙටම ස්ටඩි
කර සති දෙක තුනක් ගත කොරලාය. ඒ ඊලඟ ආණ්ඩුවෙන් එෆ්.සී.අයි.ඩී. යන්නට ඇති බිය
නිසාමය. කවුදෝ මන්තිරියෙක් කියා තිබුනේ මේ එෆ්.සී.අයි.ඩී එක නිසා දැන් රාජ්‍ය
නිලධාරීන් පන්සලකට දෙන ආධාරයක්වත් දෙන්නට අදිමදි කොරනා බවය.
හැබැයි
මේ අස්සේ තවත් ප්‍රශ්නයක් තියෙනවාය. ආණ්ඩුවේ කන්තෝරුවල පඩිය අඩුය. ඒ නිසා ගෙදරට
සර්වන්ට් කෙනෙක් ගන්නට ටිකක් අමාරුය. අහලින් පහලින් හොයාගත් වයසක ආච්චි කෙනෙක් වගේ
කෙනෙක් නම් රැපියල් 10000 ක්වත් දී තියාගත හැකිය. ඒ නිසා රජයේ කන්තෝරුවට ගියත්
කල්පනාව ගෙදර ප්‍රශ්න ගැනය. ළමයා මොන්ටිසෝරි ඇරී ගෙදර ආවාද, කෑවාද, කියා කල්පනා කල
යුතුය. තියෙන ආර්ථික ප්‍රශ්න නිසා පොඩි පගාවක්, කොමිස් එකක් නොගත්තද මේසේ ලාච්චුවට
දමා යන කීයක් හරි ගන්නා වෙලාවල් ඇත. එතකොට රාජ්‍ය සේවය දූෂිතය. සර්වන්ට් ආවේ නැති
දවසට, සර්වන්ට් අසනීප වූ දවසට වගේ ගෙදර ප්‍රශ්න ඇති වේලාවට කලින් කියන්නේ
නැතිව ඉඳහිට නිවාඩුවක් ගන්න වෙනවාය. හදිසියේ පොඩි එකා අසනීප උනොත් ගෙදර නවතින්න
වෙනවාය. නැතිනම් ඔෆිස් ආවද නිවාඩුවක් දමා ගෙදර දුවන්න වෙනවාය. නැතිනම් ඉස්කෝලේ ගිය
පොඩි එකා කාර්යාලයට එක්කාගෙන එන්න යන්න වෙනවාය. මේ ගිහින් එනකොට තමන්ගෙන් සේවය
ලබාගන්නට පැමිනි ජනතාව පෝලිමේය. නැතිනම් මේසේ උඩ ෆයිල් ගොඩගැහිලාය. එතකොට රාජ්‍ය
සේවය අකාර්යක්ෂමය.
පත්වෙන
ආණ්ඩුවල ප්‍රතිපත්ති අනුවද රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව අඩු වැඩි වෙනවා කීවොත් එය
මුසාවක් නොවේය. මේ දවස්වල රාජ්‍ය සේවයට බලපා ඇති ප්‍රධාන කරුණක්
නම් කරන්නට වැඩක් නොමැතිවීමය. මේක කියන්නේ කාටවත් පහර ගැසීමකට නොව ඇත්ත ඇති
සැටියෙන් කීමටය. ප්‍රේමදාස යුගයේ ගමේ මේසන් බාස්ටද වැඩ තිබුණි. රජයේ ඉහළ නිලධාරීන්
උදේ 4 සිට ෆුල් ඇටෙන්ෂන් එකේ සිටියේ කොයි මොහොතේ කථාකරවිදැයි දන්නේ නැති නිසාය.
