Tuesday, June 7, 2016

ගම ගැන


අප රටේ පවතින දුෂ්කර, අඩු පහසුකම් සහිත ගම්මාන පිළිබඳව මම දැනුම් තේරැම් ඇති වියේදී ඇසුවෙමි. දුටුවෙමි. නමුත් මා කුඩා කල ජීවත් වූ පරිසරය එකී දුෂ්කරතා, අඩු පහසුකම්වලින් පරිපූර්ණ වී තිබූ බව මට වැටහෙන්නේ දැන්ය. එකල එම දුෂ්කරතා අප හට දුෂ්කරතා නොවීය. ඒවා සාමාන්‍ය ජීවිතයේ අංගයන් පමණක් විය. තාර දැමූ මාර්ගයක් දැකීමට කිලෝ මීටර් 3.5 ක් පමණ පයින් යා යුතු, කරත්තය ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය වූ  පන්සලක්, පාසැලක්, ක්‍රීඩා පිටියක්, ප්‍රජා ශාලාවක් තබා අඩුම තරමින් ළදරැ පාසැලක්වත් නොතිබුණු, අමුඩ කෙටිය සහ සරම ප්‍රධාන වස්ත්‍රය කරගත් පිරිමින්ද, රෙද්ද සහ හැට්ටය ඇඳි කාන්තාවන් සුලභ, නූගත් ගැමියන්ගෙන් සමන්විත, මිත්‍යා විශ්වාසයන්ගෙන් පරිපූර්ණ මා කුඩාකළ ජීවත් වූ දුම්මලදෙනිය ගමට අදටත් මා ආදරය කරමි.

මෙම ගම්මානයේ රජයේ රැකියාවක් කළ අය වූයේ නම් ඒ මගේ පියාගේ පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙකු පමණි. අනෙක් ගම්වැසියන්  සිදුවිය යුතු ආකාරයෙන්ම කුලී වැඩ, ගොවිතැන්, ප්‍රාථමික මට්ටමේ ස්වයං රැකියා සහ නීති විරෝධී වැඩකටයුතු මගින් ජීවිකාව සරිකරගත්හ. නීති විරෝධී කටයුතු වශයෙන් බොහෝ විට සිදු කෙරැනේ මත්පැන් නිෂ්පාදනය, සුලු හොරකම් වැනිදේය. මේ කටයුතු සඳහා ගම්වැසියන්ට ලඳු කැලෑ පරිසරයෙන්ද, අක්කර සිය ගණනක පොල් වතු වලින්ද  ආරක්ෂාව සහ උපකාරය නොඅඩුව ලැබී තිබුණි. මේ සියල්ලටම අමතරව තම බිරින්ඳෑවරැන්ගෙන් යැපුනු වීරෝදාර ස්වාමි පුරැෂයන්ද එම ගමේ හිඟ නොවූහ. බිරින්ඳෑවරැ කුලියක් කර, කොහු මෝලක වැඩකර  තම දරැවන් පෝෂණය කිරීමට වෙර දරන අතර මෙම වීරෝදාර ස්වාමි පුරැෂයෝ මත්පැන් පොලක, බූරැ පිටියක හෝ කාගේ හෝ වැඩක් පිනට කර කසිප්පු ටිකක් පානය කිරීමේ අවස්ථාව උදාවනතෙක් බලාසිටියහ. සමහර අවස්ථාවන්හිදී බිරින්ඳෑවරැන් දුකසේ උපයන මුදලින් කොටසක් තම හයිරන්කාර බව පෙන්වා මත්පැනට වැය කිරීමටද මෙම ස්වාමි පුරැෂයෝ පසුබට නොවූ බව මම දැක ඇත්තෙමි.

අප කුඩාකල ජීවත්වූයේ ඉස්කෝලේ ආත්තා යනුවෙන් අප හඳුන්වන මාගේ පියාගේ බාප්පාගේ නිවසේය. ඉස්කෝලේ ආත්තා ගලේවෙල පාසැලක විදුහල්පතිවරයෙකු වූ අතර කරැණාවන්ත ඇසූපිරෑ තැන් ඇති චරිතයකි. පාසැල් නිවාඩුවට පැමිණෙන ඉස්කෝලේ ආත්තා ප්‍රමුඛ පවුලේ සාමාජිකයන් කැඳවාගෙන ඒමට ලොකු අත්තා සමග වැලිපැන්නගහමුල්ල හන්දියට යාම අපට පැවරී තිබූ රාජකාරියකි. වෙනදා අපේ අනසකට යටත්වන නිවස ඉස්කෝලේ ආත්තලා පැමිණි පසු එක් කාමරයකට පමණක් සීමා වේ. සෙල්ලම් කිරීම, නෑම පවා වෙනස් විදිහකටය. ඉස්කෝලේ ආත්තා ආපසු පිටත්වන දින මල්ලීටත් මටත් රැපියල් 10 බැගින් ලබාදේ. එය එකල විශාල මුදලකි. අප එය අම්මාට දෙන්නේ අපි මහන්සිවී උපයාගත් මුදලක් වශයෙනි.

