Sunday, February 12, 2017

ඒක හීනයක් විතරයි

පුංචි දියණියත්, බිරිඳත් සුව නින්දේ. බාගෙට විවර කරලා තිබුනු ජනේලයෙන් සිහිල් සුළං රැල්ලක් කාමරයට ඇදිලා ආවා. හුඟ කාලෙකින් ඇදහැලුනු වර්ෂාවත් එක්ක මෙතෙක් කල් පැවති කර්කෂ රෂ්මිය මැකිලා ගිහින්. යන්තම් සිරිපොද වැස්සක් වැටෙන සිලි සිලි හඬ ඇහෙනවා. සිගරැට්ටුවකුත්  ලයිටරයත් අරන් බැල්කනියට ආවේ මේ සුන්දරත්වය විඳින්න ඕන හුදකලාවත් එක්ක කියන හැඟීමත් එක්ක.

Tuesday, February 7, 2017

රාමෝජි සිනමා නගරය නැරඹීමට ගියෙමි.

මා මේවනවිට ඉන්දියාවට පය ගසා ඇති බව කලින් පෝස්ටුවෙන් කීවෙමි. එද්දී නම් සිතුවේ දේශනවලට සහභාගී හොඳ දරුවෙකු වශයෙන් ගිය වැඩේ හරියට කරගැනීමටය. නමුත් සතියක් ගතවෙද්දී ලෙක්චර් කට් කිරීම පිලිබඳව විශේෂ ප්‍රාගුන්‍යක් හිමිවීම නිසා අපිත් එක්ක ආපු එවුන් හවස්වරුවේ ඉන්නේ කාමරවලය. එසේත් නැතිනම් ලංකාවෙන් පැමිණි  අහිංසක අසරණ ගෑණු දැරිවියන්ට සාරි කඩ, සෙරෙප්පු කඩවලට පාර කියාදීමෙනි. නැත්නම් මෙහෙ ස්ටාෆ් එකේ කවුරුන් හෝ සෙට් කරගෙන ක්‍රිකට් ගසමින්ය. අපේ එවුවන් කවුරුවත් තවම ටෙම්පරි ලව්වලට සෙට් වී නැති නිසා සියලු දෙනාටම සෑහෙන විවේකයක් හිමිවීම හේතුකොටගෙන විෂය කටයුතුවලට වඩා විෂය බාහිර කටයුතුවල නිරතවීමට ඉඩ හසරපෑදී ඇත. නැතිනම් ගොනා සහ කරත්තය සේ යන යන තැන ටෙම්පරි කෑල්ල එල්ලාගෙන යාමට සිදුවනු ඇත.

Thursday, February 2, 2017

අසල්වැසි රටේ සිට ලියමි

හුඟ කාලෙකින් බ්ලොග් එකේ මොකුත් කුරුටු ගාන්නට නොහැකිවීම ගැන බ්ලොග් ලියන, බලන, කොමෙන්ට් කරන, අසන, නරඹන සියලු දෙනා සමාව භජනය කොරන්න ඕනෑය. අවුරුද්ද අන්තිම නිසා ඔෆිසියේ වැඩ වැඩිවීමත් ඊට පස්සේ ලැබුනු ශිෂ්‍යත්ව කෑල්ලක් නිසා ඉන්දියාවට එන්නට සිදුවීමත්, මෙහේ ඇවිත් මුල් කාලේ පොඩි මඤ්ඥං ගතියක් ඇතිවීමත් නිසා මේකේ මොකුත්ම ලියන්නට බැරි උනෝය. දැන් නම් පොඩ්ඩක් විතර සෙට්ල් ගතියක් දැනෙන නිසා මොනවම හරි ලියන්න ඕනෑ කියා සිතුනේ නැතිනම් බ්ලොග් එකටත් කරන අසාධාරණයක් නිසාය.

Friday, December 30, 2016

2017 සුභ නව වසරක් වේවා



2017 වසර බ්ලොග් ලියන බ්ලොග් බලන, කමෙන්ට් කරන සියලු දෙනාට සුභ නව වසරක් වේවා.

පසුගිය මාසයක පමණ කාලය තුළ බ්ලොග් එකේ යමක් කෙටීමට නොහැකිවිය. ඇත්තටම වූයේ ලියා ඇති ආර්ටිකල් කීපයක් එඩිට් කරගැනීමට කාලය ප්‍රමාණවත් නොවීමය. කෙසේ වෙතත් මේ නොනගතය ඉක්මනින් නිමා කර නැවත බ්ලොග් රචනාවට එන්ටර් වීම මගේ පරම පිවිතුරු පැතුමය.

Monday, November 7, 2016

අපි වෙනුවෙන් අපි හෙවත් රාජ්‍ය සේවය සහ ජහමනයා



පහුගිය දින කිහිපය තුළම බ්ලොග් ලියන්නන් විශාල පිරිසක් ඉයන්ගේ සින්දු 16 බ්ලොග් අභියෝගය බාර අරන් තිබුණ කියලා තේරුනේ කට්ටියම හෝගාලා තමන් කැමති සින්දු ගැන කියන විටය. මෙය හරියට මම දැක්කේ තමන් යාලු වෙච්ච කෙල්ලන් අතරින් තමන් කැමතිම කෙල්ලන් කවුදැයි කියා අනුපිලිවෙලට නම් කරනවා වගේ වැඩක් හැටියටය. මට ඉස්කෝලේ යන කාලේ සිටම කෙල්ලෝ කීප දෙනෙක්ම  සිටියෝය. ඒ වනචර කමකට නොවේය. හෝමෝන ක්‍රියාවලිය උච්චතම කාලේ නිසා ඒ ගැන කරන්නට දෙයක් නැතිය. ඉතින් එකෙක් හොඳයි කිව්වොත් අනෙකාට සිදුවන්නේ අසාධාරණයක්ය. ආදරයේ “අ, ආ“ කියාදුන් ප්‍රේමයේ, යෞවනේ ඇදුරුතුමියන්ට එහෙව් අසාධාරණයක් කරන්නට මගේ හිත නැවෙන්නේ නැත. සින්දු වැඩෙත් ඒ වගේමය. ඒ නිසා මම මේ වැඩේට සම්මාදන් වෙන්නට නොගියේ මට කැමතිම සින්දුත් 16 ට වඩා ඇති නිසාය. නමුත් වැඩේ නැගලාම ගොස් තිබීම ගැන මම ඉයන්ටත් කැමති සින්දුදාපු හැමෝටමත් ස්තුතිවන්ත වෙනවාය.