කට්ටියම වෙලාවට වැඩට ගියේ කරන්නට ඇති වැඩේ පරක්කු උනොත් ගෙදර යන්නට සිද්ධ වෙන
නිසාය. චන්ද්‍රිකා කාලෙයේ මේ ගතිය වෙනස්විය. රටේ වැඩක් හරියට කෙරුනේ නැති නිසා
රාජ්‍ය සේවයද බල්ලා මාක් එකට වැටුනි. රාජපක්ෂ කාලයේත් සංවර්ධන නිලධාරියාටද ගමේ
මොකක් හෝ වැඩක් තිබුණි. පාරක් කොන්ක්‍රීට් කරද්දී ගමේ සංවර්ධන නිළධාරියා, ග්‍රාම
සේවක, සමෘද්ධි නිලධාරියා එයට සම්බන්ධ විය
යුතුවිය. එතකොට උපාධි කොල්ලෝ කෙල්ලෝ කිව්වේ අට පාස් නැති ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා
එක්ක අපිව වැඩට දැම්මා කියාය. විවේචන තිබුණද දිවි නැගුම වැනි බිම් මට්ටම දියුණු
කරන සංවර්ධන ව්‍යාපෘතිවලට සංවර්ධන නිලධාරීන්, ග්‍රාම සේවක, සමෘද්ධි නිලධාරීන්,
පවුල් සෞඛ්‍ය සේවිකාවන් සම්බන්ධ වියයුතු විය. ඒකට කස්ටිය කිව්වේ උපාධි කොල්ලෝ
කෙල්ලෝ ගමේ ඇට බෙදන්න යැව්වා කියාය. දැන් බෙදන්නට ඇටයක්වත් නැති නිසා උන්ද ඔහේ
වේලි වේලී සිටිති. ෆීල්ඩ් එකෙත්, ආයතනවලත්, අමාත්‍යාංශවලත් තත්ත්වය එහෙමය.
පසුගිය
දිනයක ප්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රයේදී පැවති වැඩමුලුවකදී දේශකයෙක් අපූරු කථාවක් කියා
තිබුණි. අප්‍රිකානු රටකි. රටට ජපන් ආයෝජන
එන්නේම නැති තරම්ය. ඉන්න ජපනාද අකුලාගෙන යන්නට හදනවාය. මේ ගැන විමර්ශනයක් කර
වාර්තාවක් දෙන්නට කමිටුවක් පත් කලෝය. කමිටුවේ වාර්තාවේ තිබුණේ අති සරළ දෙයකි. මේ
රටේ ජපන් භාෂාවෙන් අධ්‍යාපනය ලැබිය හැකි පාසැලක් නොමැතිවීම නිසා ජපන් ජාතිකයන් මේ
රටට එන්නට අකමැතිවන බවය. ආණ්ඩුව කලේ පටස්ගා
ජපන් පාසැලක් පිහිටුවන්නට අවශ්‍ය සබ්බ සකළ මනාව ලක ලෑස්ති කිරීමය. ටික කලක්
ගතවනවිට ජපන් ආයෝජන ඒ රටට එකසිය ගානට එන්නට විය.
අපේ රටේත්
ප්‍රයිවෙට් සෙක්ටර් එක නැගලා යන්නටත්, රාජ්‍ය සේවය නැගලා යන්නටත් කල යුත්තේ
ජනතාවගේ වර්තමාන අවශ්‍යතා හඳුනා ගැනීමය. වැඩේ වෙලා ඇත්තේ ප්‍රයිවෙට් සෙක්ටර් එකට ජනතාව
ඇදගැනීමටත්, රජයේ සේවකයන්ට හිතේ නිදහසේ රස්සාව කිරීමටත් අපේ රටේ සමාජීය යටිතල පහසුකම් වර්ධනය නොවී
තිබීමය. අඩුම තරමින් යන්නට එන්නට හරි හමන් ප්‍රවාහන පහසුකමක් නැත. කෝච්චියේ යන්නේ
තනි කකුලෙන්ය. බස් එකේ යන්නේ අනෙකාගේ ඇඟ උඩය. ඒ මදිවාට කඩප්පුලි කොන්දලාගේ වාචාල
කථා අසමින්ය. නොමිලේ සපයන සම්බාහන පහසුකම්වලින් ඇඟ ගානට මසාජ් කරගෙන කාර්යාලයට එන එකාට හරි නම්
මුලින්ම වෙනිවැල් ගැට පෙවිය යුතුය. සමහර ආයතන නම් තමන්ගේ සේවකයින්ට ප්‍රවාහන
පහසුකම් සපයනවාය. ඒ ආයතනවලට අපේ ප්‍රණාමය පුදකරන්නට ඕනෑය.