ඉස්කෝලේ ආත්තලාගේ ඉඩම තරමක් විශාල ඉඩමක් විය. ඉඩමේ එක් කෙලවරක් මායිම් වූයේ ඇලකටය. සුදෝ සුදු වැලි පැවති එහි ජලය බීමට තරම් පිරිසිදුවිය. ඇලෙන් එහා කුඹුරැ යාය විය. නෑමට භාවිතා කරනා පින් ලිඳක්ද, පුවක් ගස් විශාල ප්‍රමාණයකින් සමන්විත පුවක් වැටියක්ද, අප රටේ ඇති පළතුරැ වලින් එකක් හෝ දෙකක් අඩුවෙන් සෑම වර්ගයකම පාහේ පළතුරැ ගස්ද එම ඉඩමේ විය. මෙම පළතුරැ ගස් මම සහ මල්ලී බෙදා ගෙන සිටියෙමු. එක් අයෙකුගේ ගසට අනෙකාට නැගීම තහනම් විය. අප දෙදෙනා බෙදාගෙන නොසිටි එකම ගස වූයේ නිවස ඉදිරිපිට කමතේ තිබූ සල් ගසයි. මල් පිපෙනා කාලයට ගසේ කඳ සොයාගත නොහැකි ආකාරයට එය මලින් බරවෙයි.

කුඩාකල මම එතරම් දඟ චරිතයක් නොවුවද සෑම දෙයක් පිළිබඳවම විමසීම් කරනා චරිතයක් බව අම්මා මට කියා ඇත. ඒම කෝමද අම්මේ ඒම වෙන්නේ. ඇයි ඒම වෙන්නේ. යනුවෙන් දවස පුරා අම්මාගේ කන්දෙක රිදෙන තෙක් ඇසීමට මම පුරැදුව සිටියේලු. එම ලක්ෂණ අදවන විට මගේ දෝනිගෙන් විද්‍යාමාන වේ. සෑම දෙයක්ම නියමාකාරයෙන් පැහැදිලි ඇයගේ ප්‍රශ්නවලට පිළිතුරැ සැපයීම මගේ ප්‍රධාන දෛනික රාජකාරියකි.

එසේ නමුත් කුඩා කල මා විසින් සිදුකල විනෝදබර දඟවැඩ කිහිපයක් පිළිබඳව මා හදාවඩාගත් සුදු නැන්දා පවසා ඇත. දිනක් දිවා ආහාරය සඳහා පරිප්පු හොද්දක් ලිපේ තැබූ සුදු නැන්දා පුතේ ලිප ලඟට යන්න එපා. මම ලිඳ ලඟට ගිහින් වතුර කලයක් අරන් එන්නම් කියා පිටව ගොස් ඇත. ඇය ආපසු පැමිණෙන විට දැක ඇත්තේ පරිප්පු වලඳට චූ කරමින් සිටිනා මාය. සිහනවෙමින් අත්තාට මෙය පෙන්වා ඇති සුදු නැන්දා පරිප්පු හොද්ද විසිකිරීමට සූදානම් වූවත් අද නම් ලුනු ගානට ඇතියි කියූ අත්තා එය විසිකිරීමට ඉඩ දී නැත.




6 comments:

  1. ලියාගන ලියාගන ලියාගන යං

    ReplyDelete
  2. ලියාගෙන ලියාගෙන යනවා. තවම බ්ලොග් රිදම් එක ඇඟට ආවේ නෑ. තව ටික දවසක් ලියනකොට හරියයි කියලා හිතෙනවා.

    ReplyDelete
  3. නියමයි. අර බැද්දෙ ගෙදර කතාවෙත් ඔහොම සිද්දියක් තිබුනා නේද? ඒකෙ තිබුනෙ මුරුන්ගා හොද්දක්

    ReplyDelete
    Replies
    1. සයුරී අපේ අත්තා මම දැකපු සුවිශේෂී චරිතයක්. අත්තා ගැන තේරැම් ගන්න මම පොඩි දේවල් ටිකක් කියන්නම්. අත්තාව කන්න ආව බල්ලෙකුගේ හකු පාඩා දෙකෙන් අල්ලලා දෙකට ඉරලා තියෙනවා. ගෙදර ගොනෙක් හිටියා රතු ගොනා කියලා. කාටවත් කිට්ටු වෙන්න දෙන්නේ නෑ. අනිනවා. හැබැයි අත්තා දැක්කාම ඇවිත් කකුල් ලෙව කනවා. අත්තා අඩියක් ගහලා වෙලදිගේ එනකොට කිසිම ගෑනු කෙනෙක් වෙලේ පේන තෙක් මානෙක ඉන්නෙ නැහැල්ලු. හැමදාම විස්සකට විතර ඇති වෙන්න බත්, කොස් ගෙදර ලිපේ ඉදෙනවා.ඒ අහල පහල නැති බැරි අයටත් කන්න.

      Delete
  4. ඊයාහ්...
    අපි නම් කීයටවත් චූ දාපු කිරි හොදි කන්නේ නෑ.
    ;)

    මේ කතාවන් බොහෝ දුරට ගමක ජීවත් වූ මගේ ළමා කාලයටත් සමානයි. මමත් පොඩි කාලේ විමර්ශණ අංශයේ තමයි ඉඳලා තියෙන්නේ. වටේ පිටේ එකෙකුටවත් ප්‍රශ්න නොඅහා නම් බේරිලා යන්න ලැබිලා නෑ.

    ReplyDelete
    Replies
    1. හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙටලු. තව තියෙනවා මේ වගේ දේවල්.

      Delete