හවසට
ගෙදර යනවිටත් තත්වය මීට දෙවැනි නැත. ඔෆිස් අහවර වූ වහාම මීටර් සියය දුවන්නා සේ බස්
නැවතුමට හෝ ස්ටේෂන් එකට රන් එක දෙන්නේ පා පුවරැවේ හෝ එල්ලී ගෙදරට යාමටය. මේ
තදබදය අස්සට ගෑණියෙක් අසු උනොත් හතර අතින් ආනමාලු, කෝලිකුට්ටු, ඇම්බුන්, රතබලන්,
සීනි කෙහෙල්, ඇඹුල් කෙහෙල්, ඇටි කෙහෙල් තද
වෙන්නේය. ආපසු බහින්නට සිදුවන්නේ මාරු වී ඇති අතපය හතර නැවත සුහදව මාරුකරගැනීමෙන්
අනතුරුවය. ගෙදර ආ වෙලේ පටන් උයන්න, පොඩි උන් නලවන්න, ඉස්කෝලේ වැඩ, රෙදි මදින්න,
පහුවදා උදේට උයනදේ ලෑස්ති කරන්න කප්පරක් වැඩය. අඩුම තරමින් 11 ටවත් ඇඳට යන්නේ හතර
හන්දි රිදෙන නිසා නිදා ගන්නටය. අපට නැතත් ශරීරයේ අංගවලට අවශ්‍යතා පවතින නිසා උදේ 4.00 සිට මහන්සි වී සිටින ගෑණිගේ ඇඟට උඩින් කකුලක්
දැම්මත් ගෑණිට මල පනින්නේය. ඔෆිස්වලට අලුත ආපු කෙල්ලන්ගේ නාරි ලාලිත්‍යයද, ලාවට
පේන පෑන්ටි දාරයද, බස් එකේ, කෝච්චියේ ජැක වැදීමෙන් ඇතිවන මෝටිවේෂන් එක නිසාද දෙන්නම් ජම්බු කියා ගෙදරට එන මිනිහාට සිදුවන්නේ
තැඹිලි කෝම්බයක පිහිට පැතීමටය. ඉතින් පවුල්
ජීවිතයක් සාර්ථක වන්නේ නැතිය.
අද වනවිට
කාර්යාල ප්‍රවාහන බස් රථ, නවීන ඩේ කෙයා, ඉංග්‍රීසි මාධ්‍ය මොන්ටිසෝරි, ජාත්‍යන්තර (පුද්ගලික)
පාසැල්, පුද්ගලික රෝහල්, පුහුණු ගෘහ සේවකයින්, වෙනකක් තබා ඉංග්‍රිසි මාධ්‍ය දහම්
පාසැල් ද මැජික් නොවේය. ඒවා මේ රටේ පහල මධ්‍යම පාන්තිකයන්ගෙත්, ඉහළ මධ්‍යම
පාන්තිකයන්ගේත් අවශ්‍යතාය. මේ රටේ රජයේ සේවයේත්, පුද්ගලික අංශයේත් වැඩි ප්‍රමාණයක් සිටින්නේ පහල
මධ්‍යම පාන්තිකයින්ය. මේ රට ඉදිරියට ගෙනයන්නට විශාල කාර්ය භාර්යක් ඉටුකිරීමට මේ කොටසට
හැකියාව ඇත. රජය සිදුකල යුත්තේ මේ අයගේ බර කරට ගැනීම නොවේ. මේ අයගේ අවශ්‍යතා ඉටුවන
අයුරින් ප්‍රතිපත්ති සම්පාදනය කිරීමය. ඒ
ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට පුද්ගලික අංශයට
අනුබලදීමය. එවිට මිනිසුන්ගේ අවශ්‍යතා ඉටුවීමත්, නව ව්‍යාපාර ඇතිවීමත්
සිදුවන්නේය. පහුගිය කාලයේ අධිවේගී මාර්ග ප්‍රමුඛ මාර්ග පද්ධතිය සංවර්ධනය
වූ නිසා රටේ ආර්ථික පුබුදුවක් ඇතිවිය. ඒ ලෙසටම අනෙකුත් සමාජීය යටිතල පහසුකම්
සංවර්ධනය කලහොත් මේ රටේ අනාගතයට නව ගැම්මක් ගත හැකිය. මෙන්න මේ ටික කොරන්නට
දැනුමක් තේරුමක් ඇති, ලෝකය දැක ඇති, පොලවේ පය ගසා ජීවත්වන නායකයින් මේ රටට අවශ්‍යය.
ආණ්ඩුව සහ නායකයින් හත්පොලේ ගා ගන්නේ නැතිව ප්‍රතිපත්ති සහ සැලසුම් ටික හදනවානම්,
පුද්ගලික අංශයට ඒවා කරන්නට දී හරියට නියාමනය කරනවානම් මිනිසුන්ට වැඩ කිරීම මහ
කජ්ජක් නොවනු ඇත.
ලෙඩ ලයිස්තුව මරු!
ReplyDeleteෆෙස්බුක්ග්‍රේන් හෙමත් ඇති නේද?
ඔව් ඒක අලුතෙන් හැදුනු ලෙඩක්නේ. ඒකත් මේකට ඇඩ් වෙන්න ඕන.
Delete/* මෙය හරියට මම දැක්කේ තමන් යාලු වෙච්ච කෙල්ලන් අතරින් තමන් කැමතිම කෙල්ලන් කවුදැයි කියා අනුපිලිවෙලට නම් කරනවා වගේ වැඩක් හැටියටය. */
ReplyDeleteඅප දෙන්නාම හිතන්නේ එකම විදියට බව පෙනේ!
ඔබේ පෙම්වතියන් අතරින් හොඳම පෙම්වතියන් දාසය දෙනා තේරිය හැකිද? - What is the best selection crieteria :: https://rasikalogy.blogspot.com/2016/08/what-is-best-selection-criteria.html
!!!
කාටද අප්පා ඒ අසරණ දැරිවියන්ගේ මුණු මතක් කරගෙන ඒ වගේ අසාධාරණ වැඩක් කරන්න පුලුවන්.
Deleteඋඹේ ලියවිල්ලත් මරු,ප්‍රශ්ණ දිහා බලන විදියත් මරු....ඒ වගේම උඹ මොනව කිව්වත් මට එකක් ෂුවර්. උබේ බිරින්දෑ මේ බ්ලොග් එක බලන් නෑ.බලනවනම් උබ ගෙදට්ට ගන් නෑ.ඉතින් අර මුස්ලිම් උන්දැගෙ කතාවත් දාහන්කො බන්.
ReplyDeleteහික් හික් මම අහුවෙයි ඕවට. මේ බලහන්. මම මගේ බිරින්ඳෑගේ විශ්වාසය දිනාගත්ත අවංක, අකලංක, නිකැලැල්, සුපේෂලකාමී, බෝධිසත්ව ගුණෝපේත චරිතවත් පොරක්. ගෙදර උන්දෑ දන්නවා මම හීනෙන්වත් වරදක් කොරන්නේ නෑ කියලා.
Deleteහැක්.. නියම ලෙඩ සැට් එක.
ReplyDeleteමොනව උනත් ස්මාට් ෆෝං වල එක හොඳක් තමයි වැරැද්දක් දැක්ක තැන රෙකෝඩ් කරල පබ්ලික් මීඩියා වල දාන්න පුලුවන් වීම.
ඔව් ස්මාට් ෆෝන් වැඩේ නිසා දැන් පගා ගන්න හුඟ දෙනෙක් ටිකක් කල්පනා කරලයි වැඩේ කරන්නේ. කොහෙන් රෙකෝඩ් වෙයිද දන්නේ නෑනේ.
Deleteලෙඩ ටික නියමයි. සේව් කරගත්තා.
ReplyDeleteඅර රසිකලොජි දාලා තියෙන ෆෙස්බුක්ග්‍රේන් එකත් මේකට ඇඩ් කරගන්න
Deleteරාජ්‍ය සේවයේ අට අනූවක් රෝග පරම්පරාගත රෝග වගේ. එදත් එහෙමයි අදත් එහෙමයි.
ReplyDeleteබොසා ගියා ෆයිල් වහමු...ඩාලින් අපි අයිස් ගහමු
එන්න මගේ ස්ටෙනෝ කුමාරි........... කියලා නැගලා යන සිංදුවක් කරා ඉස්සර අසූ ගනන් වල මවුන්ට් චයිම්ස් එක්ක හිටිය ලාල් කියලා හොඳ ගිටාරිස්ට් කෙනෙක්. ඒ සින්දුව එලියට ආවද මන්දා.
මම මේ සින්දුව ඇහුවමයි. පොඩ්ඩක් හිටහන් ගූගල් දෙයියට ලියලා බලන්න මේ සින්දුව ගැන.
Deleteහොයන්න හම්බවෙන එකක් නැහැ මචෝ. ඕක මවුන්ට් චයිම්ස් ඩයස්ලා දන්න කෙනෙක් ඉන්නවා නම් අහගන්න පුලුවන්. ඒ කාලේ ඔය සෙට් එක හම්බවුනාම ලාල් ඕක කියනවා.
Deleteඔව් ගූගල් දෙයියා ලඟත් නෑලු.
Deleteඔයාලගේ ඔපිස් එකෙත් ඉන්නවද ඔහොම අය
ReplyDeleteදැන් එකේ නෑ. කලින් එකේ හිටිය. කලින් ඔෆිස් එකේ මම ඉරාගෙන වැඩ කරනවා. අනිත් එව්වො අයිස් නෙමෙයි අයිස් කඳු. ඒ ඔෆිස් එකේ ෆින්ගර් ප්‍රින්ට් මැෂිමක් තිබුනේ නෑ. පොතේ අත්සන් කරන්න තිබුනේ. සමහර වෙලාවට මම රෑ 10 ත් පහු වෙලා යතුර බාරදීලා යනවා. පහුවෙනිදා ඇවිත් බලනකොට රෑ 10.30 ත් පහුවෙලා සමහරු ඕෆ් වෙලා තියෙන්නේ. ඒ කාලේ උන් ඕටී සෑහෙන්න ගත්තා.
Deleteඕව කෙරෙයිද? රාජ්‍ය සේවකයන්ට තනිකකුලන් යන්න හරි කොච්චි දුවනව අපිට ඒකත් නෑ. බස් එකේ ගියොත් හෙට උදේට වැඩට එන්න ලෑස්ති වෙන වෙලාවට ගියෑකි.
ReplyDeleteඅපේ රටවල් දියුණු වෙන්න නම් මේවා කවදා හරි කෙරෙන්න ඕන මද්දා.
Deleteඅර සින්දුව කියන්නෙ ප්‍රෙඩි සිල්වා. ලියන්න ඇත්තෙ ෂුවර් එකටම ප්‍රේම්. තා එකක් තියෙනවා ඇන්ටන් ජෝන්ස්ගේ, කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන කියලා.
ReplyDeleteසමහර අදහස් හා එකන්න නෑ. කොහොමත් රාජ්‍ය සේවය අපේ රටට ඔරොත්තු නොදෙන මහා බරක්.
ඇත්තටම මේ පවතින රාජ්‍ය සේවය නම් ලොකු බරක් තමයි. පිරිස් කළමණාකරනය මහා විකෘතියක් කියලා මට හිතෙන්නේ. දේශපාලකයින්ගේ සහ නිළධාරින්ගේ බල උවමනාකම් වලට, බෙල්ල කපා දැමු අභාග්‍ය සම්පන්න සේවාවක්.
Deleteමාතලං ගුරුතුමාට සහ අරුණට ස්තුතියි. අපේ රටේ පවතින රාජ්‍ය සේවයේ සමහර අංග සමග මමත් එකඟ නෑ. සුද්දා පනවපු නීති, හරි හමන් පුහුණුවක් නැතිකම, අලුත් දැනුම නැතිකම, ආර්ථික, සමාජ දේශපාලන පීඩනය මේ හැමදෙයක්ම රාජ්‍ය සේවය අද තියෙන තත්වයට පත් වෙන්න හේතු සාධක. මම මේ පෝස්ටුවෙන් ලිව්වෙ සාමාන්‍ය රාජ්‍ය සේවකයා ගැන. වරප්‍රසාදලාභි රාජ්‍ය සේවකයෝ සහ සේවාවන් (පරිපාලන, විදේශ සේවා වැනි) ගැන වෙනම ලියන්න ඕන. ඒ අයගේ තත්වය මීට වඩා වෙනස්.
Delete//ඔෆිස්වලට අලුත ආපු කෙල්ලන්ගේ නාරි ලාලිත්‍යයද, ලාවට පේන පෑන්ටි දාරයද, බස් එකේ, කෝච්චියේ ජැක වැදීමෙන් ඇතිවන මෝටිවේෂන් එක නිසාද දෙන්නම් ජම්බු කියා ගෙදරට එන මිනිහාට සිදුවන්නේ තැඹිලි කෝම්බයක පිහිට පැතීමටය.//
ReplyDeleteමුළු පෝස්ට් එකෙන්ම කොච්චියාගෙ කුපාඩි සිතේ පැලපදියම් වූ වදන් කිහිපය...අම්මාපා ඕක තමා බන් ලංකාවෙ ස්වභාවය..
නෑ බං ඕක හෝමෝ සේපියන් මානවයාගේ ස්වභාවය. ලංකාවේ උන්ගේ තියෙන පීඩනයත් එක්ක මේක චුට්ටක් වැඩියි. ඒකනේ ගූගල් දෙයියාගේ වැඩිම සෙක්ස් සර්ච් කරන පොරවල් ලංකාවේ ඉන්නවා කියන්නේ.
Deleteඅම්මෝ! අපේ කස්ටියට ඔය ඔක්කොම ලෙඩ එකට තියෙන එකනේ වැඩේ!
ReplyDeleteඅඩු වැඩි වශයෙන් මේ සියලු රෝග වලින් සමන්විත අයෙක් රාජ්‍ය සේවකයෙක් නම් වන්නේය.
Deleteවරප්‍රසාද ලාභී රාජ්‍ය සේවකයො ගැනත් ලියපං. මං බලාගෙන ඉන්නෙ හැබැයි විදේශ සේවා කියල එකක් රජයේ සේවයේ නෑ. සමස්ථ කියන වචනෙ සමස්ත කියල හදපන්. අනික් පෝස්ට් එකට දිග කමෙන්ට් එකක් ලියඤඤං.
ReplyDeleteමම මේ දවස්වල වරප්‍රසාද කට්ටිය ගැන තොරතුරු හොයනවා. විදේශ සේවා කියන සේවයට නේද ෆොරින් සර්විස් එග්සෑම් එකෙන් බඳවා ගන්නේ. මගේ වයිෆ් ෆොරින් සර්විස් වලින් පාස් උනා. පලවෙනි 5 දෙනා අතරත් හිටියා. අන්තිමට උනේ දේශපාලන ලිස්ට් එකකින් කට්ටිය ගියා. විභාගේ පාස් වෙච්ච අය කැලේ.
Deleteෆොරින් සර්විස් එග්සෑම් එකෙන් බඳවා ගන්නේ ෆොරින් සර්විස් එකට හෙවත් විදේශ සේවයට. විදේශ සේවා කියන්නෙ බියුරෝ එකට. දෙක පටලවා ගන්න එපා.
Deleteහරි වචනේ වැරදුනා. පිලිගන්නවා.
Deleteමට මේ දවස්වල ටෙලිෆෝනියාව සහ කැලැන්ඩරයිටිස්. විභාගේ ඉවර වෙනකල් දවස් බලනවා පටන් ගන්න කලින්. කාගෙන් හරි කෝල් එකක් එනකල් ඉන්නවා පාඩම් කරන එක නතර කරන්න. :P
ReplyDeleteහයියෝ කම්මැලි ළමයා. එක අතකට එහෙම කියලත් වැඩක් නෑ. මමත් විභාගවලට පාඩම් කලේ හරිම අඩුවෙන්.
Deleteමේ ලමයානං සැහෙන කැපකිරිමක් කරනවා පාඩං කරන්ඩ ....පාන්දර හතර හමාරටත් පේස් බුකියේ පාඩං කරනවා
Deleteඅන්න ළමයි
Deleteඅදහස ටික නම් පන්කාදුය් ආයුබෝවන්ඩ ...... මෙ කපෙ නම් බුදුන් පහල නොවෙන නිසා තිස් තුන් කෝටියක් දෙවි වරුනුත් අකුරට වැඩ හින්දා ..... පපාණ්ඩු කම්බල සයිලාසනෙත් අබලන් වී ඇති නිසා අපි කුමක් කරමුද?
ReplyDeleteඑහෙනම් නගා “මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පින් පුරවමු අපි සංසාරේ“ වෙන මක්කා කරන්ඩය.
ReplyDeleteමම ලබා ඇති අත්දැකීම් සමග රාජ්‍ය සේවයේ ඉන්නා ගොඩ පිරිස කම්මැලියෝ කියන මතයෙන් ඉවත් වෙන්න තවමත් අකැමති උනත් ... මල් මල්ලී නොහොත් අයියා පවසන රාජ්‍ය සේවකයින් පෙලන පොදු ප්‍රශ්න වලට නම් කණ්ඩා එකඟය ! ඒවාට විසඳුම් නොමැතිව උන්ට බැන අඬ ගසන එක පල රහිතය !
ReplyDeleteඅනෙක මම අත් දැක තියන පරිදි වැඩකාරයා කොහේ ගියත් වැඩය... බොරුකාරයාත් එහෙම්මය ... අඩුම තරමේ වැඩකාරයාටත් බොරුකාරයාටත් වැඩ ලෙහෙසි කරවන මෙවලම් (Tools) ලබා දිය යුතුය ...
කණ්ඩා IT කාරයෙකි ඉතින් කණ්ඩාට මෙවලම් යනු පරිගණක පද්ධති සහ සේවාය ... බටහිර රටවල් මෙන්ම දියුණු තත්වයේ ඇති ආසියාතික, මැදපෙරදිග රටවල් හැමකම දියුණු පරිගණක පද්ධති සහ සේවා ඇත්තේය ... නිවසේ සිටම බොහෝ කාර්යන් ඉටු කල හැකිය. කාලය නාස්ති කරනා පෝලිම් නැත්තේය.
ඒ අතින් ගත කල අපගේ රාජ්‍ය සේවය මෙන්ම පුද්ගලික අංශයත් ඉන්නේ ගල් යුගයේ යයි කිව නොහැක, බොහෝවිට ජුරාසික යුගයේ විය හැක.
මේ හැම වෙනස් වන දිනයක් දකින්නට කණ්ඩා පෙරුම් පුරන්නේය ... සමාජයේ අප වැඅතරම සිටින බත් බුදින සම-හරක් පාර්ලිමේන්තු නොයවනවා නම් මේ සිහිනය සැබෑ වෙනු ඇත්තේය ! එහෙමත් නැතිනම් මුන් හැමට බත් වෙනුවට පුන්නක්කු ලාබයට දීමේ වැඩ පිළිවෙලක් මීළඟ අයවැය යටතේ ඇරඹිය යුතුය ...
මේ අදහසට මල් මල්ලී සීයට සීයක් එකඟය. මල් මල්ලීගේත් සිහිනය ඒ වගේය.
Deleteමේක සම්පූර්ණයෙන් ඇත්තය. සමහර දවස්වල මාත් කිසිම වැඩක් නොකර ඉන්නවා. හැබැයි වැඩ කරන එකාට කොහෙත් එකයි. ඒ වගේම අවශ්‍ය වෙලාවට ඕනෑ වැඩක් කරන්න නිදහසත් රාජ්‍ය සේවයේ තියෙනවා. හොඳම උදාහරණය තමයි සමහර ගැටලු වලට මං තනියම විසඳුම් හොයාගන්නවා. ඒකෙ අවාසිය තමයි එහෙම ගැටලුවක් තිබුන බව හෝ මං ඒක විසඳපු බව ඉහළ ඉන්න අය නොදැනීම නිසා මට ලකුණු අහිමි වීම .
ReplyDelete“වැඩේ කෙරෙන්නත් ඕන. ලොක්කා දැනගන්නත් ඕන“ මේක මට පහුගිය කාලේ ලොකු තනතුරක් දරපු කෙනෙක් දුන්නු අවවාදයක්.
Deleteමොකුත් දාන්නේ නැද්ද බන් අළුතෙන්?????
ReplyDeleteඑකක් ලියලා තියනවා බං. ඒකේ විස්තර ටිකක් තියෙනවා ඩබල් චෙක් කරන්න. ඒක ඉවර උන ගමන් දානවා.
ReplyDeleteහොම්බයිටීස් නම් අපේ කන්තෝරුවෙත් එමට... වෙනස් ලියවිල්ලක්..ස්තුතියි
ReplyDeleteමෙහෙත් අඩු වැඩියට හැම එක්කෙනාම ඉන්නවා. දැක්කා නොදැක්කා ගානට තමයි රස්සාව කරන්නේ
ReplyDeleteහොඳ වෙලාවට මං අයිති වෙන්නේ "සෙල්ෆ් එම්ප්ලෝයි" ගණයට. ඒත් විවිද අවශ්‍යතා සදහා රාජ්‍ය ආයතන හා ගනුදෙනු කරන්නත් වෙන්නේය . මේ කියන අය ඔය යන එන ගමන් වලදී නිතර මුණගැහෙන්නේය. ඒ වගේම සුහදව රාජකාරිය ඉටුකරන නිළදාරිනුත් නැ මය කියන්නට බැරිය. එත් වැඩි දෙනා බලන්නෙම පගාව ගන්නට බැරි තැන රස්තියාදු කරන්නටය. සමස්තයක් ලෙස කාන්තාවන්ට රාජකාරි කටයුතු අප්‍රිය කර ගෙදරට වී ගේ දොර බලාගෙන සිටීමට හිත පැහැද වීමටය. එය ජාතියකට කරන එක්තරා සේවයක් උවද මා දැනට ජිවත් වන වට පිටාවේ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන නිළදාරින් මා දුටු විට නොපමාව කටයුතු සොයා බලා ඉටු කරදෙන්නේ ස්වකමත්තෙනි. ඒ මං එරන්දී නිසා ඇතිවන ගෞරවය නිසා නොව මගේ රාජකාරිය ඉටුවන තුරු මා පන්නා ගත නොහැකි බව දන්නා නිසාවෙනි. ඒ නිසාම මගේ රියදුරු මහතා නොබියව කියන්නේ , ඔබ නැත්තත් වාහනය තිබුණත් ඇත කියාය.
ReplyDeleteකෙසේ වෙතත් ඔබ ලියා ඇත්තේ මගේ දැනුමේ හැටියට සහතික ඇත්තය. මේ දවස් වල නිළදාරින් "true copy" වෙනුවට "original" ම ඉල්ලන්නේ හැබෑම බය නිසාය.